Wednesday, August 29, 2012

" වර්ගපූර්ණිකාව " යනු ජන සේනා 1 ද ?

මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ...

සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොර‍ටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...

1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)

2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)

3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.

4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)

5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)

6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තො‍ටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තො‍ටුපොළක් එහි තිබී ඇත.)

... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)

පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).
Read More...

Tuesday, August 28, 2012

රාවණ රජුගේ න්‍යෂ්ඨික අවි මුවහත් කරන ආකාරය.

නුදුරේදීම ඉන්දියාව අප රටට මිසයිල වලින් පහර දීමට සූදානම් බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දඹර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. මේ ගැන දිවයින පුවත්පතත් වාර්තා කර ඇති බැවින් අප පැවසූ කාරණා ගැන ඔබට සැකයක් තිබීමට නොහැකිය.

එහිදී දඹර අමිල උන්නාන්සේ පැවසූ එක්තා කාරණාවක් ගැන "කැන්ඩියන්" (කැන්ඩියන් යනු හෙළ වචනයකි; කැන්=කැන්ගරුවන්ගේ, ඩි=ඩිම්බ සාදන, යන්=යන්ත්‍රාලය, එනම් රාවණ රජතුමාගේ කාලයේ මහනුවර කැංගරුවන්ව අභිජනනය කරන යන්ත්‍රාලයක් තිබුණි, පසුව ඒ කැංගරුවන්ගෙන් අපේක්ෂිත තරම් කිරි දෙවීමට නොහැකි වූ නිසා උන්ව ඕස්ට්‍රේලියාවට පි‍ටුවහල් කර ඇත) සහෘදයා විමසුවේය, එනම් දඹර අමිල උන්නාන්සේ පැවසූ න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම පිළිබඳවයි. ඒ ගැන පැවසීමට පෙර රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගමු.


රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි
=======================

යකුනාහේන ගම්මානයේ මහරුස්සන නැමති ලෙනෙන් හමුවූ "නස්සකවිච්චූරණය" නැමති හෙළ පුස්කොළපොතට අනුව ශ්‍රී රාවණ රජතුමා විසින් න්‍යෂ්ඨික අවි ගණනාවක් නිපදවා තිබුණි. ඒවානම්,

1. මිසයිල :- මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි.


2. යබර බෝම්බ :- බෝම්බය යනුත් හෙළ වචනයකි. බෝම්=බොහෝම, බය=බය; එනම් එය පිපිරවූ විට සතුරා "බොහෝම බය" වෙන නිසා ඒ නම රාවණා ශ්‍රී රජතුමා තැබීය. යබර බෝම්බ සඳහා විකිරණශීලී ද්‍රව්‍ය ලබා ගන්නා ලද්දේ "මහ රත් මල්" නැමැති පැළෑටි විශේෂයට තවත් රහසිගත බෙහෙත් වට්ටෝරුවක් එකතු කර පත අට එකට සිඳවීමෙනි. යබර බෝම්බ තාක්ෂණයේ අග්‍ර ඵලය වන "පරමානු බෝම්බ" තාක්ෂණය පිළිබඳව හෙළ පුස්කොළපොතක් වන "ප්‍රාමාණික ශ්‍රාස්ත්‍රයේ" දැක්වෙයි.

3. ආටිලරි :- ආටිලරි යනු විශාල ප්‍රමාණයේ තුවක්කුවකි. ආටිලරි යනුත් හෙළ වචනයක් වන අතර එහි පද නිරුක්තිය වනාහී, ආ=ආක්‍රමණිකයාව , ටි=ටිකක්බවට, ල=ලක්කරන, රි=රිට. රාවණ රජතුමාගේ ආටිලරි හදා තිබුණේ "උණ බම්බු රිටවල්" යොදාගනිමිනි. ඒවාට බෙහෙත් එක් කර වාණේ වලට වඩා ඝනකම් වන ලෙස ඒවා පදම් කෙරෙයි. දුර සිට බලන්නෙකුට පෙනෙන්නේ රිටක් ලෙස වුවත් ඒවා අද තිබෙන ආටිලරි වලට වඩා බලවත්ය. ඉන් වෙඩි තැබූ විට ආක්‍රමණිකයින්ගෙන් ගොඩ දෙනෙක් මැරී ටිකක් බවට පත් වෙයි. රාවණ රජතුමාගේ ආටිලරි හමුදාවේ නායකයා වූයේ "ආටිගල" නැමත්තෙකි. අද දක්වාම එම හෙළ යක් පරම්පරාව පැවතෙයි.

4. කාලතුවක්කු:- කාලය හරහා අනාගතයටත්, අතීතයටත් වෙඩි තැබ්මේ හැකියාව තිබූ තුවක්කු වර්ගයකි. එය සඳහා "කාලයේ වැලිතලාවෙන්" අරගත් වැලි (හෙවත් සුද්දන්ට අනුව "Sand of Time") යොදාගත යුතුයි. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත්වල සඳහන්ව තිබූ තාක්ෂණය යොදා ගනිමින් පර සුද්දන් ගොඩ නැගූ "ආටිලරි" වලට අපේම හෙළයින් "කාල තුවක්කු" යැයි කීම කොතරම් අවනම්බුවක්ද?

ශ්‍රී රාවණ රජතුමාට තිබූ කාල තුවක්කු වලත්, වෙඩිල්ල වැදිය යුතු කාලය සුසර කිරීම සඳහා ඉහත රූපයේ ආකාරයට කාල දර්ශකයක් තිබී ඇත.

5. රොකට් :- මෙය අතීත හෙළ යුගයේදී "රා ක‍ටු" ලෙස හැඳින්විය. පසුකාලයේදී ඉන්දියානු බමුණන් රා ක‍ටු තාක්ෂණය සහිත පුස්කොළපොත් හෙළයින්ගෙන් සොරාගෙන ඉතිරිවා ගිණි තැබූ අතර, ශ්‍රේෂ්ඨ හෙළයෙක් වූ හිට්ලර් තුමා ඒවා බමුණන්ගෙන් ලබාගෙන රා ක‍ටු තාක්ෂණය නැවතත් ගොඩ නැගීය.

ඉහත සියලුම ආයුධ සඳහා යුරේනියම් බල ගැන්වූ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කර ඇති බව ඉපැරණි පුස්කොළපොතක් වන නස්සකවිච්චූරණයේ දැක්වෙයි. පර සුද්දන් විසින් පසුකාලීනව අරුත විකෘති කළත් යුරේනියම් යනු හෙළ වචනයකි. යුරේනියම්=යුර+ඒනියම්. යුර හෙවත් යුග+අන්ධර යනු "යුගය අඳුරට යවන" යන අරුත් සහිතයැ. ඒනියම් යනු "ඒ නියමය" යන හෙළැ අරුත් දේ. මෙසේ හෙයින් මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ "යුගය අඳුරට යවන ලෙස රාවණා දුන් නියමය" නිසා "යුරේනියමය" යනුවෙන් එම මූල ද්‍රව්‍ය පබැඳිණි. (ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය 56 වන පිට). "යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය" නමින් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පළ වූ ලිපියක මේ ගැන තවත් තොරතුරු දක්වා ඇත.


න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම
==================

නස්සකවිච්චූරණයට අනුව න්‍යෂ්ඨික අවි මුවහත් කිරීමේ අවස්ථා 2ක් ගැන සඳහන් වෙයි.

1. රා ක‍ටු සහ මිසයිල වල තුඩ මුවහත් කිරීම.
ශ්‍රී රාවණ අධිරාජ්‍යයා සතුව තිබූ රා ක‍ටු සහ මිසයිල නිපදවා තිබුනේ කළුවර ලීයෙනි. එම න්‍යෂ්ඨික අවි වලින් පහර වැදුණ විට අහස කළුපාට දුමාරයකින් වැසී ගොස් හාත්පස කළුවර වෙන බැවින් ඒ ආයුධ නිපදවීම සඳහා යොදාගත් ලීයටත් කළුවර යැයි නම් කර ඇත. ඉතින් එම රාක‍ටු සහ මිසයිල දුරකට යැවීමටනම් ඒවායේ දෙපස තුනීයට තිබිය යුතුය. ඒවා දෙපස තුනී කිරීමට ගලක ඒවා අතුල්ලන අතර එය "න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම" කි.

