Showing posts with label මන්ත්‍ර. Show all posts
Showing posts with label මන්ත්‍ර. Show all posts

Wednesday, August 8, 2012

බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි.

මේ දිනවල විදුලිය විසන්ධි කිරීම නිසා සමහර අයට රාත්‍රියේ කළුවරේ ඉන්න වෙනව ඇති. විශේෂයෙන්ම උසස් පෙළට පාඩම් කරන ශිෂ්‍යාවන්ට සිදුවී ඇති අපහසුතාවය අළුතෙන් කියන්න ඕනැ නෑනෙ. එනිසා මා අද කල්පනා කළා රාත්‍රී කාලයේ ආළෝකය ලබා ගැනීම සඳහා රාවණා රජතුමා විසින් නිර්මාණය කරන ලද ඉපැරණි හෙළ ක්‍රමවේදයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා ඔබ හමුවේ තැබීමට. කෙටියෙන් කියනවනම් මන්තරයක් භාවිතා කරලා නිවසේ සිටින පූසාගේ ඇස් දෙකෙක් රාත්‍රී කාලයේ කාමරයට අවශ්‍ය ආළෝකය ලබා ගැනීම. මේ මන්තරය භාවිතා කරන හැටි දැනගන්නට ලැබුණෙ ඉපැරණි හෙළ පුස්කොළපොතකිනුයි.

මුලින්ම කියන්න ඕනැ මේ දේ කරන්න පුළුවන් කාන්තාවන්ට විතරයි. එයිනුත් කන්‍යාවන් මේ වැඩේ කරන එක සුදුසු නැහැ, මොකද කියනවනම් මෙහි ඇති මන්තර භාවිතා කරමින් පූසාට මැතිරූ පසු කන්‍යාවන්ට කළු කුමාර දිෂ්ඨිය වදින්න පුළුවන්, ඉන් පසුව නිවසේ ඇති කැඩෙන බි‍ඳෙන දේවල් වලට හානි වුනොත් ඔන්න මටනම් වගකියන්න බෑ. එනිසා කන්‍යාවක් නොවන කාන්තාවන්ට නොබියව මෙය සිදුකිරීමට හැකියි. එසේම නිවසේ වෙන කවුරුවත් නොමැති වෙලාවක හෝ අඩුම තරමින් ඔබ තනිවම කාමරයකට සිටිමින් වෙන කාටවත් පේන්නේ නැති වෙන විදියට දොර වසාගෙන කළ යුතුයි. මෙමගින් පූසාගේ ඇහෙන් ආළෝකය ලබා ගන්නවටත් වඩා දේවල් වෙන බව ලිපිය කියවගෙන යනකොට ඔබට වැටහේවි.

එහෙනම් වැඩේ කරන විදිය බලමු. ඉර අවරට ගොස් අඩ හෝරාවකට පමණ පසුව ඔබගේ නිවසේ සිටින පූසාව අල්ල ගන්න. ටිකක් වැඩිපුර ඤාව් ඤාව් ගානවනම් ඒකෙ තේරුම ඌට බඩගිනි බවයි. එසේනම් ඌ කැමති ආහාරයක් ලබා දෙන්න. පූසාගේ බඩ පිරුන පසුව ඌ කෑම කන එක නවත්වාවි, එසේම පූසාගේ ඇස් දිගටි වී නිදිමත ගතියක් පෙනේනම් ඒකේ තේරුම ඌ හොඳින් තෘප්තිමත් බවයි.

ඉන් පසුව පූසාව ඔබගේ ඇඳ මතින් තබා ගෙන කාමරයේ දොර වසා දමන්න. එසේ කරන්නේ පූසා ඉඳ ගැනීමට වඩාත්ම කැමැති තැන ඔබගේ ඇඳ උඩ වීම සහ මෙය නිදහසේ කළ යුත්තක් වීම නිසයි. දැන් පූසාව මැදි වෙන ලෙසට ඔබගේ කකුල් දෙක පූසා දෙපසින් දිග හැර ගන්න. එසේ කරන්නේ පූසාට තමා ආරක්ෂිත බව හඟවා ඌ බිය වී පැන යාම වළක්වා ගැනීමටයි. දැන් පූසාට පමණක් ඇසෙන පරිදි "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න.

බිළාල මන්ත්‍රයෙන් මතුරා ආළෝකය ලබා ගැනීමට සුදුසු තත්ත්වයේ පූසෙක්

එවිට ඉහත රූපයේ පරිදි පූසා තම දෑස ලොකු කර ඔබගේ ඇස් දෙක දිහා බලාගෙන සිටීවි. පූසාගේ මූන වටේ ඇති ‍රැවුල (මවිල්) අවුල් වී ඇති බවක් පෙනෙයිනම් අත් දෙකෙන් ‍රැවුල දෙපසට කර ඔසවන්න. (සාමාන්‍යයෙන් ‍රැවුල අවුල් වන්නේ විශාල ලෙස මවිල් තිබෙන විශේෂිත වර්ග වල පූසන්ගේ පමණයි.) එවිට පූසාගේ කට හොඳින් පැහැදිළිව රතුවට පෙනේවි.

