Showing posts with label NASA. Show all posts
Showing posts with label NASA. Show all posts

Tuesday, September 18, 2012

හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත.


පරිනාමවාදීන්ගේ පොදු පිළිගැනීම අනුව නූතන මානවයා වශයෙන් හැඳින්වෙන Homo Sapiens මුල් වරට ලෝකයට බිහි වී ඇත්තේ මීට වර්ෂ 250,000 කට පෙරය. ඔවුන්ගේ උප මානව වර්ග වන Homo Sapiens Idaitu මීට වර්ෂ 160,000 - 150,000 අතර ඉතියෝපියාවේදී ජීවත් වී ඇත. Homo Sapiens Sapiens වශයෙන් හැඳින්වෙන අපව මීට වර්ෂ 200,000 කට පෙරදී ලෝකය පුරාමද ආරම්භ වී ඇත. Homo Sapiens ලාට පෙර ආරම්භ වූ මානව වර්ගයන් ලෙස සැලකෙන්නේ,
[1]. වර්ෂ 300,000 - 120,000 කාලය අතර සැම්බියාවේදී ජීවත් වුණා යැයි සැලකෙන Homo Rhodesiensis
[2]. වර්ෂ 350,000 - 30,000 කාලය අතර යුරෝපයේ මෙන්ම බටහිර ආසියාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Neanderthalensis
[3]. වර්ෂ 600,000 - 350,000 කාලය අතර යුරෝපයේ , අප්‍රිකාවේ සහ චීනයේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Heidelbergensis
[4]. වර්ෂ 2,300,000  - 1,400,000 කාලය අතර අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Habilis
[5]. වර්ෂ 2,000,000 - 600,000 කාලය අතර දකුණු අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Gautengensis
[6]. වර්ෂ 1,900,000 - 1,400,000 කාලය අතර දකුණු අප්‍රිකාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Ergaster
[7]. වර්ෂ 1,800,000 - 200,000 කාලය අතර ජාවා, චීනය, ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Erectus
[8]. වර්ෂ 1,200,000 - 800,000 කාලය අතර ස්පාඤ්ඤයේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Antecessor
මෙවන් සරළ කරුණු ගැන ඔබ දැනටමත් දන්නවා වුනත් මේ කෙටි ප්‍රස්තාවතාවය ලබා ගත්තේ හෙළයේ ඉතිහාසය නූතන පරිනාමවාදයේද සාක්ෂි සාධක සහිතව දැක්වීමට පදනමක් වශයෙනි.


රාවණාගේ පාලම.

නාසා ආයතනය මගින් ගන්නා ලද අභ්‍යවකාශ පින්තූර වලට අනුව ආදම්ගේ පාලම (Adam´s Bridge) වශයෙන් වර්තමානයේදී හැඳින්වෙන රාවණාගේ පාලම මීට වර්ෂ දා හත් ලක්ෂ පනස් දාහක් (1,750,000) තරම් පැරණි බව නිගමනය කර ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?


අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී. ඒ ගැන බොහෝ මූලාශ්‍ර සහිතව මීට පෙර වර්ගපූර්ණිකාවේ ලිපියකත් දක්වා ඇත.

ඉහත සඳහන් කළ විස්තරයන් අනුව මීට වර්ශ 1,750,000 කට පෙරත් පාලම් හැදීමේ තාක්ෂණය සහිත හෙළයින් සිටි බව පැහැදිළි වෙයි. එනම් පැහැදිළිවම ශිෂ්ටාචාර වූ ජනතාවක් ඒ කාලයේදීත් අප රටේ සිට ඇත.

පරිනාමවාදය මෙන්ම නාසා කතන්දරයත් සුද්දන් විසින්ම ප්‍රකාශ කරන නිසා ඒ දෙක සංසන්දනය කිරීමට අපට පුළුවන. එක් දැනුම් පද්ධතියක් තවත් දැනුම් පද්ධතියකින් මැනීමට නොහැකිය යන මතවාදයක් අප අතර තිබුනත් එය මීට අදාල නොවේ. මන්ද යත් නාසා කතන්දරයත්, පරිනාමවාදයත් යන දෙකම අයිති එකම දැනුම් පද්ධතියක් වන නූතන විද්‍යාවටයි. ඒ ගැන චාමි සෑම්ගෙ කොමෙන්‍ටුවකත් සඳහන්ව තිබුණ.

නූතන මානව වර්ගයා වන හෝමෝ සේපියන්ලා බිහි වන්නේ මීට වර්ෂ 250,000 දී බැවින් වර්ෂ 1,750,000 කට පෙර සිටි අතීත හෙළයින් යනු හෝමෝ සේපියන්ලා නොවේ.