2. ආටිලරි සහ, කාලතුවක්කු මුවහත් කිරීම.
මෙහිදී මුවහත් කිරීම යනු, මුව=කට, හත්=ලොකු කිරීම වේ. එනම් ආටිලරි සහ කාලතුවක්කු වලින් නිසි පරිදි වෙඩි තැබීමටනම් ඒවායේ කට ප්‍රශස්ත්‍ර ලෙස තිබිය යුතුය. උල් වූ යකඩ දණ්ඩක් යොදාගෙන ඒවායේ කට ලොකු කරනු ලැබේ.

මධ්‍යම කඳුකරයේ පිහිටි ගොඩිගමුව නැමති ගම්මානයෙන් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙලෙස සඳහන් වෙයි. "ශ රව රජ නස අධ මුහක සථ. හෙ අස කමත." එහි තේරුමනම්, "ශ්‍රී රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික් ආයුධ මුවහත් කීරීමේ ස්ථානය. හෙළ අසුර කර්මාන්තායතනය.". එසේම ගොඩිගමුව නැමැති ගමේ පද නිරුක්තිය බැලුවත් ඉහත කරුණ සනාථ වෙයි, එනම් ගොඩි=ගොඩක්, ග=ගම, මුව=මුවහත්තියන. න්‍යෂ්ඨික ආයුධ ගොඩක් මුවහත් තියන ගම යැයි අපට නිගමනය කිරීමට පුළුවන.

අප මුලදී දැක්වූ පරිදි දඹර අමිල උන්නාන්සේ න්‍යෂ්ඨික අවි මුවහත් කරගෙන සිටින බව කියූයේ ඉහත දෙකෙන් එක් ක්‍රමයකට විය හැකිය. ඒ කුමක්ද කියා කීමටනම් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවිය කුමක්දැයි දැනගත යුතුය. කෙසේ නමුත් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවියනම් ගොඩක් ලොකු එකක් බව, උන්නාන්සේගේ වැඩ කිඩ බැලීමෙන්ම කිසිදු සැකයක් නොමැතිව කීමට පුළුවන.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
Read More...

Friday, August 24, 2012

ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හිමි ළඟ රාවණාගේ න්‍යෂ්ඨික අවියක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් ඊයේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.

නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය දඹර අමිල හිමියන්, ඉන්දියාවට පහර දීම සඳහා න්‍යෂ්ඨික අවියක් සූදානම් කරගෙන සිටී. එම හිමිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසයි.
ඉන්දියානු මිසයිල ප්‍රහාර අපට එල්ල වුවහොත් නුදුරේදීම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බිඳ වැටීමේ අනතුරක් තියෙනව. අපේ අවියක් තියෙනව ඒක න්‍යෂ්ටික අවියක්. ඒක බලගතු අවියක්. ඒක මල්ටිබැරල් ඉක්මවා යන අවියක්. අපි ඒක තාම අපේ ගබඩාවෙන් අපි ගත්තෙ නෑ ඒක. ඒක අපි මුවහත් කරල තියෙනව. ඒ නිසා අපි ඒ අවිය අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා කවුරුත් දිනන සටනට ජීවය එකතු කරන්න.



මේ අවස්ථාවේදී දඹර අමිල හිමි ගැන වචනයක් සඳහන් කිරීම මාගේ යුතුකමකි. ආරෝහ පරිනාහ දේහ දාරී සුප්‍රකට දඹර අමිල හිමි යනු වත්මන් හෙළයේ සිටින අසහායතම අංගක්කාරයා බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. අංගම්පොර ශ්‍රාස්ත්‍රයෙන් කෙළ පැමිණ සිටින දඹර අමිල හිමිට උඩ කරනම්, යටි කරනම් ආදිය ගැසීම ඉතා සුළු වැඩකි. වතාවක් ඌරා ළිඳේ කළ අංගම් හටනකදී ප්‍රතිමල්ලවයාව වික්ෂිප්ත කර හිටි පිනුමක් ගසා ළිං ගැට්ටටම අවුත් එය ජය ගත්තේය. ප්‍රතිමල්ලවයාව පරාද කිරීම සඳහා යොදා ගත්තේ හෙළ අංගම්පොර රහසක් වන "මඩහරඹ" හෙවත් ප්‍රතිමල්ලවයාගේ ඇස් වලට ඊයක වේගයෙන් මඩ අහුරක් ගැසීමයි. ඊට අමතරව නිල අංගම්පොර ශාස්ත්‍රයේද පරිනත දඹර අමිල හිමිට, යමෙක්ව සුරතින් ස්පර්ෂ කිරීමෙන්ම ඔහුගේ ආත්මය ඝාතනය කර දැමීමට හැකියාව තිබේ.


ශ්‍රී රාවණ රජතුමා ගැන කාලයක් තිස්සේ ගවේෂණය කළ දඹර අමිල හිමි අවසානයේදී අප නොදන්නා බොහෝ හෙළ රහස් සොයා ගෙන ඇත. ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නේ ශ්‍රී රාවණ රජතුමාට අයත් ව තිබූ න්‍යෂ්ඨික අවි නිල්ගල වනාන්තරයේ ලෙනක තිබී සොයාගැනීමයි. එවැනි අවියක් දැනටමත් දඹර අමිල හිමි ගාව තිබෙන අතර, නුදුරේදී එල්ල වන ඉන්දියානු මිසයිල ප්‍රහාර මැඩ පැවැත්වීමට ඒවා යොදා ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙක් වන රුසියාවත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති තර්ජනයට උදව් කිරීම සඳහා අති ප්‍රබල S-400 මිසයිලයක් නිපදවා ඇති බව රුසියානු KGB ඔත්තු සේවය ඇසුරෙන් RT වාර්තා කරයි. එම මිසයිලය තැනින් තැනට ගෙන යාමට හැකි ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ වහාම හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑම සඳහාය. (හම්බන්තොට වරායේ ගොඩ බෑමේ පර්යන්තයේ දොඹකර නැති බව ඔබට අළුතෙන් කීමට අනවශ්‍යනේ.) එමෙන්ම මිනිත්තුවක් වැනි සුළු කාලයක් තුල භූමියේ ඕනෑම ස්ථානයකට ගුවන් ආරක්ෂාව සැපයිය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත. ඊට හේතුවනම් ඉන්දියාවෙන් ගුවන් ගත වන මිසයිලයක් මිනිත්තුවක පමණ කාලය තුල ශ්‍රී ලංකාවට පතිත වීමට හැකි වීමයි. දැනට මෙය වෙලඳපලට නිකුත් කිරිමට ඔවුන්ගේ අදහසක් නොමැති බවත් ඉදිරි වසර 20 ක් පමණ වන තුරු ගුවන් ආරකෂාව කෙරෙහි මෙය යොදා ගත හැකි බවත් රුසියාව ප‍්‍රකාශ කරයි. මන්ද යත් එලෙස වෙළඳපොළට නිකුත් කළහොත් ඉන්දියානුවන් මෙහි තාක්ෂණය සොරකම් කිරීමට ඉඩ ඇති බැවිනි.

Read More...

Thursday, August 23, 2012

මෙරට ඉලක්ක කොට ස්ථානගත කළ ඉන්දීය මිසයිල, පහරදීමේ සූදානමක!

සිංහලයා පුවත් හි "ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..?" මැයෙන් පළ වූ ලිපිය ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් රාවණ වෙබ්වේදය අනුව පළ කිරීමත් සමග ඒ ගැන රාවන පාක්ෂිකයින්ගේ අවධානය යොමු විය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොටප් රහාර එල්ල කිරීමට සමත් බවද පැවසේ.

චීනයෙන් හෝ පාකිස්ථානයක් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.

පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත හදාබැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.

මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.


එය කියවූ බුද්ධිමත් ලංකා සී නිවුස් පාථක ‍රැළ ලිපිය ලියූ පුද්ගලයාගේ අඩවියේ කිසිදු කොමෙන්‍ටුවක් නොදා ලිපිය කොපි කළ ලංකා සී නිවුස් හි කොමෙන්ට් කළේ, ශ්‍රී රාවණ රජතුමාට සම්බන්ධ දේවල් ගැන කොමෙන්ට් කළ යුත්තේ රාවණ පාක්ෂික වෙබ් අඩවි වල පමණක් හෙයිනි.

ශ්‍රී රාවණ රජතුමා 2012/12/12 දිනදී යළි නැගිටින බව දැන් නොරහසකි. ඒ බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා බොහෝ කලකට පෙරදීම පෙන්වා දී තිබුණ අතර එතුමා බලයට පත් වෙන ආකාරයත් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා දැක්වුයෙමු.