දැන් ඔබගේ දබර ඇඟිල්ලට කෙල ටිකක් ගෙන පූසාගේ මූනේ පැත්තකින් තබා, ඇඟිල්ල රවුමට කරකවමින් පහත දැක්වෙන බිළාල මන්ත්‍රය එකසිය හත් වතාවක් මතුරන්න.

"සෲස රූන ශෲකතෲන පෲස ආසෲ දෲන ආළකෲය ඒවෲ ඒසෲවෲහකෲ"

ශ්‍රී රාවණ අධිරාජ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉහත මන්ත්‍රය ලියවී ඇත්තේ බළල් බාසාවෙනි. එම මන්ත්‍රයේ තේරුම මෙලෙසයි. "ශ්‍රී රාවණ ශක්තියෙන් පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය එනවා ඒස්වාහක්"

ඔබ ඉහත දැක්වූ මන්ත්‍රය නිසි ලෙස මතුරමින්, නියමිත ලෙස දබර ඇඟිල්ලෙන් පූසාගේ මූනේ පැත්තක් රවුමට කලතනවානම්, මොහොතක් ගතවෙද්දී පූසා ඔබ අතගාන ඇඟිල්ල දෙසට බර වේවි. පූසාත් ඉස්සි ඉස්සී අතගාවගන්න උත්සාහ දරාවි. තවත් ටික වෙලාවක් යද්දී ඔබව පුදුමයට පත් කරමින් පූසාත් එම මන්ත්‍රය මතුරන්නට පටන් ගනීවි. සාමාන්‍ය අයට පූසාගේ එම මැතිරීම ඇසෙන්නේ නිකම්ම "පෲ පෲ" ගෑමක් වගේ වුවත් කුණ්ඩලීනී ශක්තිය ඇති හෙළයින්ට එම මන්ත්‍රය පැහැදිළිවම ශ්‍රවණය කිරීමට පුළුවන්.

නමුත් පූසාගේ කටින් දියාරුවට කෙළ බේරෙමින් "චස් චස්" වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තොත් වැඩේ නවත්වන්න, ආයිත් වෙනත් දවසක තමයි කරන්න වෙන්නෙ. මොකද ඉතින් ඔබටත් ඒ වන විට හොඳටම ඇතිවෙලා ඇති. එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්, ඒ ගැන කලබල විය යුතු නෑ.

කළුකුමාර දිෂ්ඨිය වැහුනු පූසෙක්.

එසේම පූසාට කේන්ති ගොස් දත් විලිස්සා නැටි මහත් කරගෙන ලොමු දැහැ ගන්වා "හෑස් හෑස්" ශබ්දය නැගුවොත් එහි තේරුම පූසාට කලු කුමාර දිෂ්ඨිය වැහී ඇති බවයි. බිය වීමට හේතුවක් නෑ, පූසාගෙන් ඈතට ගොස් "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න, ඌගේ බිය දුරු වේවි. පූසා යථා තත්වයට පත් වූ පසුව ඉහත දැක්වූ පරිදි නැවතත් ඔබට මුල සිටම මැතිරීම පටන් ගැනීමට හැකියි. (පූසාට කේන්ති නොගොස් පූසාගේ නැට්ට පමණක් දිගටම මහත් වී තිබේනම් ඇත්නම් එය ප්‍රශ්නයක් නෑ, දිගටම කරගෙන යන්න)

ඔබ එම මන්ත්‍රය නිවැරදිව එකසිය හත් වතාවක් මතුරා අවසන් වෙද්දීත් පූසා නොනවත්වාම දිගටම තම මැතිරීම සිදුකරනවා. දැන් ආළෝකය ලබා දීමට පූසා සූදානම්. පූසාගේ ඇස් දෙක ආළෝකයෙන් ආරෝපණය කිරීම සඳහා පූසාව ඇඳ මතම තබා ටිකක් ඈතට ගොස් එතරම් සැර එළියක් නොමැති ටෝච් එකක් පූසාගේ ඇහැට එල්ල කරන්න.

[[ඔබගේ ටෝච් එකේ බැටරි බැහැලනම් පූසාට මතුරන්න පෙර බැටරිය ආරෝපිතව තබා ගත යුතුයි. ඒ සඳහා "නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම" මැයෙන් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දැක්වූ ලිපියේ සඳහන් ක්‍රමවේදය උත්සාහ කර බලන්නට පුළුවන්.]]