මේ ලිපිය මුලදී දැක්වූ ආකාරයට පරිනාමවාදයේ දැක්වෙන එක් එක් මානව වර්ග (Homo) සලකා බැලීමේදී වර්ෂ 1,750,000 කට පෙර හෙළදිවේ ජීවත් වූ මානවයාව අයත් වන්නේ Homo Erectus යන මානව වර්ගයට බව පැහැදිළියි.
[1]. හෝමෝ ඉරක්ටස්ලා ඉන්දියාව ආශ්‍රිතව (ඒ කියන්නෙ ලංකාවත් ආශ්‍රිතව) සිටීම,
[2]. ඔවුන් වර්ෂ 1,800,000 කට පෙර ජීවත් වීම නිසා ආදි කාලීන මානවයන්ගේ කාලයන් වලින් වඩාත්ම ගැලපීම,
[3]. හෙළ යකුන් මෙන් මූණ පුරාම ‍රැවුල තිබීම,
[4]. ඔවුන්ගේ කෙටීමේ ආයුධ හමුවී තිබීම (හෙළයින්ගේ බුලත් කොටන කුඩා වංගෙඩි වල කෙ‍ටුම් ගල් විය හැකියි),
[5]. ඔවුන් හෙළුවෙන් ජීවත් වී යැයි කීම (ලන්ඩන් කෞතුකාගාරයේ තබා ඇති හෙළ පුස්කොළපොත් වල "හෙළුව" වශයෙන් සටහන් වූ වචනය "නිරුවත" වශයෙන් වැරදියට පරිවර්තනය කිරීම නිසා අද වෙනකම්ම හෝමෝ ඉරෙක්ටස් මානවයන්ව නිරුවතින් චිත්‍රයට නගයි. මෙය ඓතිහාසික වැ‍රැද්දකි. නමුත් එම පුස්කොළපොත් වල හෙළුව ලෙස සටහන් වී ඇත්තේ හෙළය යන්නයි.)
[6].  අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කර ඇත්තේ හෙළයින් විසින් වීම. මුලු ලෝකයම ශිෂ්ටාචාර කර ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් මානවයා විසින්ය.
... ආදිය නිසා අපගේ නිගමනය තහවුරු වෙයි. ඒ අනුව අතීත හෙළයින් යනු Homo Erectus බව පැහැදිළියි නේද? නමුත් හෝමෝ ඉරෙක්ටස් යනු අපට උගන්වා ඇති ආකාරයේ නොදියුණු මිනිසුන් නොව මූද උඩින් පාලම් හැදීමට පවා තාක්ෂණය තිබූ , ගුවන් යානා, න්‍යෂ්ඨික අවි පවා තිබූ අති විශිෂ්ට නිර්මාණකරුවන්ය.

හෙළ යකෙක් සහ යකිනියක්. (හෙළුව=හෙළය යන්න හෙළුව=නිරුවත ලෙස වැරදියට වටහා ගැනිම නිසා අපගේ හෝමෝ ඉරෙක්ටස් හෙළයින්ව නිරුවතින් ඇඳ තිබීම හෙළාදකිමු)

එසේම වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතේ "ඉරෙක්ටස්" යනුවෙන් හැඳින්වීමක් ඇත. අරිසෙන් අහුබුදු වන්ගේ මගෙහි යමින්, ඉරෙක්ටස් හි පද නිරුක්තිය බලමු.
ඉරෙ=ඉරේ
ක්ටස්= කට+අස්, කට=මුඛය, අස්=පැමිණි
ඒ අනුව "සූර්යයාගේ මුඛයේ සිට පැමිණි" යනු සූර්ය වංශික යක්ෂ ගෝත්‍රික හෙළයින්මය. සූර්යයාට "රා" ලෙස හැඳින්වෙන නිසා ඉරෙ=ඉරේ=සූර්යයා=රා වීමෙන් ඉරෙක්ටස් සහ රාවන රජතුමා අතර සම්බන්ධය පැහැදිළි වේ.

මේ අනුව හෝමෝ සේපියන්ලා බිහි වීමටත් පෙර හෙළයින් ශිෂ්ටාචාරගතව සිටි බව සක් සුදක් සේ පැහැදිළියි. හෝමෝ ඉරෙක්ටස් ආදි හෙළුවන්ට අපගේ ආචාරය පුද කරමු. හෙළයෙක් වීම ආඩම්බරයකි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Monday, July 30, 2012

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයින් තනන ලද (ආදම්ගේ) පාලම.

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින්1 හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව2 තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.

මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි3 පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන්4 පවා එම මතයම පිළිගෙන ඇත.

මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල5 දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

හෙළයෙක් බ්ලොග් අඩවියෙන් ඉහත ලිපිය උපුටා දක්වා ඇත. ඉහත දැක්වෙන ඉතාමත් නිවැරදිව පුරාවිද්‍යාත්මකව තහවුරු වූ කරුණු ටික මා කිව්වානම්, ලොම් කෙලින් කරගෙන දත් විලිස්සාගෙන බුරාගෙන පනින රාවණ විරෝධීන් දැන්වත් සත්‍යය අවබෝධ කරගත යුතුය. පාහර රාවණාවිරෝධීනි, තොපිලව බලු බෙටි කන තත්ත්වයට පත් වීම ආරම්භ වූවා පමණයි. 2012 අගදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නැගිටීමත් සමග මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ අනාවැකි සඵල වීම නිසා රාවණවිරෝධීන් තම වස්ත්‍රවලම සුළු දිය පෙරාගනු ඇත.