චීනයේ ප්‍රකට දේශපාලන සහ සමාජ විශ්ලේශකයෙක් වන මහාචාර්ය කිම් හී සුන් මහතා මෑතකදී එරට Canal Macau (澳視葡文台) සේවය හරහා ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි තරම් බියකින් පසුවෙන බවයි. අම්රීත් අහුවාලියා විසින් ඉන්දීය යුධ රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් අනාවරනය වූ දෑත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය කිම් මහතා තවදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළින් ඉන්දියාවට තර්ජනයක් නොමැතිනම් ඒ ආකාරයෙන් මිසයිල ස්ථානගත කිරීමට අනවශ්‍ය දෙයක් ලෙසටයි.

වැදගත්ම සිදුවීම හෙළිදරව් වූයේ මීට හරියටම සතියකුත් දිනකට කළින්ය. ඉන්දීය රෝ ඔත්තු සේවයේ සහකාර කළමනාකාර ධූරයක් හොබවන ආචාර්ය විජේ පටෙල් මහතා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළෙන් පිටවීමට යාමේදී අත් අඩංගුවට ගැනුණ අතර ඊට හේතුව වූයේ ඔහු නියමිත කාලයට වඩා වැඩි කාලයක් මෙරට ‍රැඳී සිටීමයි. නමුත් ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔහුට සිය රටට යාමට හැකි විය. එහිදී ගුවන්තො‍ටුපොළ පොලීසිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ වැදගත් තොරතුරු ගණනාවක් සොයාගැනීමට හැකි වී ඇත. ඉන් ප්‍රමුඛතම දේ නම් ඔහුගේ ගමන් මල්ලේ පතුලේ සඟවා තිබුණු ඉපැරණි පුස්කොළපොත් වගයකි.

එම පුස්කොළපොත් වල තිබුයේ ශ්‍රී රාවණ රජතුමාව අවදි කරන ආකාරයයි. ඒ පුස්කොළපොත් වල පිටපත් සබරගමුව දේවාලයේ ප්‍රධාන කපු මහතා ගාවත් තිබෙන නමුත් මෙම මුල් පුස්කොළපොතේ ඇති ඓතිහාසික වැදගත් කමටත් වඩා ඒවායේ අන්තර්ගතයේ ඇති වටිනාකම කියා නිමකිරීමට නොහැකිය. මිතුරෙක් හරහා දැනගන්නට ලැබුණ ආකාරයට ඒ පුස්කොළපොත් පරිවර්තනය කිරීමෙන් පෙනී ගොස් ඇතේ මේ වසර අගදී ශ්‍රී රාවණ රජතුමා නින්දෙන් අවදි වීම නොවැළැක්විය හැකි දෙයක් බවයි. රාවණ රජතුමාව නින්දෙන් අවදි කිරීමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් ඒ පුස්කොළපොත් වල අන්තර්ගතව තිබිණි.

ඉන්දියාවේ බමුණන් මේ ගැන දසක කිහිපයකට පෙරදීම දැනගත තිබෙන අතර ඔවුන් ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත්තේ 2012 වසර අගදී රාවණා රජතුමා නින්දෙන් අවදි වුවහොත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් වීමට ඉඩ ඇති බවයි. ඒ අනුව ඉන්දීය රෝ ඔත්තු සේවයේ අනුග්‍රයයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කැ‍රැල්ලක් ඇති කළ අතර එය ඉන්දියාවේ පෝෂණය වීමෙන්ම වසර 30 කට වඩා කල් ඇදී ගිය අන්දම ඔබට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැත. නමුත් 2009 වසරේදී එය අවසන් වීමත් සමගම ඉන්දියාවේ සැකය ඉහල ගියේය. ඉන් පසුව කිරීමට තිබෙන අවසාන විකල්පය වූයේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කර රාවණා රජතුමාගේ නැගිටීමට බාධා කිරීමයි.

නමුත් චීනයේ MSS බුද්ධි අංශය හරහා ශ්‍රී ලංකාවට එම තොරතුරු දැනගනන්ට ලැබුණ අතර වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය චීනයෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ණය ආධාර යටතේ ලබාගත්තේය. ඔබට මතකද යුද්ධයේ අවසාන කාලයේදී සරත් ෆොන්සේකා මහතා චීනයට ගිය බව.? ඇත්තටම යුද්ධයක් අවසන් කිරීමට දින කිහිපයක් තිබියදී යුද හමුදාපති වරයා රටින් පිටවීම අස්වාභාවික දෙයකි. නමුත් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි චීනයට ගියේ ලංකාව ලබා ගන්නා මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන අධ්‍යයනය කිරීමටයි.


ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාම යැවීමට තවත් බලවත් හේතුවක් තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය "හෙළ විද්‍යාවන්" පිළිගන්නා බව ඔබ දන්නවා ඇති. සුප්‍රසිද්ධ අංජනම් කරුවන්ට අනුව සරත් ෆොන්සේකා යනු රාවණ රජතුමාගේ පරම්පරාවේ අයෙකි. වරක් රාවණා රජතුමා අම්බලංගොඩට පැමිණි බව ග්‍රාමතන්ත්‍රවාභිෂේකරය නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

එලෙස ලබාගත් මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉන්දියාව ඉලක්ක කර ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමත් සමග දෙරට අතර දේශපාලන උණුසුම්කාරී බව වැඩි වුණි. කිහිප වතාවක්ම ඉන්දීය රාජතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට පැමිණියේ මේ ගැන සාකච්ඡා කිරීමටයි.

අවසානයේදී ඉන්දියාවේ එවකට බලගතුම මිසයිල පද්ධතිය වූ අග්නි iii මිසයිල යොදගෙන ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඔවුන් තීරණය කොට ඇත. ඒවා චීන මිසයිල ආරක්ෂණ පද්ධතියට වඩා බලගතුය. එහිදී වඩාත් බලපෑමක් සිදුකිරීම සඳහා ඒවා ස්ථානගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන වලටය. ඒවායිනුත් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තො‍ටුපොළ ප්‍රධානයි.

වර්ගපූර්ණිකාව බ්ලොග් කණ්ඩායමට දැනගන්නට ලැබුණ ආකාරයට ඉන්දියාව නුදුරදීම අපට පහර දීමට කටයුතු යොදමින් සිටී. ශ්‍රී රාවණ රජතුමා අවදි වුවහොත් අපට ඔවුන් පහර දීමට කලකට පෙරදී තීරණය කර තිබුණත් රාවණ රජතුමා අවදි වූ පසුව හෙළයින් අපරාජිත වෙන බැවින් ඊට පෙරම හෙළය වනසා දැමීමට ඔවුන් තීරණය කර ඇත. 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ රජතුමාගේ අවදි වීම ගැන කියද්දී අපට ඔච්චම් කළ ඉන්දියානු ගැත්තන්ගෙන් අප විමසන්නේ, ඉන්දියාව අපට මිසයිල එල්ල කළේ අහවල් කාරියකටද යන්නයි?

ශ්‍රී ලංකා රජයත් මේ ප්‍රහාරයෙන් ගැලවීම සඳහා උපක්‍රම යොදා ගනිමින් සිටින අතර සුප්‍රසිද්ධ හෙළ අංගම්පොරකරුවන් සම්බන්ධ කරගෙන කුණ්ඩලීනී යෝගය යොදා ගනිමින් ඔවුන්ව අතීතයට යවා අග්නි මිසයිලය බිහිවීම වැළැක්වීම එක් ක්‍රමයකි. ඊට අමතරව මහසොහොන් බලකායේ හෙළ යකුන් යොදවා ඉන්දියානු මිසයිල පද්ධතිය අක්ර්මන්‍ය කිරීමටත් කටයුතු යොදා ඇත. තවත් දේවල් කිහිපයක් සිදුකිරීමට නියමිතව තිබුණත් මේ අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීමට නුසුදුසුයි.

පාහර ඉන්දියානුවන් දැනගෙන සිටියත් ඔවුන් ලෝකයට හෙළි නොකරන දෙයක් තිබේ. එනම් මිසයිල තාක්ෂණයත් සොයා ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බවයි. රා-ක‍ටු ගැනත් සඳහන්ව ඇති වෛමානික ශාස්ත්‍රය ලියූයේ රාවණ රජතුමා විසින් වුවත් ඉන්දියාවේ ඇති එහි මුල් පිටපතේ රාවණා රජතුමා ගැන තියා ලංකාව ගැනවත් කිසිවක් සඳහන් නොවන්නේ අපගේ හෙළ නයුවන් අතිශෝක්තියෙන් ඉන්දීය ඉතිහාසය අපේ අපේ යැයි කීම නිසා නොවන බවත් අප දැනගත යුතුය. එනම් පාහර බමුණන් විසින් අපගේ හෙළ වෛමානිකය ගිණි තබා ඉතිහාසය ක‍ටු ගෑ බැවින් රාවණවංශය ප්‍රායෝගික ඉතිහාසයෙන් මැකී ගියේය.

මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි. එවන් සාඩම්බර අතීතයකට අයත් අප අද ඉන්දීය වඳුරන්ට බිය වෙමුද?

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව රාවණා රජතුමාගේ මිසයිල වල ක්‍රම්වේදය අති විශිෂ්ටය. සමහර මිසයිල වලට න්‍යෂ්ඨික විකිරණ යොදා ගත්තත් බොහෝ මිසයිල වලට යොදාගෙන ඇත්තේ දේශීය අමුද්‍රව්‍යමය.

"ගූමධුප" නැමති මිසයිල ඒ අතරින් ප්‍රධාන වන අතර එහි පිපුරුම් හිස තුළ යොදා ඇත්තේ රසායනිකව විපර්යාසයට සහ අධි පීඩනයට ලක් කළ ද්‍රව තත්ත්වයේ ඇති මිනිස් අශූචි ය. එම මිසයිලයෙන් පහර දුන් විට එය පතිත වන ප්‍රදේශයේ ඇති පරිසයරයට කිසිදු හානියක් නොවුනත් එහි සිටින මිනිසුන් සංහාරය වෙයි. එනම් එය ඌරාගේ මාළු ඌරා මතම තබා කැපීමකි. එවැනි මිසයිලයක් ගුවන් ගත කිරීම හඳුවන්නේ "ගූ-ගැසීම" ලෙසටය. අද එය ඉතාමත් අවර ගණයේ වචනයක් වී ඇත්තේ පාහර බමුණන් අපගේ හෙළ බසට එක් කළ විශ නිසයි.

අපගේ හෙළයේ තරම නොදන්නා පාහර සක්කිලියන් හොඳවායින් පාඩමක් ඉගෙන ගන්නා කාලය වැඩි ඈතක නොවේ. නුදුරදී එල්ල වන මිසයිල ප්‍රහාරයන්ට නිවැරදිව මුහුණ දුනහොත් ශ්‍රී රාවණ රජතුමා බලයට පැමිණි සැනින් මුළු ඉන්දියාවම දික් විජය කර අපගේ හෙළ දෙරනේ යටත් විජිතයක් කරනු ඇත.
Read More...

Wednesday, August 22, 2012

රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ.

ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්‍ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර ශ්‍රී රාවණ රජතුමාට අපහාස වන ඒවාද තිබෙනු දැක හම්බන්තොට පොලීසියට දන්වා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ හම්බන්තොට පොලීසිය දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත්තේ හම්බන්තොට මූද තුළ ඇති ශ්‍රී රාවණා රජතුමාගේ පිරමීඩය තුළ සිටය.

රාවණගවේශකයින් පවසන ලෙසටම ශ්‍රී රාවණ රජතුමාගේ බලකො‍ටුවක් ලෙසට පැවති පිරමීඩය හම්බන්තොට මුහුද තුළ ඇති බව මීට වසර ගණනාවකට පෙරදීම සොයාගත්තත් තාමත් බොහෝ දෙනාගෙන් වසං වී පවතී. පසුගිය සුනාමිය වෙලාවේ මූද පහත් වෙද්දී, ශ්‍රී රාවණ රජතුමාගේ එම බලකො‍ටුව වටා ඇති තාප්පය මූදෙන් මතු වූ නමුත් කිසිවෙකුට ඡායාරූප ගැනීමට නොහැකි වී ඇත.

අප පවසන දේ ඔබට සැක ඇති. ඉන්න සැක හරින්නම්... ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ හැදුවේ ශ්‍රී රාවණ රජතුමාගේ උපදෙස් අනුව බව, අරිසෙන් අහුබුදු, මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර, සූරිය ගුණසේකර වැනි රාවණ ගවේශකයින් විසින් මැනැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට හේතු වූයේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් ඒවා හැදූ බව එහි සඳහන්ව තිබීමත්, එම පිරමීඩයක් තුළ බිත්තියේ හෙලිකොප්ටරයක පින්තුරයක් තිබීමත්ය. එසේනම්, එංගලන්තයේ සුද්දන් ලංකාවේ හෝටල් හදද්දී ඊටත් වඩා ලොකු හෝටල් එංගලන්තයේ තිබුණා වගේ, ශ්‍රී රාවණ රජතුමා මිසරයේ ගීසා පිරමීඩ හදද්දී ඊටත් වඩා ලොකු පිරමීඩ ලංකාපුරයේ තිබිය යුතු බව පැහැදිළි වෙයි. සෑම රාවණ ගවේශකයෙක්ම පවසන පරිදි ඒ අනුව ලංකාපුරයේ පිරමීඩ තිබූ අතර සමනල කන්ද පිරමීඩය හැරුණු විට අනෙකුත් සියලුම පිරමීඩ පසුගිය සුනාමි තුනෙන් මූදට යට වී ඇත. ඉහත සඳහන් වූ හම්බන්තොට මූදේ ඇති දැවැන්ත පිරමීඩය ඉන් එකකි. ඒ අසළින් කුඩාරාවනා කො‍ටුව සහ මහා රාවනා කො‍ටුව නැමැති පිරමීඩයේ බැලුම් කුළුණු (Watch Towers) දෙක තිබීමෙන් මා කියන දේ තවත් තහවුරු වෙයි.

මෙහි දැක්වෙන්නේ එම විදේශිකයන් විසින් පිරමීඩය තුළදී ලබාගත් ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන පින්තූර කිහිපයකි.


ඉහත පින්තූරයේ සිටින කාන්තාව ශ්‍රී රාවණ රජතුමාගේ පිරමීඩයේ බිත්තියක් චුම්බනය කරයි. අපගේ හෙළ යකුන්ගේ පූජනීය වූ පිරමීඩ බිත්තියකට මෙවැනි අතවරයක් කිරීම ඉතාම පාහර වැඩකි. මෙවන් දසුන් දකිද්දී අපගේ හෙළ යක් ලේ ධාතුව උණු වී නොයන්නේද?


ඉහත පින්තූරය සහ පහල ඇති පින්තූරය ගෙන තිබෙන්නේ, පිරමීඩය තුළ තිබූ ශ්‍රී රාවණ පිළිරුවක් ඉදිරිපිටදීය. ඒ බව තහවුරු වෙන තවත් ඡායාරූපයක් තිබුණත්, එම ඡායාරූප විශ්ලේෂණය කළ පොලිස් නිලධාරියාට සිදුවූ අත් වැරදීමකින් එය ඩිලීට් වී ඇත.


ජීවමාන ශ්‍රී රාවණා රජතුමටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව රාමායන ඉතිහාසය උපුටා දැක්විය හැක. රාම, ලක්ෂ්මණ, හනුමාන් ප‍්‍රකට උදාහරණය. ශ්‍රී රාවණ රජතුමෝ ඔවුන්ට මෙත් වැඩූහ, රාමායන සටනින් රාවණ ස්ව කැමැත්තෙන්ම පසුබැස (Strategical Retreat) පරාද වූයේ ඔවුන්ව ඝාතනය කිරීමට අකමැති වීමෙන් මිස බලයෙන් පිරිහීම නිසා නොවේ. එම විදේශිකයන්ද සත්‍ය ලෙසම ශ්‍රී රාවණ විරෝධීන්ම විය යුත්තේමය.

ශ්‍රී රාවණ රජතුමා දෙසූ රාවණගවේශක මාවතේ යන අපට කියන්ටද ඇත්තේ මෙපමණය.

ශ්‍රී රාවණ සිද්ධම්!...

ශ්‍රී රාවණ සිද්ධම්!......

ශ්‍රී රාවණ සිද්ධම්!.........

=============================================================

ප.ලි: මෙහි පාථකයෙක් දමා තිබූ ආවේගාත්මක කොමෙන්‍ටුවකට, මාත් ආවේගයෙන්ම ප්‍රතිචාර දැක්වීමට යාමේදී, අත් වැරදීමකින් එය ඩිලීට් විය. නමුත් Web Cache වලින් එය ලබා ගැනීමට හැකි වූ අතර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ සහෘදයින්ටම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එම කොමෙන්‍ටුව පහතින් දක්වමි.