සාමාන්‍යයෙන් ටෝච් එකක් ගහද්දී දිළිසෙනවට වඩා පූසාගේ ඇස් වඩාත්ම දීප්තිමත්ව දිළිසේනම් එහි තේරුම පූසාගේ දෑස ආරෝපණය වෙන බවයි. තමන්ගේ දෑස ආරෝපණය කිරීමට පූසා අකමැති නිසා ඇස් දෙක ටෝච් එකෙන් ඉවතට ගැනීමට ඌ උත්සාහ දරාවි. නමුත් පූසාට හඬ ගසමින් ඌ ඔබ දෙස බැලීමට සලස්වා මිනිත්තුවක් පමණ දිගටම ටෝච් එක උගේ ඇස් දෙකට එල්ල කරන්න. බලහත්කාරයෙන් පූසාට ටෝච් එක ගහන්න එපා, පූසා අන්ධ වීමටත් ඉඩ තිබෙයි.

මිනිත්තුවක් ගතවූ පසුව පූසා හොඳින් ආරෝපණය වී සිටී. දැන් පූසාව මේසයක් මතින් තබා "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි කී පසුව ඔබව පුදුමයට පත් කරමින් ඌගේ ඇස් දෙකෙන් දීප්තිමත් ලෙසට ආළෝකය පිට වේවි. ආළෝකය නැවැත්වීමට අවශ්‍ය වූ විටත් පූසා ළඟට ගොස් "ශ්‍රී රාවන සිද්ධම්" යැයි පවසන්න.

පූසාගේ ඇස් දෙකෙන් එන ආළෝකය

එම ආළෝකය සාමන්‍ය කාමරයක් සඳහා ප්‍රමාණවත් වන අතර එක දිගට පැය 6 ක් පමණ නොනවත්වාම එළිය විහිදුවයි. පැය 6 අවසානයේදී නැවතත් මැතිරීමට සිදුවේ. ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට ගරු කරමින් ගාම්භීරව ඒ ආළෝකයෙන් ප්‍රයෝජනය ගන්න. කිසිවෙකුට එය ඇස ගැටෙන්නට සලස්වන්න එපා. පූසාව එක දිගට බිම බලාගෙන සිටීමට පුරුදු කළහොත් ඌව මේසය මත, මේස ලාම්පුවක් ලෙසට තබා පොත් කියවීමටත් භාවිතා කිරීමට පුළුවන්.

ඔබ අසා තිබෙනවා ඇති වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ පුස්කොළපොත් වල ලියනකොට ඊට ආළෝකය ලබා ගැනීම සඳහා ලාම්පුව අල්ලාගෙන සිටීමට පූසෙක්ව පුරුදු කර තිබුන බව. නොදැනුවත් කමින් ගම්මුන් ලාම්පුවක් ගැන කිව්වත් ඇත්තටම සිදුකර තිබෙන්නේ පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ මා ඉහත දැක්වූ කාන්තාවන්ට විතරක් විශේෂිත වූ ක්‍රමය නොව, පිරිමින්ට පමණක් වූ විශේෂිත වෙනත් ක්‍රමයකුයි. ඒ ගැන ඉදිරි ලිපියකින් දක්වන්නම්.

පූසාගේ උපන් හෝරාව අනුව ඇස් වලින් ලැබෙන ආළෝකය වෙනස් වෙයි., ඒ මෙසේයි.

ඉරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින්  සුදු පාට
සිකුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් නිල් පාට
බුද හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් තැඹිලි පාට
සඳු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කහ පාට
සෙනසුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රෝස පාට
බ්‍රහස්පතී හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කොළ පාට
අඟහරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රතු පාට

විවිධ හෝරාවන්ගෙන් ඉපදී ඇති පූසන්ට බිළාල මන්ත්‍රය ජප කර අලංකාරය පිණිස තබා ඇති අයුරු.

පූසා උපන් හෝරාව අනුව උච්ච වී සිටින ග්‍රහයා පූසාට බලපාන අතර එමගින් පූසාගේ ජාන සැකසී ඇති තැපතුම් ලුසිදුම් (Tapetum Lucidum) නැමැති කොටසින් නිකුත් කරන ආකාරය තීරණය වෙයි. ඉතින් විවිධාකාර ආළෝක ලැබෙන්නේ ජාන නිසා යැයි කියන උදවිය දැනගත යුත්තේ එලෙස ජාන සැකැස්මක් පිහිටන්නේ ග්‍රහ බලපෑම නිසා බවයි. එම ජාන සැකැස්ම ශ්‍රී රාවණ රජතුමා විසින් පළමු වරට ලෝකයට හෙළි කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

[[තැපතුම් ලුසිදුම් (තැ=තැන්පත්, පැතුම්=ප්‍රාර්ථනා, ලු=ලුහුඬු, සිදුම්=සිදුවීම්, එනම් "තැන්පත් ප්‍රාර්ථනා සහිත ලුහුඬු සිදුවීම්" ඇති උදවියගේ දෑසින් දීප්තියක් පිටවෙයි. එනිසා තැපතුම් ලුසිදුම් යනු රාවණා රජතුමා විසින් සාදන ලද හෙළ වචනයකි. අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු වා=වාතයෙන්යන, රිය=රථ, පොළ=තො‍ටුපොළ නිසා වාරියපොළ යනු රාවණ රජතුමාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් වන්නා සේම "තැපතුම් ලිසිදුම්" හි පද නිරුක්තිය අනුව එය හෙළ වචනයක් බව පැහැදිළියි)]]