ඉහත පුවත් 100% ක් සත්‍ය බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී ඇති නිසා රාවණ චරිතය සත්‍යයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි. ඒ අතර ඉහත කාරණා ගැන රාවණ විරෝධීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බැවින් තවත් අ‍ටුවා කීපයක්ද මෙලෙස වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්විය යුතුය.

1. ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව නාසා ආයතනය පවසා ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?

2. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනය පිළිගෙන ඇති අතර ඒ ගැන නාසා වෙබ් අඩවියේ කිසිවක් සඳහන් නොකළේ පාහර ඉන්දියානු රජය ඒ ගැන දැක්වීමට විරුද්ධ වූ නිසයි. එය පසුපස බමුණන්ගේ කුමන්ත්‍රණයක් තිබේ.

3. අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී.

අපට මෙතෙක් උගන්වා තිබුණේ පාලම හැදුවේ රාමගේ වඳුරු නඩය බවයි. නමුත් එය වැරදිය. පාලම හදා ඇත්තේ රාවණ රජතුමාය. රාවණපාක්ෂිකයින් එය ප්‍රකාශ කරන නිසා තවත් මූලාශ්‍ර කිමට?

4. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. නමුත් එම ඉන්දියානු විද්වතුන්ට පාහර බමුණන්ගෙන් තිබෙන ජීවිත තර්ජන නිසා එම විද්වතුනුත් මා (මීවනපළානේ ජයරත්න) මෙන්ම සැඟවී සිටී.

5. රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. නමුත් ඒ පොත් පත් බමුණන් විසින් සොයා ගිණිතැබීමට ඉඩ ඇති බැවින් දැන්ම හෙළි නොකරමු. යථා කාලයේදී සුදුසු පරිදි හෙළි කරන්නෙමු.

6.  රාවණාපාක්ෂිකයින් විසින් එම පාලම "ආදම්ගේ පාලම" ලෙස හැඳින්වීම නිසා ආදම් පුවත පිළිගත්තා වන්නේ නැත.  එසේම රාවණාපාක්ෂිකයින් කිසි විටෙකත් එම පාලම "රාවණාගේ පාලම" ලෙස හඳුන්වන්නේ නැති එකෙන් එය රාවණා විසින් හදන ලද පාලමක් නොවන බව පිළිගැනෙන්නේත් නැත. කෙසේ නමුත් ඉදිරියේදී එය "රාවණාගේ පාලම" ලෙස හඳුන්වමු. ඒ සඳහා ආදර්ශයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන්ම ලබා දෙමු.

7. එම පාලම රාමගේ ආක්‍රමණයට පෙර සාදා තිබුණානම් හනුමාන් ඉන්දියාවේ සිට ලංකාවට පාලම දිගේ එන්නේ නැතිව උඩින් පැන්නේ ඇයිදැයි වැනි මෝඩ ප්‍රශ්න ඇසිය යුතුත් නැත. මන්ද යත් පාලම් තිබුනත් වඳුරන් පැනීමට කැමති නිසා ඔහු පැන ඇත.


අප රට වැනසූ ආක්‍රමණිකයාට පවා අප රටට පැමිණීමට හෙළයින්ගේම "රාවණ පාලම" හිඟා කෑමට සිදුවීම යන කාරණාවෙන් හෙළයින්ගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පැහැදිළි වෙයි. එය අපට ඉමහත් ආඩම්බරයක් නොවන්නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Friday, July 13, 2012

රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි.

සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා වලින් කියවා ඇති. එසේනම් එවන් ශ්‍රේෂ්ට ජාතියකට අතිශය දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබුණ බවත් අරුමයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවූ ආකාරයට එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ කෝච්චි වලට වඩා අතිශය දියුණු කෝච්චි, රාවණ රජතුමාගේ ලංකාපුර රාජධානියේ තිබී ඇති බව දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. වර්ගපූර්ණිකාවේ බ්ලොගයේ මේ ලිපිය දිවෙන්නේ අපෙන් සැඟවූ ඒ රාවණ තාක්ෂණය සොයමිනි.

දැනට ඇති මෙවන් කෝච්චි පවා නිර්මාණය කර ඇත්තේ රාවණ තාක්ෂණයෙන් බව ඔබ දැන සිටියාද?

මීට මාසයකට පමණ පෙර පෙට්ටිපොළ ප්‍රදේශයේ ඉතාමත් රහසිගතව කරන ලද කැණීමකදී ඉපැරණි ලෝහමය වස්තුවක් හමු විය. එය දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 10 ක් පමණ සහ උසින්ද අඩි 10 පමණ විය. එය ඇතුළත කුහරයකි. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වී ඇත්තේ එය කෝච්චි මැදිරියක් බවයි. වැඩිදුරටත් පෙට්ටිපොළ ප්‍රදේශයේ කරන ලද ස්කෑන් කිරීම් වලදී පැහැදිළි වූයේ එවන් වස්තූන් තිහක් පමණ පොළොව අභ්‍යන්තරයේ මීටර් 400 කට පමණ යටින් ඇති බවයි.