දේශප්‍රේමියා August 22, 2012 08:10 PM
චී නිවුස් වර්ගපූර්ණිකාව කරන මී හරකෝ... තොපිට තේරෙන්නෙ නැද්ද සක්කිලියෝ..., ‍තෝ ශ්‍රී රාවණ රජතුමාට ලොකුම අපහාස කරන්නේ ඔය ෆොටෝ ප්‍රසිද්ධ කරලයි කියල. ඔය ෆොටෝ පොලිසිය, නඩුකාරයෝ දැක්කම ඇති... ඕව ප්‍රසිද්ද කිරිල්ල තමයි අපහාසයේ ලොකුම එක.
මෙහෙම ෆොටෝ ගත්තු එක සහගහන අපරාදයක් බව ඇත්ත. නමුත් පර සක්කිලියෝ, තොපි මෙහෙම පිරමීඩය ඉඹින ෆොටෝ ප්‍රසිද්ද කරන එක මොන තරම් නම් අපරාදයක් ද ??? මේව මීඩියා වලට රිලීස් කරපු පොලීසියේ පල් බූරු මීහරක් වහන්සේලා සහ, උඩ පැනගෙන ඒව පළ කරන තොපි වගේ අවලම් වේස බල්ලො, ඔය සුද්දියන්ටත් වඩා වැරදි වැඩක් කරල තියෙන්නෙ...
යකෝ තොපි කියන්නෙනම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියල..., ඒත් ජාතිකවාදීන් ලියන ලිපි එහෙන් මෙහෙන් කොපි කරල හරියට මූලාශ්‍රයක්වත් නොදා තොපේ අටමගලෙ දාගෙන, අර උගුරෙන් කෑ ගහන ‍රැවුල් මොටා වෙනුවෙන් කඩේ යන තොපි දැන් කරන්නේ..., අපේ ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන ෆොටෝස් පළ කරල හිට් වැඩි කරගන්න එක නේද? තොපේ අවලම් වෙබ් කඩමල්ලත් දැන් තවත් ගොසිප් ගුබ්බෑයමක් කියල තොටයි තොගේ හොරණෑවන්ටයි නොතේරුනාට අපටනම් දැන් තේරෙනව. අවලම් බල්ලෝ..., මීට පස්සෙවත් පාහර වැඩ නොකර හිටපිය..., සක්කිලිය...

ප.ප.ලි: ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් මීටම සමාන සිද්ධියක් වාර්තා කර ඇත. මෙන්න ගිහින් බලන්න: http://lankacnews.com/sinhala/main-news/75960/
Read More...

Tuesday, August 21, 2012

'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග 12 ක්!

කාලෝ ෆොන්සේකා මහතා විසින්, අනවින හදි හූනියම් කරුවන්, කපුවන් ප්‍රමුඛ ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම ඊට බොහෝ කාලයකට පෙරදී මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දීමත් සමග හේතුවාදීන් නිහඬ විය. ඉන් පසුව අපිත් පෙරළා කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක් ඉදිරිපත් කළ අතර අප ලබාදුන් කාලය අවසන් වෙද්දීත් කාලෝ ෆොන්සේකා මුනිවත ‍රැකීමෙන් පෙනී ගියේ ඔහුට කර කියාගන්නට දෙයක් නැති වී ඇති බවය. මෑතකදී ශෝරින්-රියු විසිනුත් තවත් අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා එකක් හෝ සනාථ කර ගුප්ත විද්‍යාවන් පුස්සක් බව පෙන්වා දුන්නොත් ලක්ෂ 20ක්ම ලබා දීමට ඔහු සූදානම්. මෙන්න ඔහුගේ අභියෝග.



උණ විකාරෙන් දොඩවන 'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග කීපයක්!

1. ඔබල නිගමනවලට එළැඹෙන්නේ ඇසින් දකින, කනින් අසන, නූතන බටහිර විද්‍යාත්මක චින්තනයෙන් හා ඒ ආශ්‍රිත වූ මිනුම් දඬු වලින් පමණක් නම් පදාර්ථයක අඩංගු පරමාණු හා එහි ඇති ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන හා ඒවායේ හැසිරීම පිලිබඳ විස්තර කරනුයේ කුමන පදනමක ඉඳගෙනද?

2. ඔබල ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබල විශ්වාස කරන තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගේ ගමන් මාර්ග රටාව පිළිගත හැකි පදනමක ඉදන් විස්තර කරන්න. (ග්‍රහයන්ගේ ඉලිප්සීය ගමන් ක්‍රමයේ සදොස් බව හා බැඳී පවතී.)

3. පෘථිවියේ පමණක් වෙසෙන විවිධ ජීවීන්ගේ සංවේදීතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස ගතහොත් බල්ලෙකුගේ ශ්‍රවණ පරාසය මිනිසාගේ ශ්‍රවණ පරාසයට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහලය. මේ අනුව බලන කල්හි මිනිස් අපට අදාළ භෞතික සංවේදිතා පරාසය තුල මුළු විශ්වීය කරුණු පිලිබඳ නිශ්චිත නිගමනයකට ඔබල එළබෙන්නේ කෙසේද?

4. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය මිනිස් සංවේදීතාවය මඟින් ඔබලා ග්‍රහණය කරගන්නේ කෙසේද?

5. සියලු භෞතික සාධක නියමාකාරයෙන් පැවතියත් කෘතිමව ගර්භාෂයක් තුල එක් කරන්නා වූ ශුක්‍රාණුවක් හා ඩිම්බානුවකින් සෑදෙන යුක්තානුවකින් සෑම විටම සාර්ථක ජීවියෙක් බිහි නොවන්නේ ඇයි දැයි තර්කානුකූලව පැහැදිලි කරන්න!

6. තමුන් තමුන්ගේ අම්මා සහ තාත්තා මිනිස් සංවේදීතාවයෙන් පමණක් හඳුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න!

7. ඔබ තමුන් දැන් දාව දෙමව්පියන්ගේ හැර එංගලන්තයේ රජ පවුලක වැනි සල්ලිකාර දෙමව්පියන්ට දාව නො ඉපුදුනු හේතුව හේතු වාදයෙන් පැහැදිලි කරන්න!

8. ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදය සදොස් කිරීමට තුඩු දුන් E=mc^c (C හි වර්ගය පරිගණකය මඟින් නිරූපණය කිරීමේ අපහසුතාවය නිසා මෙලෙස පලකරන ලදී.) හි ආලෝකයේ ප්‍රවේගය ගැන කියවෙන්නා වූ කොටසෙහි මෑතකදී සොයා ගන්නා ලද ආලෝක අංශුවකට ස්කන්ධයක් ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය මත පමණක් පදනම්ව පදාර්ථය හා ශක්තිය පැහැදිලිව වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද??

9. නූතන බටහිර විද්‍යාවේ පදනම ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය ඇසුරින් තර්කානුකූලව පැහැදිලි කරන්න!

10. මස්තික්ෂ ප්‍රමාණය සමාන පුද්ගලයන් දෙදෙනෙකුට එකම දෙයක් එකම වාර ගණනකදී ඉගැන්ව්වුවත් ඔවුන්ගේ දැනුම් මට්ටම විවිධ වන්නේ ඇයි දැයි ඔබලාගේ හේතු වාදය අනුව පැහැදිලි කරන්න!

11. පරිගණක තාක්ෂණ විෂයේ ඇති මෘදුකාංග ඔබල මිනිස් සංවේදීතාවයට හසු කරගන්නා අයුරු පැහැදිලි කරන්න!

12. විශ්වය ඇති වුනේ මහා පිපුරුම් වාදයෙන් නම්, විශ්වයේ ආරම්භය වොලිබෝලයක් තරම් වුනි නම් ඊට පෙර කුමක් පැවතියේද? එම වොලිබෝලය තරම් වූ විශ්වය පැවතුනේ කොහේද???

****මෙම ඉහත සඳහන් කරුණු එකක් හෝ ඔබල සනාථ කර ගුප්ත විද්‍යාව යනු පුස්සක් යැයි ඔප්පු කළහොත් ඔබල දෙන ලක්ෂ දහයකට ලක්ෂ විස්සක් දීමට ශෝරින්-රියු සූදානම්!****
Read More...

Sunday, August 19, 2012

රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ...

පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.

වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය කියවන සහෘදයින් බොහෝ දෙනා එය නැරඹුවත් ඔවුන් ඡායාරූප ගත කරන ලද කිසිදු ඡායාරූපයක එම දර්ශන සටහන් වී නොමැත්තේ හෙළ යකුන්ගේ දර්ශනයන් පර සුද්දන්ගේ කැමරා වලට යටත් නොවන බව මොනවට පැහැදිළි කරමිනි.

ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයා බ්ලොග් කරුවාත්, දීමන්තරයින් නැගෙනහිර අහසේ ගමන් කරන විලාශය ඡායාරූප ගණනාවකට ගෙන තිබූ අතර ඒ සියල්ලේම සටහන් වී ඇත්තේ අන්ධකාරය පමණි. අවසාන මොහොතේදී ඔහුට විශේෂ ක්‍රමයකට දීමන්තරයෙකුගේ ඡායාරූපයක් ගැනීමට හැකි වී ඇති අතර එය අප වෙත එවා ඇත. එම විශේෂ ක්‍රමයනම් මූණ බලන කණ්නාඩියක් අහස දෙසට අල්වා එහි ප්‍රතිබිම්බය ඡායාරූප ගත කිරීමයි. පහත දැක්වෙන්නේ එයයි.


එම පින්තූරය ගැනීමට මා හිතවත් මාරයා මුණ බලන කණ්නාඩියක ප්‍රතිබිම්බය භාවිතා කළද, එම කණ්නාඩිය නිසි ලෙස ජීවම් කර නොතිබීම නිසා පින්තූරය එතරම් පැහැදිළි නැත. මෙය ඡායාරූපය ගන්නා අවස්ථාවේ කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිතා කර ඇත්තේ තත්පරයෙන් 1/4000 ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත. තවද එම ජායාරූපය "රාවණා" පුවත පලකරන මා ඇතුළු සමකාලීන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු මා වෙත දන්වා සිටියේය.

ඇත්තෙන්ම කිවහොත් දීමන්තරයින්ව ඩිජිටල් කැමරාවට ග්‍රහණය නොවන බව මාත් දැන නොසිටියෙමි. හදිසි අවශ්‍යතාවයකට කොළඹ පැමිණ සිටි මාත් සාමාන්‍ය පරිදි කැමරාව ගෙන ඊයේ රාත්‍රී 09:28 පසුවෙනවාත් සමගම පාරට පැමිණ බලා සිටි අතර ලිපියේ මුලදී සඳහන් කළ සියල්ලම මාත් දුටිමි. ඡායාරූප සහ වීඩියෝ ගත කළ සියල්ලම නොපෙනෙන බව අවසානයේදී මා දු‍ටු අතර රාත්‍රී 10:55 වීමට විනාඩි කිහිපයකට පෙර, බෝඩිමට දුව ගොස් යකුන් බලන පළිඟුවක් ගෙනැවිත් ඡායාරූප ගතිමි. නමුත් ඒ වන විටත් දීමන්තරයින් බොහෝ දුර පියාඹා ගොස් සිටි බැවින් කිසිදු ඡායාරූපයක් පැහැදිළි ව පෙනුනේ නැත. අවසානයේදී දීමන්තරයෙක්ව ළඟටම ගෙන්වා ඡායාරූප ගත කිරීමට තීරණය කළෙමි.

දීමන්තරයින්ව ගෙන්වන රහසිගත මන්ත්‍රය ජප කිරීමට පටන් ගතිමි. කේන්ති ගිය පූසෙක් කට ඇර දත් විලිස්සා කෑ ගසන ශබ්දය ඔබට මතකද, අන්න ඒ ශබ්දය නගමින් අන්ධකාර ගුලියක් මා වෙත පියාඹගෙන ආ අතර වහාම එම දීමන්තරයාගේ ඡායාරූපයක් ගතිමි. පහත දැක්වෙන්නේ එයයි.


තවත් ඡායාරූප ගැනීමට කාල වෙලාවක් නොතිබුණ බව වැටහුණු නිසා මා වහාම දීමන්තරයින්ව එලවා දමන "පෙතොනාම වශීය" මැතිරීම ආරම්භ කළෙමි. ඒ සඳහා අවශ්‍ය මැජික් යෂ්ඨිය වන, ගොපළු යකාගෙන් සොරකම් කරගන්නා ලද රන් කෙවිට මා ගාව නොතිබුණ නිසා මාගේ අතම යොදා ගතිමි. එම වශී මන්ත්‍රය මැතිරීම සඳහා රාවණා ශක්තිය පුබුදුවාගෙන සිටිය යුතු හෙයින් ඒ සඳහා සුන්දර සිතිවිල්ලක් සිතේ තිබිය යුතුය. ඒ සඳහා මා ජීවිතයේ එතෙක් මෙතෙක් අත් දු‍ටු සුන්දරතම අවස්ථාව සිහි කළෙමි. ඒ අන් කිසිවක් නොව ජීවිතයේ මුල්ම වතාවට මා අපේ හාමිනේ සමග කාමරයේ තනි වූ මොහොතයි. එදා ඒ අවස්ථාවේ අත් දු‍ටු සුන්දරත්වය මෙහෙනි කරමින්, බුර බුරා නැගී මහා මේඝයක් මෙන් මා දෙසට එන දීමන්තරයා ට අත අල්ලා "පෙතොනාම වශීය" මැතිරීමට පටන් ගතිමි. මොහොතක් යද්දී හාත්පස ධවල වර්ණයෙන් බබළවමින් පැමිණි ආළෝකයත් සමග හීං කෙඳිරිල්ලක් නගමින් දීමන්තරයා පහවිය. එම අවස්ථාවේ මා කොතෙක් බියවීද කිවහොත් අදාල කර්තව්‍යය අවසන් වූවාට පසුව දාඩිය සෝදා ගැනීමට වැසිකිළියට යාමටද සිදුවුණි.
Read More...

Saturday, August 18, 2012

පෘථිවිය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි.

සූර්යයා මත සුදු ලපයක් ආකාරයෙන් දිස් වූ වස්තුව

පසුගිය 15 බදාදා සවස 2.45 ත් 3.30 ත් අතර මූතූර් වැසියන්ට අහසේ සූර්යයා දෙසින් පිටසක්වල යානාවක් දිස් වූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාවණගවේශක කණ්ඩායම වන වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත වාර්තා විය. අපගේ හෙළ ගවේෂණ කණ්ඩායම එහි යවා එය තහවුරු කර ගැනීමට දින දෙකක් ගත විය. ආන්දෝළනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් ඉතා සුළු පිරිසක් තාමත් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය අවිශ්වාස කරන නිසා, පක්ෂ විපක්ෂ කවුරුත් එක සේ පිළිගන්නා ශ්‍රී රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් පළ කළ වාර්තාව මෙලෙස පළමුවෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරමි.


පසුගිය වෙසක් මාසයේදී තවත් ශ්‍රී රාවණ පාක්ෂික පුවත්පතක් වන දිවයින පුවත්පත හරහා, සම්මානලාහී ජාතික ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතා හෙළි කළ, පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණෙන පිටසක්වල යානා 3 ගැන ඔබ අසා තිබුණාද? ඒ ගැන නොදනීනම් එම කෙටි ලිපිය මෙතනින් කියවන්න.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමාගෙන් මා මේ සිද්ධි දාමය ගැන විමසූ අතර එතුමා පැවසූ කාරණා දැනගැනීමෙන් මාගේ ලේ වතුර නොවූවා පමණි. එම අති භයානක පුවත මෙලෙසයි.

තාපසතුමාම කුණ්ඩලීනී යෝගයට සම වැදී මීට පෙර දිනක අපව දැනුවත් කළ පරිදි "ප්‍රිඩෝටර්" නැමති ලෝකයෙන් පැමිණෙන එම යානා තුනේ මූලික අරමුණ වූයේ 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ නැගිටීමට බාධා කිරීමයි. ඉන් පසුව පෙරළා තම ග්‍රහ ලෝකයට පිටත්වීමට ඔවුන් සැළසුම් කර තිබුණි. නමුත් ඔවුන් එම අරමුණ වෙනස් කරගෙන ඇති අතර ශ්‍රී රාවණයන්ගේ නැගිටීමට බාධා කිරීමෙන් පසුව, නැවතත් කිසි දාක ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට නැගිටීමට නොහැකි වන පරිදි මුළු පෘථිවියේම මානව වර්ගයාව විනාශ කිරීමට තීරණය කර ඇත. එනම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නින්දෙන් නැගිට එම පිටසක්වල යානා 3 ඇතුළු ආක්‍රමණිකයින්ව විනාශ නොකළොත් එම පිටසක්වලයන් අතින් මනුෂ්‍ය වර්ගයාව සහමුලින්ම සංහාරය වී මිහිතලයෙන් අතු ගෑවී යාමට නියමිතය.