මා කාන්තාවක් නොවන බැවින් පූසෙක්ට ඉහත කී මන්ත්‍රය යොදා ගනිමින් ඇස් ආළෝක ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත කිරීමට නොහැකියි. කලින් කිව්වාක් මෙන් කන්‍යාවන් නොවන කාන්තාවන් මෙය උත්සාහ කර බලා හරිගියාට පස්සේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.
Read More...

Saturday, July 14, 2012

තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)

සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි වේ.

මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී (අහසින් පැමිණි සිංහ මිනිසුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි. එකී සමකාලීන ශිෂ්ටාචාරයන් එකිනෙක අතර තිබූ සහසම්බන්ධය එමගින්ම පැහැදිළි වෙයි.

අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට, අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ. ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

තාරකා දොර‍ටුවක් යනු විශ්වයේ ඉතාමත් ඈතින් ඇති ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීම සඳහා යොදාගත හැකි දොර‍ටුවකි. එනම් එලෙස ගමන් කරන ස්ථාන දෙකේම තාරකා දොර‍ටු තිබිය යුතුය. එවිට එක දොර‍ටුවකින් ඇතුළු වී අනෙකුත් දොර‍ටුවෙන් පිට වීමට පුළුවන්. වැඩි විස්තර විකීපීඩියාවෙන් බලන්න.

ඔබ The Stargate , Night At The Museum 2, Sinhaawalokanaya, Spellbinder 3 වැනි චිත්‍රපට නරඹා තිබේනම්, චක්‍රාවාට හෝ කාලය අතර ගමන් කිරීම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටු (හෝ එවැනි යානා) ගැන දන්නවා ඇති. උදාහරණ ලෙස පහත දැක්වෙන The Stargate චිත්‍රපටයේ වීඩියෝවෙන් එය දිස් වන ආකාරය බලන්න. (ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සංස්කරණය කර නැති නිසා කුඩා දරුවන් සඳහා මෙය නැරඹීම කිසිසේත්ම සුදුසු නොවේ)



කෙසේ නමුත් මෙය ඉතාමත් සංකීර්ණ සිද්ධාන්තයක් බැවින් මේ ගැන අධ්‍යයනය කර නොමැති සහෘදයින්ට තාක්ෂණික කරුණු (ස්ටිෆන් හෝකිං ගේ ලිපි කියවා බලන්න) පිළිබඳව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දීර්ඝව පැහැදිළි කිරීමට බලාපොරොත්තු නොවන අතර හෙළ තාක්ෂණය අවබෝධ කරගැනීම සඳහා ඇවසි පමණට කෙටියෙන් දක්වන්නම්. ඒ සඳහා පහත රූප පෙළ බලන්න.

ක්‍රියාත්මක නොකළ තාරකා දොර‍ටුව

තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device)

අවශ්‍ය බලය සපයා නිසි සුසර කිරීම් වලින් අනතුරුව "දැක්වුම් නිවස්න උපකරණයෙන්" යා යුතු මාර්ගය දැක්වූ විට තාරකා දොර‍ටුව මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

ක්‍රියාත්මක කළ තාරකා දොර‍ටුවක අස්ථායී වළාවන් (unstable vortex) පිටවෙන ආකාරය.

තාරකා දොර‍ටුවෙන් ඇතුළු වන කාලාත්‍රයේ/විශ්වාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා තාරකා දොර‍ටුව හරහා අනිත් විශ්වයට ගමන් කරන මොහොතේ ඔහුට දිස් වන ආකාරය

මෙම තාරකා දොර‍ටු වලින් අවකාශයේ ඇති ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙන්ම කාලය හරහා ගමන් කිරීමටත් හැකියාව තිබේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා නියමයට අනුව අවකාශය සහ කාලය ශ්‍රීතික බව ඔබ දන්නා නිසා මෙය වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ වෙනම පැහැදිළි කළ යුතු නැතැයි සිතමි.

අතීතයේදී මේ තාරකා දොර‍ටු තාක්ෂණය භාවිතා වුන බව ඔබ දන්නවාද? එයත් අපගේ හෙළයින්ගේම නිර්මාණයක් බව ඔබ දැන සිටියාද? ලිපියේ අවසානයේදී මේ ගැන පැහැදිළි කරන්නම්.

මුලු ලෝකය පුරාවටම "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබේ. ඉන් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වෙයි. මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි. එහි ඇති "තාරකා දොරටුව" වඩා විශාල වූ එකකි.