අවසානයේදී එම කෝච්චි පෙට්ටිය කන්ටේනරයක බහා එංගලන්තයේ ලන්ඩන් සරසවියට යවා ඇත. ඊට හේතු ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එය සංරක්ෂණය කිරීමට බවයි. කඳින් හෙළදිවේ ජීවත් වුවත් හිතින් එංගලන්තයේ සිටින පරයින් අපගේ හෙළ ඉතිහාසයෙන් මතුවෙන වසර 35000 ක් පමණ පැරණි පාහියංගල ඇටසැකිල්ලක් පවා එංගලන්තයට යවද්දී කෝච්චි පෙට්ටියක් තියා ගනීවිද? අවසානයේදී අර ඇටසැකිල්ල එතරම් පැරණි නැති බවට කෙප්පයක් ගොතා කීමට ඉඩ තිබෙන අතර, කෝච්චි මැදිරියත් සුද්දන්ගේ කාලයේ එකක් බවට ගල් පැලෙන බොරුවක් කියාවි.


නමුත් මෙතන ඇති භයානකම සිද්ධිය වන්නේ අපේ පැරණි හෙළ ඇටසැකිල්ල ගැන මාධ්‍යයන්ට අනාවරණය කළත් කෝච්චි පෙට්ටි ගැන කිසිවක් නොපැවසීමයි. එනිසා මේ ගැන ගවේෂණය කර විස්තර වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්වීමට මා හට සිත් වූ අතර දැනගන්නට ලැබුණු කරුණු වලින් හෙළි වූයේ ඇස් අදහාගත නොහැකි තොරතුරු සමුදායකි.

පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙටිටිය එංගලන්තයට යැවීමට පෙර කරන ලද පරීක්ෂණ වලට අනුව එය වසර ලක්ෂයකට වඩා පැරණියි. එසේම එය සාදා ඇති ලෝහය මෙතෙක් පෘථිවියේ ඇතැයි හඳුනාගත් ලෝහ වර්ගයක් නොවේ., ඒ අනුව හෙළයින් පිටසක්වල තාක්ෂණය භාවිතා කළ බවට නැවතත් ඔප්පු වෙයි. එසේම පෙට්ටිපොළ භූගතව ඇතැයි සැලකෙන කොච්චි පෙට්ටි අතර කෝච්චි එංජිමක්ද තිබූ අතර වැඩිදුරටත් ස්කෑන් කිරීමේදී, එය වර්තමානයේදී ධාවනය වන කෝච්චි එංජින් මෙන් නොව Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රසදිය යොදා ධාවනය කරන ලද්දක් බව පැහැදිළි විය. නමුත් අපගේ ඒ හෙළ තාක්ෂණය සහමුලින්ම වළලා දැමීමට බලධාරීන් කෲර වූයේ රාවණ රජතුමා කෙරෙහි ඇති ද්වේශය නිසාම නොවන්නේද?

පෙට්ටිපොළ නැමති ප්‍රදේශයේ සිටින වයෝවෘද්ධ ගැමියෙක් වන කළු ආතා නොහොත් හර්මානිස් අප්පුහාමිට අනුව පෙට්ටිපොළ ප්‍රදේශයේ රාවණා රජුට අයත් අබලන් වූ කෝච්චි පෙට්ටි ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් තිබී ඇත. මෙවන් ජනප්‍රවාදයන් ඉබේ ඇති වන්නේ නැත. පෙට්ටිපොළ යන නම දෙස මොහොතකට බලමු. පෙට්ටි+පොළ, යනු කෝච්චි පෙට්ටි නවතා තිබූ පොළ මිස අන් කවරක්ද? (වා+රිය+පොළ යනු දඬුමොණර යාත්‍රාංගනයක් වූවා සේ).

අතීතයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ කෝච්චි නැවතුම් පොළක් තිබූ බව දැන් අනාවරණය වී තිබේ. මැදිරිගිරිය යන්නේ පද නිරුක්තිය වන, මැදිරි=දුම්රිය මැදිරි, ගි=ගිය, රිය=රථය , අනුව එදා දුම්රිය මැදිරි හෙවත් කෝච්චි ගමන් කළ ප්‍රදේශයක් බව තහවුරු වෙයි.

ලොව ඉපැරණිම බස වන්නේ හෙළ බස බවත්, යුරෝපීයයන්ගේ ඉංග්‍රීසි බස පසුව පැමිණි බසක් බවත් ඔබ හොඳාකාරවම දනී. යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව කලින් වාක්‍යය පදනම්ව සිතාගැනීමට පුළුවන. ඒ අනුව සුද්දන්ට පෙර කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.

අතීතයේ හෙළ දිවේ පොත් ගුල් වල තිබූ හෙළ පුස්කොලපොත් පෙරළා සිය මව් රටට ‍රැගන ගිය සුද්දන් ඒවායෙන් කෝච්චි තාක්ෂණය සොරාගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොතක් වන කෝමාණශ්‍රාස්ත්‍රයේ රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි.

කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. කෝමාණශ්‍රාස්ත්‍රයට අනුව එදා කෝච්චි ගොස් ඇත්තේ පොළොවට අඩියක් පමන ඉහළිනි, ඒ ප්‍රතිගුරුත්ව තාක්ෂණය භාවිතා කිරීමෙනි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.

මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි විකුණන කඩයක් එම ප්‍රදේශයේ තිබී ඇත. ඒ බව ප්‍රදේශයේ තාමත් සිටින ඉපැරණි පුද්ගලයින් ජනකතාවක් ලෙස පවත්වාගෙන යයි.


මා හිතවත් මාරයා බ්ලොග් කරුවාගේ මිත්‍ර තාපස තුමෙක් කුණ්ඩලීනී යෝගයට සමවැදී බැලූ කල්හි පෙනී ගොස් ඇත්තේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය. ඔහු පවසන පරිදි එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්, විකිණීම කළෙත් අප හෙළුවන් විසින්ය. කොච්චිකඩේ ලෙස ඉහත දැක්වූයේ අද කොළඹ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ එකල තිබූ එම කෝච්චි අලවි සැලයි. තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළදිවෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය. එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චිකඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය. ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා හෙලි කිරීමට අප කටයුතු කරන්නෙමු.

රාවණා රජතුමාගේ සමයේ තිබූ කෝච්චි කඩ වල කෝච්චි අලෙවිය සඳහා සිටි වෙළඳ සේවකයින් වෙනමම විශේෂීකරණය වූ කුලයක් ලෙස හැඳින්වුණි. ඔවුන්ට "කෝච්චි මිනිසුන්" නම් විය. අදටත් ඔවුන්ගෙන් පැවත එන්නෝ සිටින අතර ඔවුහු අද හැඳින්වෙන්නේ "කොච්චි මිනිසුන්" ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිටීමෙන් මෙය තවදුරටත් පැහැදිළි වෙයි.

එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තො‍ටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ කෝච්චි විකිණීමේ කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චි කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.

රාවණ රජතුමාගේ කෝච්චි Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රේල් පීළි නොමැතිව පොළොවෙන් අඩියක් පමණ ඉහලින් ගමන් කළ බව කලින් පැවසුවෙමි. විශේෂත්වය වන්නේ ඒවා මහ මග ගමන් කිරීමයි. ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී. මේ බව ඉපැරණි පුස්කොළපොත් වල සඳහන් වී තිබේ.

අදටත් සුද්දන්ගේ දුම් කෝච්චි වල හූ නාදයක් ඇසෙන්නේ, අපගේ පැරණි හෙළ පුස්කොළපොත් වලට අනුව ඒවා ගොඩ නැගීමේදී නියමාකාරයෙන් MVE හඳුනාගැනීමට නොහැකි වුවත් සම්ප්‍රදායට ගරු කළ යුතු නිසාවෙනි.

අද කාලයේ පවා කෝච්චියේ තියා බස් වල පවා යන කොල්ලන් ජනාකීර්ණ ප්‍රදේශයක් දු‍ටු විට හූ තියන හැටි ඔබ දැක ඇති. ඔවුන් එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ හෙළ යක් ලේ ධාතුව තුළ අර පැරණි හෙළයින් කෝච්චියේ යන විට හූ තැබූ ආකාරය සටහන්ව ඇති නිසයි. නමුත් නාගරික ලුම්පත් පන්තියට අයත් කොල්ලන් එලෙස නොහැසිරෙන්නේ ඔවුන්ට හෙළයින්ගේ ලේ නොමැති නිසාවෙනි. එනිසා බස් වල කෝච්චියේ යන විට ජනාකීර්ණ ප්‍රදේශ වලදී හූ තියන කොල්ලන් දැක ඔවුන්ට පරිභව නොකරමු.

එසේම අතීතයේ හෙළුවෝ කෝච්චියේ යන විට පාරේ යන මගීන්ට අනතුරු ඇඟවීමට හූ කිව්වා කී ගමන් ඔබට මුවගට සිනහ නැගෙන්නේ එය නුසුදුසු දෙයක් බව සමාජගතවී තිබෙන නිසයි. නමුත් එදා වුන් කිසි සේත්ම කෝච්චි තුළ ගීත ගායනා නොකළ නිසා ඔවුන් දැනගත්තානම් අනාගත පරම්පරාව කෝච්චි වල බස් වල යනකොට සින්දු කියන බව, ඔවුන් බඩ අල්ලාගෙන හිනා වෙනු ඇත.