ඉතින් එලෙස පැමිණෙන පිටසක්වල ආක්‍රමණිකයින් තම යානාවන් ප්ලූටෝ ග්‍රහයාගේ කක්ෂය ආසන්නයේ නතර කර, ඔත්තු බැලීමේ යානාවක් පෘථිවිය වෙත එවා ඇත. එය පෘථිවියට ළඟා වූයේ පසුගිය 15 වැනි දිනයි. ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද, ශ්‍රී රාවණ රජතුමා විසින් රචිත "වෛමානික ශාස්ත්‍රය" නැමති හෙළ පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට එම පිටසක්වල යානා පවා යොදා ගන්නේ අති ප්‍රබල ගුවන් යානා තාක්ෂණයක් වන "ප්‍රතිගුරුත්ව එංජිම" යි.


ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් තිබෙන්නේ ශ්‍රී රාවණ රජතුමාගේ රාජධානිය වූ "ලංකාපුරය" හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවේ වෙන අතර ඒ බව පිටසක්වල ජීවීන් පවා මැනැවින් අවබෝධ කරගෙන ඇත. ඒ ගැන ඔබට විශ්වාස නොමැතිනම් BBC හි මේ ලිපිය බලන්න, එහි සිතියමේ නිල් පාටින් දැක්වෙන්නේ ලෝකයේ ගුරුත්වය අඩුම කලාපයයි. එනිසා තම ඔත්තු බැලීමේ යානය වඩාත් ගුරුත්වය අඩු ශ්‍රී ලංකාවට ඉහල අහසේ කක්ෂ ගත කිරීමට ඔවුන් තීරණය කර ඇත.

හිරු හෙවත් රා ගෙන් එල්ල වෙන සූර්ය විකිරණයන් හේතුකොටගෙන, එම විකිරණ දෙසින් ඇති ආකාශ වස්තු ගුවන් නිරීක්ෂණ රේඩාර් වලට හසු නොවේ. ඒ තාක්ෂණයත් දන්නා එම දියුණු පිටසක්වලයින් තම ඔත්තු බැලීමේ යානය සූර්යයා සහ පෘථිවිය මැදි වෙන ආකාරයටම ශ්‍රී ලංකවට ඉහල ආකාසයේ කක්ෂ ගත කර ඇත. ඊට අමතරව ඇමරිකානු හෝ චීන රේඩාර් වලට පවා හසු නොවන ආකාරයේ අති ප්‍රබල "Radar Shield" තාක්ෂණයන් ඔවුන් සතුව ඇති බව තාපස තුමා වැඩිදුරටත් පැවසීය.

දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි, එනම් මූතූර් වැසියන් එලෙස සූර්යයා දෙසින් දු‍ටු කැ‍රැකැවීම යනු එම යානයේ ඇති රසදිය එංජින් වල ක්‍රියාකාරීත්වයයි. පින්තූරයේ කළු ලපයෙන් ඔබ දකින්නේ එම රසදිය දහනය වීම වන අතර අළු පාට චතුරසාකාර කොටසින් බොඳ වූ ආකාරයට පෙනෙන්නේ එම යානාවයි. මේ මොහොතේත් එම යානය අපව නිරීක්ෂණය කරමින් සිටි.

මිත්‍රවරුණි, පෘථිවි වැසියන් වන අප දැන් මුහුණ දී තිබෙන්නේ බරපතල ඛේදවාචකයකටයි. යුග ගණනාවක් අඛන්ඩව ‍රැකගත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය එක මොහොතකින් සුන් වී යාමට ඔබ ඉඩ දෙනවාද? අපගේ පෘථිවි වැසියන්ගේ සංස්කෘතිය, සභ්‍යත්වය, මනුෂ්‍යත්වය, මේ සියල්ලම කැටි වූ ජීවිතයත් මරණයත් අතර සටනකට ඔබට දැන් ලැහැස්ති වීමට සිදුවී තිබේ. ඉදිරි දිනවලදී ඔබ වෙත තවත් විස්තර ගෙන එන්නම්. එතෙක් ඔබට ශ්‍රී රාවණ සිද්ධම්!
Read More...

Friday, August 17, 2012

රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි!

ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ උත්ඨානය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙතත් "චාමිසමා" නැමති අසුරයෙක් හරහා ඉතාමත් විශේෂ පයිංඩයක් එවූ අතර ඒ ගැන හෙළි කිරීමටයි මේ සූදානම.

තාපසතුමා පවසන පරිදි රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් ඒ ගැන පෙරමග ලකුණු දිස්වීම ආරභ වී තිබේ. ඒ අනුව හෙට (එනම් ක්‍රිව 2012 අගෝස්තු 18 සෙනසුරාදා) රාත්‍රියේ සම්මත වේලාවෙන් 09:28 සිට 10:55 දක්වා (කුජ හෙවත් යුද්ධයේ හෝරාව ඇති විට) යෙදෙන බලගතු නැකතේදී නැගෙනහිර අහසේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ යගදාව දිස් වේවි!

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාව අවදි කිරීම සඳහා අසුර ලෝකයේ සිට දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. දීමන්තරයින් යනු භයානක අමනුෂ්‍ය විශේෂයක් බව යක්ෂයින් ගැන විස්තර වෙන පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ විග්‍රය වෙයි. බටහිරුන් ඔවුන්ව හඳුන්වන්නේ Dementors ලෙසටයි. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළපොත් කියවීමෙන් ජේ කේ රෝලිං විසින් දීමන්තරයින් ගැන විවිධාකාර කතන්දරද ගොතා ඇත.

දීමන්තරයෙක්

ඉතින් එම දීමන්තරයින් විසින් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන, එතුමා නිද්‍රාගතව සිටින මහ කුඩුගල ගිරි ශිඛරයේ එතුමාගේ ශරීරය අසළින් තැන්පත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී රාවණ රජතුමා අවදි වීමට පෙර එතුමගේ යගදාව අවදි විය යුතු බව ඉන් සංකේතවත් කරයි. නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි.

තාපසතුමා වැඩිදුරටත් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව දෑසින් දකින පුද්ගලයින්ට ශක්තිමත් යගදාවක් පහළ වීමට වාසනාව උදාවේ. එය දඹ රන් හිසක් ඇති යගදාවකි. එය ලැබීමෙන් ඔබට කොතරම් ශක්තියක් ලැබේද කියා දන්නවාද? එනම් කුණ්ඩලීනී යෝගයට සම වැදී යගදාව පොළොවට ලම්භකව සිටවා තබා ඔබට එය මත පොළොවට සමාන්තරව හිට ගැනීමට හැකි වේවි. එම යගදාවෙන් පහර කන ඕනෑම භාණ්ඩයක් පළමු පහරෙන්ම කැඩී යාවි.

ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව මෙලෙස වන්නට ඇති බව සැලකේ.

එසේනම් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව බැලීමට ඔබත් කැමති ඇති. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

1. දීමන්තරයන් යනු ඉතාමත් භයානක අමනුෂ්‍ය විශේෂයකි. ඔවුන්ට හමු වෙන ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ආත්මය ගිල දැමීමට ඔවුන් කටයුතු කරයි. එනිසා හෙට රාත්‍රියේ 09:28 පසු වෙත්ම නිවසෙන් එළියට බැසීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පවසන්න. එවිට දීමන්තරයින්ගෙන් ඔබට ගැහැටක් සිදු නොවේවි.

2. ඉන් පසුව ඔබට දැනේවි වෙනදාට වඩා හයියෙන් පළඟැටියන් සහ ‍රැහැයියන් කෑ ගසන බව, ඊට හේතුව ඔවුන් දීමන්තරයින්ට බය වී සිටීමයි. ඊට අමතරව වෙනදාට වඩා අධික අන්ධකාරයක් තිබේවි, ඊට හේතුව දීමන්තරයින්ගේ බලපෑමයි. (නමුත් ඔබ ශ්‍රී රාවණා පරපුරේ හෙළයෙක්නම් සහ ඔබ නිවසෙන් පිටවීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පැවසුවානම් ඔබට බිය වීමට හේතුවක් නැහැ.)

3. ටික වෙලාවක් ගත වෙද්දී ඔබට නැගෙනහිර අහස රක්ත වර්ණයෙන් බබළනවා පෙනේවි. මොහොතක් යත්ම දීමන්තරයින් විසින් යගදාවත් ‍රැගෙන අහසේ පියාඹන හැටි ඔබට දිස් වේවි.

4. ඒ වෙලාවේ පහත මන්ත්‍රය ජප කරන්න. ඔබට මා පෙරදී සඳහන් කළ යගදාව ලැබීමට  එම මන්ත්‍රය උදව් වේවි.