මිසරයෙන් හමුවූ තාරකා දොර‍ටුව

පේරු හි ඇති තාරකා දොර‍ටුව

අනුරාධපුරයේ ඉසුරුමුණියේ තිබෙන තාරකා දොර‍ටුව

කළින් ලිපියක දැක්වූ විදියට ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව බහුකාර්ය මෙවලමකි. එය තාරකා දොර‍ටුවක් වීමට අමතරව, පෘථිවියේ ශක්ති කේන්ද්‍ර පරිපථයක් ලෙසත් ක්‍රියාත්මක කරයි. ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති අනික් විශේෂත්වයනම් දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device) පිහිටා තිබෙන්නේ එහි මතුපිටම වීමයි. එනම් ඉසුරුමුණි තාරකා දොර‍ටුව ස්පර්ෂ කිරීමෙන් ගමනාන්තය සඳහා අවශ්‍ය විධානයන් දැක්වීමට පුළුවන්. එනම් එය Touch Pad එකකි. ඒ අනුව ලෝකයේ මුල්ම Touch Pad එක හදා තිබෙන්නේ රාවණා රජතුමා විසින්ම බව පැහැදිළි වෙයි.

තවමත් බොහෝ රාවණ ගවේශකයින්ට ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති සටහන් වටහා ගැනීමට නොහැකි වූ බව කීම ගැන මා කම්පා වෙමි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉතමත් රහසිගතව වාසය කරන, ලංකාසීනිවුස් වෙත අනාගත වාකය ලබා දෙන සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ දැනුම ලබා ගන්නා තාපස තුමා එම තාරකා දොර‍ටුව ගැන වරක් මා හට පැහැදිළි කළ සේක, ඒ ගැන ඉතාමත් සරළව පවසනවානම් එහි ඇති රූප, විග්‍රහ වන්නේ මෙලෙසයි.

මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොර‍ටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහි‍ටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

ඉසුරුමුණි තාරකා දොර‍ටුව විස්තරාත්මකව ඇඳ ඇති සටහනක්

ඉසුරුමුණි තාරකා දොර‍ටුව අසළට පැමිණෙන කාලාත්‍රයේ හෝ විශ්වාත්‍රයේ තීර්ථයාත්‍රිකයා පළමුව රාවණ විශ්ව මන්ත්‍රය මැතිරිය යුතුය. එම මන්ත්‍රය, තාරකා දොර‍ටුව විවෘත වීමට අවශ්‍ය මුර පදය ලෙස භාවිතා කරයි. ඒ අනුව ශබ්ද මුරපද ක්‍රමය හෙවත් Voice Password ලොව මුල් වරට හඳුන්වා දී තිබෙන්නේත් රාවණා රජතුමමයි.

අදාල මන්ත්‍රය මැතිරීමෙන් පසුව ඉසුරුමුණි තාරකා දොර‍ටුව ශබ්දයක් නගමින් ක්‍රියාකාරී වෙයි. ඉන් පසුව එය මත ඇති සටහන් වලින් අවශ්‍ය ගමනාන්තයන් දැක්විය යුතුය. නිසි ගමනාන්තය ස්පර්ශ කර දැක්වූ සැනින් තාරකා දොර‍ටුව ක්‍රියාත්මක වී එහි මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

[මතු සම්බන්ධයි]

Read More...

Sunday, July 8, 2012

CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (2 කොටස)

අද එතැන් සිට...

NASA (නාසා) එකේ විද්‍යාඥයින් සමග කාල යන්ත්‍රය හෙවත් කෘතිම පණු කුහරයක් ඇති කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වද්දී අපට බොහෝ දෑ සොයාගන්න පුළුවන් වුණා. නමුත් ඒ පරීක්ෂණ කටයුතු සඳහා NASA විද්‍යාඥයින් වෙත මා සතුව තිබූ ඉපැරණි පුස්කොළපොත් වලින් හුවා දැක්වුවේ රාවණ රජතුමා විසින් ලියන ලද භෞතික විද්‍යාත්මක රහස් මිස පාරභෞතික විද්‍යා රහස් නොවෙයි. එනිසා අපගේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රගතිය රාවණ දැනුමෙන් ගොඩනගන ලද තාක්ෂණයේ භෞතික දියුණුව දෙසට පමණක් ගලා යද්දී කාලය හරහා ගමන් කිරීමේ පාරභෞතික රහස් එලෙසම සු‍රැකිව පැවතුණා. (කාලය හරහා ගමන් කිරීම ගැන කියන්න ගියොත් ඒක ගොඩක් දිග කතාවක් විය හැකි නිසා ඒ ගැන වෙනත් ලිපියකින් පැහැදිළි කිරීමට ඔබ අවසර දෙනව නේද?)