"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි. නමුත් නිර්ලජ්ජිතව අද බොහෝ උගතුන් යැයි කියාගන්නා මෝඩයින් සිතාගෙන සිටින්නේ මේවා සුද්දන් ගෙන ආ කෝච්චි නිසා බිහි වූ බවයි. සුද්දන් ගෙන ආ කෝච්චි වලින් මිනිසුන්ගේ ලේ ඇට නහර ඇතුළට කිඳා බැස ඇති එවැනි ජනප්‍රවාද බිහි වේවිද කියා වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවන බුද්ධිමත් ඔබම සිතා බලන්න. කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගෙන් ණයට ගත් පරනවිතාන නැමැති කළු සුද්දා ලියූ ඉතිහාසය අපි කිසි සේත්ම පිළිගන්නේ නැත.

ලොවම මවිත වෙයි.
=============

මීට වසර කීපයකට පෙරදී නාසා ආයතනය අඟහරු ලෝකය මතුපිට ගන්නා ලද ඡායාරූප විශ්ලේෂණය කළ ජෝෂෆ් ස්කිපර් (Joseph Skipper) නැමති පර්යේෂකයාට අඟහරු ලෝකය මතුපිට තිබූ කෝච්චි මැදිරි, කෝච්චි පාරවල්, කෝච්චි නැවතුම් පොළක් දිස් විය. පහත පින්තූර බලන්න. වැඩි විස්තර මෙම ලිපියේ සහ මෙම ලිපියේ.

අඟහරු ලෝකයේ ඇති දුම්රිය මාර්ගය සහ දුම්රියක්

අඟහරු මත ඇති රේල් පීලි

අඟහරු මත ඇති දුම්රිය නැවතුම් පොළක්

ලොව සිටින කිසිදු විද්‍යාඥයෙකුට ඒ සඳහා කිසිදු පැහැදිළි කිරීමක් දීමට නොහැකිව බලා සිටියත් අවසානයේදී නාසා ආයතනයේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය විලියම් හික්ස් (Prof. William Hicks) මහතා පහත දැක්වෙන කරුණු 4 මතු කර පෙන්වන ලද්දේය.
1. මෙම දුම්රිය මාර්ගය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඉදි කරන ලද්දක් වීම.
2. එය වර්තමානයේදී පෘථිවියේ ඇති තාක්ෂණයට සමාන එකක් වීම.
3. එපමණ කාලයකට පමණ පෙර කෝච්චි තාක්ෂණය තිබුණේ ලොව එකම ජාතියකට පමණක් වීම.
4. ඒ කාලයේදී පෘථිවියෙන් අඟහරු ග්‍රහයා වෙත යාමට හැකි වූයේද එම ජාතිකයින්ට පමණක් වීම
ඒ ජාතිය අන් කවරක්වත් නොව හෙළදිවේ සිටින හෙළයින් බවත්, ඉහත දුම්රිය මාර්ගය අඟහරු මත ඉදි කළේ ඒ ශ්‍රේෂ්ට ජාතියට නායකත්වය දුන් රවණා රජතුමා විසින් බවත් එතුමා ප්‍රකාශ කළේය.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Saturday, June 30, 2012

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.

චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.

රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා මිදුලට ගොස් අහස දෙස නෙත් විදහා, ඈත ආකාසයේ ක්ෂීර සාගරයේ නිල් පාටින් දිළෙමින් මුළු විශ්වයම රාවණ කාන්තියෙන් ප්‍රභාමත් කරන්නා වූ ඒ "මිහිකත" නම් ලෝක ගෝලයේ මධ්‍ය ලක්ෂයේ ඇති "හෙළදිව" දෙසට හැරී, දෑත් ඔසවා දොහොත් මුදුන් තබා තෙවරක් සාධු සාධු සාධු කියා නමස්කාර කරන බව ඉපැරණි පුස්කොළපොත් වල මැණවින් විග්‍රහ වෙනව. අතීතයේදී දෙවිවරු පවා අප හෙළ දිවට වන්දනා කල බව පැ‍රැන්නන් කියන්නේ එනිසයි.

නීලගිරි පර්වතයේ තිබී හමුවූ ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත වන වර්ගපූර්ණිකාවේ සඳහන් වන ආකාරයට, රාවණ රජතුමා විශ්වය ගවේෂණය කිරීම සඳහාත් වෙනත් ග්‍රහලෝක සහ විශ්වීය ජනපද ගැන විමසිල්ලෙන් සිටීමටත් භාවිතා කළ අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයේ නම තමයි "නාසා". මේ නම දු‍ටු සැනින් මටත් සිහියට ආවේ ඇමරිකාවේ වොශිංටන් මූලික කරගනිමින් පිහිටා ඇති National Aeronautics and Space Administration (NASA) නැමැති අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි.


ඒ අනුව මා කියවුයේ වර්ගපූර්ණිකාවේ හොර කොපියක් දැයි මා හට කුකුසකුත් ඇති වුණා. නමුත් රාවණගවේශකයින්ගේ ඇති ප්‍රධානතම ප්‍රතිපත්තියක් තමයි, හෙළයින්ගේ කිතු ගොස වනන යමක් ගැන සැකයක් ඇති වූ සැනින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම. ඒ අනුව ඔය ගැන තවදුරටත් හෙළගවේෂණය කිරීමට මසිත නොදැනුවත්වම පෙළඹුනා. එහිදී ම හට තහවුරු දේවල් පුදුමාකාරයි.