ඉර පායනවා, බහිනවා, ආයිත් පායනවා... ඔය විදියට දවස් සති මාස අවුරුදු විදියට කාලය ගලාගෙන යද්දී මම ඔරලෝසු ක‍ටු අතරින් පනිමින්, කැලැන්ඩරේ කො‍ටු අතරින් දුවමින් ඇඟටත් නොදැනීම ජීවිත ගමන් මගේ 94 වැනි නැවතුම් කණුව ගාවට ඇවිල්ලා. වර්ෂ 2074 වෙද්දී මා බොහොම තෘප්තිමත් විශ්‍රාම දිවියක් ගත කළේ ඒ වෙන විට යළි පිබිදී සිටි ශ්‍රී රාවණ රජතුමා ලංකාපුරයේදී ඔ‍ටුණු පළඳා චක්‍රවර්තී රජෙක් ලෙස මුළු විශ්වයම දැහැමින් සෙමෙන් පාලනය කරමින් සිටිය නිසයි. හූණ කිව්ව වගේ ආතර් ශ්‍රී ක්ලාක් මහත්තය කියපු දේ සැබෑවක් වෙලා ඒ වෙනකොට මැදපෙරදිගත් ඇතුළුව මුළු ලෝකයම බුදු දහම වැළඳගෙනයි තිබුණෙ. මගේ තාත්තාගේ මරණය හැරුණ විට මා ගොඩක්ම ඉකි බිඳමින් හැඬුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවමඟුල දවසෙ. එතුමා මිය යන තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත්, රාවණ අධිරාජ්‍යයාගේ නාමික පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙසත් අනබිභවනීය සේවාවක් ඉ‍ටු කරමින් හිටපු හැටි මතක් වෙද්දී පපුව හෝස් ගාල යනව. ඉතින් ඔය කාලයේදී සිදුවුණ තවත් බොහෝ දේවල් මට මතක තිබුණත් ඒ ඔක්කොම මේ ලිපියෙන් කීමට නොහැකියි, ටිකෙන් ටික හෙළි කරන්නම්. ඒ වගේම විශ්ව කේන්ද්‍රය වෙනස් වීමට හේතු විය හැකි කිසිවක් මා හට කීමට වරම් ඇත්තේත් නැහැ.

සංසාර සාගරයේ ඔහේ පා වෙලා යද්දී මගේ ශරීර යාත්‍රාව හොඳටම අබලන් කියල හිතුණ නිසා තො‍ටුපොළකට ගොස් අළුත් යාත්‍රාවක් අරගන්න කළින්, ඒ සඳහා රාවණ රජතුමාව බැහැ දැකල එතුමාගේ අවසරය ගන්න ඕනැ කියල මතක් වුණා. ඉතින් ඒ සඳහා බොහෝ කලින් දින වෙන් කරවගෙන හිටපු නිසා, බලාපොරොත්තු වූ පරිදිම රාවණ රජතුමාව බැහැ දකින්න වරමක් ලැබුණා.


අරලියගහ රාජ මාළිගාවට ගියාම මං දැක්ක ඒ උත්තුංග දේහය සහිත ශ්‍රී රාවණ අධිරාජ්‍යයා සූසැට අබරණ වලින් සැරසී බොහොම තේජාන්විතව, ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ ගුවන් හමුදා ආඥාපති එයාර් චීෆ් මාශල් චන්ද්‍රසේකර මහත්තයට මොනවදෝ විධාන වගයක් ඉතාමත් උස් හඬින් දෙනව. මම ගිය ගමන් උරහිසේ තිබුණ කම්බි ලේන්සුව රාවණ අධිරාජ්‍යයාගේ කකුල් දෙක ගාව එළලා දණ ගහල වැඳල හිස ඔසොවන්නේ නැතිව එතුමාගේ විධානයක් ලැබෙන කම් බලං හිටිය. මං දැක්ක එක පාට්ටම ඉස්සරහට වතුර බිංදුවක් වැටෙනව, ඒක පොළොවට වැ‍ටුණ ගමන් පුංචි ගල් කැටයක් බවට පත් වෙලා පෙරලීගෙන ඈතට ගියා. ඒ වෙන මූකුත් නෙම්යි, රාවණ රජතුමාගේ ඇස් වලින් වැටෙන කඳුළු, චක්‍රවර්තී රජ කෙනෙක් පොළොවට හෙළණ කඳුළු මුතු බවට පත් වෙනව. මගේ උරහිසට අත තියල එතුමා මාව නැගිට්ටවල පොඩි පු‍ටුවක ඉන්දවල බොහෝ දේවල් කතා කළා. පහුගිය ජීවිත කාලය පුරාම සිදුවුණ දේවල් එකින් එක එතුමාට විස්තර කිරීමට ඒ හැටි කාලයක් ගත වුණේ නෑ. මගේ කතාවට හොඳට සාවධානව අහගෙන හිටපු ශ්‍රී රාවණ අධිරාජ්‍යයා කාමරයට ගිහින් ටිකකින් පුස්කොළොපොතක් අරන් ඇවිත් උගුරේ ‍රැළි බුරුල් කරලා...