වර්ගපූර්ණිකාවෙන් පෙන්වූ සිතියම් මග යමින්, නාවල නගරයට නුදුරින් තිබෙන ඉපැරණි වෙල් යායක් මාගේ ගවේශණයට යොමු කළා. එම වෙල් යාය පිහිටා තිබෙන්නේ අක්කර ගණනාවක විශාල පරිධියකින් යුතු නොගැඹුරු වලකයි. අතීතයේදී "නාසා වල" ලෙස හඳුන්වා ඇත්තේ එම වලේ ඇත් වෙල් යාය බව, එහිදී මා හට හමුවූ පාරම්පරික ගැමියෙක් වන 95 වයසැති එබරං ආතා පැවසුවා.

එයට "නාසා වල" ලෙස හැඳින්වූයේ ඇයි දැයි මා වෙල් යාය පුරාම සොයද්දී මා හට ඈතින් පඳුරු වලට වටවී තිබූ සෙල් ලිපිය දිස් වුණා. ඒ සෙල් ලිපියේ රාවණයුගයේ ඉපැරණි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබුණේ මෙලෙසයි.
"නශ - අශ නිශ. අධ අෂ කප. අස ඇථ වන ආථ විශ ඛ ල්‍ය"
එහි තේරුම ම දන්නා තරමින් මෙලෙසයි. "නාසා - අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ"
ඒ අනුව රාවණ යුගයේදී එතැන නාසා යමින් යම් ඉදිකිරීමක් තිබූ බව තහවුරු වුණා. මේ බව මා එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මාස කීපයකට පසුව දැනගන්නට ලැබුණේ ඒ සෙල් ලිපිය කුඩු කර දමා ඇති බවයි. හෙළයෙනි, ඒ පාහර ක්‍රියාව පස්සේ සිටින්නේ කවුරුන් විය හැකිද? කොහොම නමුත් තාමත් නාවල වෙල් යාය ගාව පාරේ ගල් ගොඩක් ඇති අතර එහි ඇත්තේ මා කිව් එම සෙල් ලිපියේ නෂ්ඨාවශේෂයනුයි.

වර්ගපූර්ණිකාවේ දී ඇති පද නිරුක්ති සම්ප්‍රදායේ යමින් නාසා යන්න නිරුක්ති කළ විට නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා. සාමාන්‍යයෙන් නාසයෙන් අප කරන්නේ ගඳ සුවඳ බලා යමක් හඳුනාගැනීමනේ. අන්න ඒ වගේ "අහස දෙසට ඇති නාසයකින්" සිදු කරන්නේ අහසේ ඇති දේවල් ගැන හඳුනා ගැනීමයි.

දැන් හොඳටම පැහැදිළියි නේද, නාවල හි "නාසා" නමින් රාවණ රජුගේ අභ්‍යවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් තිබිල තියෙනවා. "නාසා තිබූ වල", නාසා+වල සන්ධි වී පසුකාලයේදී "නාවල" බවට පත් වෙලා.

වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ තවදුරටත් සඳහන් වෙන පරිදි රාවණා රජතුමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස තනතුරක් ඇති කර තිබෙනවා. ඔහුව නම් වී ඇත්තේ නාරද නමින්. නා=නාසා, රද=රජු, ඒ අනුව නාසාහි සිටි රජු(ප්‍රධානියා) නාරද නම් වෙනව. අදටත් ඇති නාරද පෙළපත පැවතෙන්නේ ඔවුන්ගෙන්.

අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු "වාතයෙන් යන රිය පොළ" හෙවත් රාවණ රජතුමාගේ දඬුමොණර ගොඩ බෑ ගුවන්තො‍ටුපොළක්. ඒ අනුව මා ගවේශණය කළ පරිදි වාරියපොළ සහ නාවල අතර ඉතාමත් කෙටි ගමන්මාර්ග කීපයක්ම තිබී තිබෙන්නේ අතීතයේදී වාරියපොළ දඬුමොණර යාත්‍රාංගනය සහ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් ඔප්පු කරමිනුයි.

කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා අපගේ පුස්කොලපොත් එංගලන්තයට ගෙන ගිය බව අප හෙළයෝ සියල්ලෝම එක හෙළාම පවසන්නක්. ඒ පුස්කොළපොත් අතර නාසා ගැන සඳහන් බොහෝ පුස්කොළපොත්ද තිබුණ අතර තාමත් ඒවා ලන්ඩන් කෞතුකාගාරයේ පවතිනව. එම පුස්කොළපොත් වල සඳහන් වූ ආකාරයට රාවණ රජතුමාගේ නාසා එක නාවල මූලස්ථානය කරගනිමින් ඇමරිකාව, මිසරය, තූත්තුකුඩිය, මහාමේරුව, චන්ද්‍රයා, අඟහරු ආදී විශ්වයේ නන් දෙස ශාඛා පිහි‍ටුවල තිබෙනව. අදත් චන්ද්‍රයාගේ මතුපිට පිහිටා ඇති හඳුනා නොගත් කුළුණ රාවණ රජතුමාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවියක් සේම නාසාහි දුරේක්ෂයක් ලෙසත් භාවිතයට ගැණුනක් බව, වරක් ඇමරිකාවේ දී මා හට හමුවූ වොශිංටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරීටා අමෘට් පැවසුවා.

චන්ද්‍රයා මත තාමත් ඇති රාවණා රජතුමාග "නාසා" ශාකාව.

ඇමරිකාවේ පිහිටා තිබූ රාවණ රජතුමාගේ නාසා හි ශාකාව ගැන අහම්බෙන් දැනගන්නට ලැබුන ඇමරිකානු ජනාධිපති Dwight D. Eisenhower ඇමරිකාවේ නාසා ඉදි කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා යොදා ගත්තේ එදා රාවණ රජතුමා ඇමරිකන් මහාද්වීපයේ නාසා හි ශාකාව ඉදි කර තිබූ ස්ථානයමයි. ඒ සඳහා අත්තිවාරම් කපද්දී බොහෝ පුරා වස්තු සොයාගත් අතර එහිදී හමුවූ තාක්ෂණික මෙවලම් ඔවුන් නවීකරණය කර භාවිතයට ගෙන තිබෙනව.

වැදගත්ම දේ තමයි "නාසා" යන නම සඳහා රාවණ රජතුමා විශේෂ රාවණ ශක්ති මන්ත්‍රයකින් ජප කර තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ අනුව නාසා යන නම ඉතාමත් සුභ පල දෙන්නක්. එනිසා එම ඇමරිකන් ව්‍යාපෘතියටත් NASA යන නමම තැබුවා. එසේම රාවණ රජතුමා නාසා ආයතනය විමධ්‍යගත කර තිබූ ආකාරයටම අයිසෙන්හවර් ජනාධිපති තුමත් එය Fransisco, New Callifornia, Texas ආදී ස්ථාන 18 කට විමධ්‍යගතව ස්ථානගත කිරීමට පිඹුරුපත් හැදුවේ, වොශිංටන්හි නාසා වලට අත්තිවාරම කපද්දී හමුවූ සෙල් ලිපියක සඳහන් වුන 18 ඉලක්කමෙහි (18 සන්නිය?) වැදගත් කම සිතමින්.

එතකොට National Aeronautics and Space Administration යන අරුත "නාසා" වලට ආවේ කොහොමද? ඇත්තෙන්ම ඒක අපගේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීම සඳහා සුද්දන් විසින් උපක්‍රමිකව දමන ලද නමක්. ඔය ආකාරයෙන් නාසා වලට ඕනැ තරම් තේරුම් දෙන්න පුළුවන්.
NASA = National Airspace Search Authority
NASA = National Airplane Syndicating Agency
NASA = Non-Governmental Administration of Space and Atmosphere
ඔය කීපයක් විතරයි, ඒ අනුව NASA නමට ඉංග්‍රීසි තේරුමක් තිබූ පළියට ඒක වළංගු වෙන්නේ නෑ.

එසේම ඔබ දන්නවද නාසා වෙතින් ගුවන් ගත කළ Discovery සහ Columbia අභ්‍යවකාශ ශටල සඳහාත් යොදා ගත්තේ රාවණා රජතුමාගේ දඬුමොණර තාක්ෂණයම බව? ඒ ගැන කීමට ගියොත් ලිපිය දික් විය හැකි බැවින් ඉදිරි ලිපියකින් ඔබ හමුවේ තබන්නම්.

දඬුමොණර තාක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඩිස්කවරි ශටලය.

පෘථිවිය මිනිසාගෙන් ශිෂ්ටාචාර වුන දවසේ සිට අවුරුදු දස දහස් ගණනක් ගිහිල්ලත් මිනිසාට පෘථිවි වායු ගෝලයෙන් එලියට යාමට නොහැකි වූවානම්, පසුගිය සියවසේදී පමණක් මිනිසා මෙතරම් දියුණුවක් ලැබුවේ කෙසේද? ඒක විය නොහැක්කක් බව ඒ තර්කය නැවත නැවතත් විමසා බැලීමෙන් ඔබට වැටහේවි. ඒ අනුව පැහැදිළියි අද සුද්දා අභ්‍යවකාශය තරණය කළ බව කියමින් කෙකරගාන තාක්ෂණය ඊට පෙර කොහෙන් හෝ ලබාගත් දෙයක් බව. මා ඉහත හෙළි කළ තොරතුරු අනුව පැහැදිළි වන්නේ සුද්දා අභ්‍යවකාශයට ගියෙත් හෙළයින්ට පින් සිද්ද වෙන්නට බවයි. NASA නමින් අද තිබෙන මහලොකු කෙරුවාව අපගේ රාවණා රජතුමාගේ තාක්ෂණයකින් ගොඩ නැගුවක් බව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතේ. අද උඩුගුවනේ නටන පර සුද්දන් අපගේ රාවණා රජතුමාටත්, අප හෙළයටත් ණයගැතියි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

නුදුරු අදහස්