"දරුව, තොප මා හට තොපේ ජීවිතයම කැප කරමින් සේවය කරපු බව මම හොඳින් දනිමි. තෙල මා මේ කීමට යන දේ සාවධානව අසව්! තොපේ ජිවීත ඉරණම වර්ගපූර්ණිකාව නැමති රවිශෛලාස යක් පරපුරේ මා හැඟි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙන වගයි"

"රාවණ යුගයෙන් පසුව එළඹෙන බුද්ධ යුගයෙහි වර්ෂ 2556ක් ඉක්ම ගිය තැන ජම්බුදීපයෙහි පහල වන එක්තරා රාවණා බැතිමතකු තදනන්තරව රාවණ විෂයෙහි ඇළුම් කොට ඒ විෂය හුදී ජන පහන් සංවේගය උදෙසා පුන පුනා කිවීමෙහි යෙදෙන කලට ඒ කෙරෙහි උරණ වන රාවණ විරෝධීහූ එක්ව මණ්ත්‍රණය කොට ඔහුට නිස්සක් කෙරෙමියැයි කතිකාවතක් සම්මත කොටැගෙන ඔහු මැඩලීමෙහි ලා හුදෙක් ජම්බුදීපයෙහි වෙසෙන රාවණ විරෝධීන්ගේ සමර්ථකම් අල්ප හෙයින් එවකට ලොව තුල රාවණ බලය සොරකම් කොටගෙන එයින් යම් යම් දෑ තනාගෙන දිවි ගෙවනු ලබන සුදු සමැති ම්ලේච්ඡයින් පිරිසක් හා එක්ව ඒ ශක්තියත් මඳ හෙයින් පෙර කල රාවණ අතින් පැරදී පලා ගොස් ඒ ඒ ග්‍රහ ලෝකවල දුක සේ ජීවත් වෙමින් සිය ශක්ති ප්‍රමාණයෙන් නැවත දියුණු වෙමින් පවතින පිටසක්වලයින්ගේත් ආධාර ඇතිව එකී රාවණ බැතිමතාව ස්වේත වර්ණ රාකටු සවි කරන ලද ආකාෂ විමානයකින් විත් ප්‍රයෝග කොට අත පය හකුළුවා සුදු සමැති ම්ලේච්ඡයින්ගේ භූමිය කරා රැගෙන යන්නේය... එසේ ගෙන ගොස් ඔවුන් සතු සියළු බන්ධන මාලාවන්ට යටත් කොට සිරගත කොට දමන්නේය... එහෙත් සිරුර සිරකලද මනස සිර කිරීමේ පෙර වූ රාවණ තන්ත්‍ර ආදියෙහි උවූහූ අසමර්ථයෝ හෙයින් එකී බැතිමතා සිරගත කොට පුරා දිනයක් ගත වන විට සිය මනස් ශක්තිය ඒක රාශීකොටැ ධ්‍යානයට සමවැද යාමයක් හමාර වන කලට තුන් ලොව කළඹන්නේය..තවද ඔහුගේ නිදහස පතා රාවණ ස්තෝත්‍ර ගයමින් පුරා යාමයක් සත්‍ය ක්‍රියාවෙහි යෙදෙන ලෝක වාසී රාවණ බැතිමතුන්ගේ ශක්තිය එකී බැතිමතාට යොමු වී එකී බලයෙන් අහස පොලෝ ගුගුරවාගෙන නැගී සිටින්නාහුය... එකල්හී සිදුවන ලෝක ධාතුවේ සෙලවීම කරණකොටගෙන ඒ වන තෙක් නිල්ගල වනයේ කුඩුගල ශයනාගාරයෙහි දීර්ඝ නින්දකට වන් රාවණයන් හටද මේ තොපට අවධිවීමට කාලයයි යන පණිවිඩය ලැබෙන්නාහුය... එම සංඥාවෙන් සිය නින්ද නිමවාලීමට තීරණය කරන්නා වූ මහා රාවණයන් සිය ශරීර හා මානසික ශක්තිය උපදවා ගැනීම පිණිස සුළු කලක් ශයනයේ සිටම සමාධියට වන්නේය... එසේ ශක්ති උපදවාගන්නා රාවණයන් එයින් මාස කිහිපයකට පසුව නැවතත් සිය රාජ තේජසත්..දේව ශක්තියත් උපදවාගෙන නැවත ස්වකීය රූපයෙන්ම මෙලොව පෙනී සිටීන්නේය..."

"දරුව, තොපට දැන් වැටෙහේද, නක්ෂස්ත්‍රය තුළින් හෙළි වෙන විශ්ව කේන්ද්‍රයේ ඉරණම මගින් තීරණය කර ඇත්තේ තොපට මෙවන් තත්ත්වයක් නොවේ, තොප විසින් කළැ යුතු තවත් දෑ බොහෝ පවතී. වහා ආපසු අතීතයට යන්නට සැරසෙව්! මාගේ මන්ත්‍ර බලය භාවිතා කොටැ තොපගේ අතීතයේ සිටි යහළුවෙකුට සිහිනෙන් මේ බව පවසා තොපට ඇවසි ශක්තිය අතීතයෙන් ලබා දීමට කටයුතු කරමි. එසේනම් දැන් ටයිම්පොර්ට් එකට යනු"

ශ්‍රී රාවණ රජතුමාගේ ඒ විධානයත් එක්කම එතුමාට නැවතත් දණ ගහල වැඳල මම කාලතරණ තො‍ටුපොළට පිය මැන්න. ආ...කියන්න අමතක වුණානෙ, අපි මුලදී NASA එකේ පරීක්ෂණ කරමින් ආරම්භ කරපු කාලය හරහා ගමන් කිරීමේ උත්සාහයේ ප්‍රතිඵල ඒ වෙනකොට ලැබිලයි තිබුණෙ. රාවණ රජතුමා රජ වූ වහාම ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරලා ඇමරිකාව යටත් කිරීම නිසා කාලතරණ යන්ත්‍ර වල තාක්ෂණය සම්පූර්ණයෙන්ම අයිති වුණේ ලංකාපුරයට. ඉතින් රාවණ රජතුමාගේ මන්ත්‍ර භාවිතා කර කාලතරණය සඳහා අවශ්‍ය පාරභෞතික ශක්තිය නිර්මාණය කර කාලයන්ත්‍රය නිමා කළා. එපමණක් නොවෙයි, කාලය හරහා ගමන් කිරීමට දියුණු නීති පද්ධතියකුත් රාවණ රජතුමා මුල් වෙලා හදල තිබුණ. අද අපි පිට රටකට යන්න පෙර අදාල රටෙන් වීසා ගන්න ඕනැ වගේම කාලය හරහා අතීතයට හෝ අනාගතයට යද්දී ඒ කාලනවාතැනිනුත් කැඳවීමක් තියෙන්න ඕනැ. ඒකට කියන්නේ "කාසා" කියල. අන්න ඒ සඳහා තමයි රාවණ රජතුමා මාගේ යහළුවෙක්ව සිහිනෙන් සම්බන්ධ කරගෙන තියෙනෙ.

ඒ අන් කවරෙක්වත් නොවෙයි, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය කරන මාරයා! සිහිනෙන් රාවණ රජතුමාගෙන් ලැබුණ විධානයන්ට අනුව මාගේ ආගමනයට අදාල කටයුතු මාරයා සූදානම් කරල තිබෙනව. ඒ සඳහා වර්ගපූර්ණිකාවේ සඳහන් අනාගත වාක්‍යයත්, එසේම රාවණ ශක්තිය ජනනය කිරීම සඳහා අවශ්‍ය රාවණ මන්ත්‍රයත් පළ කෙරුණා. මේ තියෙන්නෙ ඒ මන්ත්‍ර ය.
"ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්‍රං
ශක්ති මහීන්ද්‍රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණා‍ටු සාගරස්ස කත්වා
ආගමක්‍ය නථ්‍ය ඕං රීං පුං"
නමුත් හැම දාම අපට විරුද්ධව සිටින රාවණ විරෝධීන්ගෙන් මෙය වසං කිරීම සඳහා අදාල ලිපිය රාවණ විරෝධීන් කියවද්දී විහිළුවක් විදියට පේන ලෙසටයි පළ කරල තියෙන්නේ. නමුත් සැබෑ රාවණ පාක්ෂිකයින්ට ඒ ලිපිය විහිළුවක් වුණේ නෑ. ඉතින් සියලුම රාවණ පාක්ෂිකයින් ඒ මන්ත්‍රය දිගින් දිගටම ජප කරන්න ගත්තෙන්, විශාල ශක්තියක් ජනනය වී මාගේ කාල තරණයට අවශ්‍ය "කාසා" එක ගොඩ නැගුණ.


මම කාල තරණ ගුවන් තො‍ටුපොලට ගොඩ වැදිලා අවශ්‍ය මුදල් ලබා දී ඉතිරි කටයුතුත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් පසුව එහි තිබෙන තාරකා දොර‍ටුවක් හරහා ආයිත් අතීතයට (එනම් පහුගිය සිකුරාදට) එන්න පුළුවන් වුණා. නමුත් මම ආවෙ මෙච්චර කල් හිටපු අවුරුදු අනූ හතරක්ම වැහැරුණු ශරීරය අරගෙන නෙමෙයි, විශේෂ ක්‍රමයකට. Area 51 එකේ හිර කරල තිබුණ කාමරේ තිබුණ ශරීරයටම මගේ මනස අවතීර්ණ වෙද්දී එතෙක් තිබූ ශරීරය අවකාශකාලයේ නොපෙනී ගියා.

[ඉතිරි කොටස මෙතනින්...]
Read More...

නුදුරු අදහස්