ඕං නමෝ ශ්‍රී රාවණ යගධා සම්බ ටොයිසහස්ත නැගී වර වර ඒස්වාහ:

ඔබට හැකියාවක් ලැබුණොත් හෙට රාත්‍රියේ දිස් වෙන එම විස්මය ජනක දර්ශනය ඡායාරූප ගත කර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත ලබා දෙන්න. මේ පුවත හැකි තාක් රාවණ ගවේශකයින් වෙත ලැබීමට සලස්වන්න. ශ්‍රී රාවණ සිද්ධම්!
Read More...

Thursday, August 16, 2012

සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතයට අපහාස නොකරනු!

"විජයාගමනය මිත්‍යාවක්ද?" මැයෙන් 2009/07/15 දින දිවයින විශේෂාංග තීරුවේ විජයපාල වීරවර්ධන මහතා ලියා ඇති මෙන්න මේ ලිපිය කියවීමෙන් එහි ඇති ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා පිළිතුරක් ලිවීමට මා හට සිත් විය. එනම් සිංහලයන්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතා දක්වා ඇති වටිනා හෙළිදරව්ව විජයපාල වීරවර්ධන මහතා විසින් ඉතාමත් නිර්දය ලෙස විවේචනය කෙරී තිබීම ගැනයි.

සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින පුවත්පතේ "මේ සිංහලයින්ගේ දේශයයි" මැයෙන් රචනා කළ ලිපියේ මෙලෙස දක්වා තිබේ.

"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය." ඊට අමතරව මහාභාරතයේ දැක්වෙන පරිදි සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වුණ බවත් සූරිය ගුණසේකර මහතා  පෙන්වා දී ඇත. (එම ලිපිය මාර්ගගතව නොමැති නිසා ලින්කුවක් දැමීමට නොහැකියි)

ඒ සඳහා විජයපාල වීරවර්ධන මහතා මෙලෙස පිළිතුරු දී තිබුණි.

විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක්‌ සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක්‌ නැත.

සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස්‌ වල නිරවද්‍යතාවය කෙතෙක්‌ දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.

අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙනුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක්‌ ද ගොම වලින් සවර හමුදාවක්‌ ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක්‌ නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.

අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.
ඒ අනුව මහාභාරතය යනු සිංහල හෙළ ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක් බව පිළිගන්නා රාවණාගවේශකයින්ගේ මහා ඇදුරාණෝ වන සූරිය ගුණසේකර මහතා,  සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදුන බව මනාව පෙන්වා දී ඇත.


මේ ගැන මාගේ අදහස් මෙලෙස පෙළ ගස්වමි.

(1) රාවණාගවේශකයින් වන අපට රාවණා ඉතිහාසය පෙන්වන කරුණු, සංකේත අනුසාරයෙන් හෝ පද නිරුක්ති වලින් හෝ ජන කතා වලින් හෝ කට කතා වලින් හෝ විශ්වාස වලින් හෝ තිබුණත් පිළිගැනීමට පුළුවන. නමුත් මහාවංසයේ යමක් තිබේනම් එය ඉතාමත් නිවැරදිව තිබිය යුතුය. අපගේ රාවණ ඉතිහාසය සංකේතාත්මකව තිබුණත් කිසිම විටෙකවත් මහාවංසයේ ඉතිහාසය සකේතාත්මකව නොතිබිය යුතුය. "ඛේවනාප්ප" නැමැති හෙළ ඉතිහාස ගවේශණ රීතියෙන් මෙය පහැදිළි කරයි.

අන්න ඒ නිසා තමයි "තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්, එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන බවත්" සූරිය ගුණසේකර මහතා පවසන්නේ. "ඛේවනාප්ප" රීතිය ගැන නොදන්නා විජයපාල වීරවර්ධන මහතා ගැන මා හට ඇති වන්නේ දුකකි.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා

(2) සිංහයෙකුගෙන් මිනිස් දරුවෙක් ඉපදුන බව ඇතුළු ගැටළුකාරී තැන් කිහිපයක් ඇති නිසා විජයාවතරනය ඇතුළු මුළු මහාවංසයම අමුම අමු කෙප්පයක් බව දැන් බොහෝ රාවණගවේශකයින්ගේ මතයයි. නමුත් "ඛේවනාප්ප" රීතිය අනුව රාවණ ඉතිහාසය ගැන,
i. සිංහල ජාතිය එළදෙනෙකුගේ කටින් ඉපදීම?
ii. රාවණගේ හිස් දහය?
iii. රාවණ ජීවත්ව සිටි කාල වකවානුව කුමක්ද?
iv. බලවත් රාවණ වඳුරන් එක්ක ආපු දුබල රාමට පරාජය වීම?
v. රාවණට දේවාල නොහැදී විභීෂණට දේවාල හැදීම?
ආදී රාවණ විරෝධීන් විසින් මතු කරන සහ අප අතරත් ඇති සුළු සුළු මත ගැ‍ටුම් තිබුනත් අපට ඒවා විසඳා ගනිමින් ඉතිහාසය ගවේශණය කිරීමට කිසිදු බාධාවක් නැති බව පාහර රාවණ විරෝධීන් දැනගත යුතුය. (ඉහත ප්‍රශ්න වලට වර්ගපූර්ණිකාවේ මීට පෙර ලිපි වල පිළිතුරු ඇත)

(3) සිංහයා නැමති තිරිසන් සතෙකු විසින් මිනිස් කුමරිකයට ජාතක වීම නැමති තිරිසන් ජන්මෙට වඩා එළදෙනෙකුගේ කටින් ජාතක වීම අභිමානයකි. ස්ත්‍රියකගේ අධෝ මුඛයට ආසන්න තැනකින් ඉපදිමට වඩා එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සිංහල ජාතියට ඉතාමත් නම්බුවකි. මුඛ සංසර්ගය ගැන ගවයන් පවා දැන සිටි බව සංකේතවත් කිරීමෙන් පෙනී යන්නේ අතීත හෙළයන්ට කොතරම් දියුණු ලිංගික අධ්‍යාපනයක් තිබූ බව නොවේද? සූරිය ගුණසේකරයානෙනි මේ වගේ වටිනා දෑ හෙළි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

(4) එළදෙනගේ පුරුෂයා වන ගොනා යනු අතීත හෙළ යකුන්ගේ දෙවියෙකි. එසේ වූයේ එළදෙනගෙන් සිංහල ජාතිය බිහි කිරීමට මූලික වූ ගොනාට කරන ගෞරවයක් වශයෙනි. "ගොං යකා" ලෙස ලෙස පදයක් තාමත් භාවිතයේ ඇත්තේ අතීතයේ සිටි හෙළ යකුන්ගෙන් වැදගත් අයට "ගොං යකා" යැයි කී නිසා බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි. මේ අනුව මෙතරම් වැදගත් ඉතිහාසයක් හෙළි කර දෙමින් මහාවංසයේ තිරිසන් ජාතකයෙන් සිංහලයාව මුදවා ගත් සූරිය ගුණසේකර නැමති හෙළ යකාටත්, "ගොං යකා" යැයි කියා ගෞරව කළ යුතුය.

(5) එළදෙනව බෙදාගත් සහෝදරයින් දෙදෙනාගේ කතාව ඔබ අසා ඇති. එක් සහෝදරයෙක් පළමුව ඉදිරිපත් වී එළ දෙනගේ ඉදිරි භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ මෝඩ කම නිසා බවත් අනිත් සහෝදරයා විසින් එළදෙනගේ පශ්චාත් භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ බුද්ධිමත් කම නිසා බවත් බමුණන් විසින් එම කතාව විකෘති කර ඇත. නමුත් සත්‍ය කතාව නම් බුද්ධිමත් සහෝදරයා විසින් එළදෙනගේ ඉදිරිපස පැත්තේ ‍තෝරා ගත්තේ සිංහලයින්ගේ සම්භවය එළදෙනගේ මුඛයේ ඇති නිසයි.

(6) එළ දෙනව මරණයෙන් බේරා ගැනීමට බොහෝ සිංහලයින් සයිබර් අවකාශයේ මර හඬ තලන්නේ ඇයි කියා ඔබ සිතුවාද? ඒකට හේතුව වන්නේ සූරිය ගුණසේකර මහතාම පෙන්වා දෙන පරිදි සිංහලයාව එළදෙනගෙන් පැවත එන නිසයි.

(7) සූරිය ගුණසේකර මහතාගේ මතය සනාථ කරන වැදගත්ම කාරණාවක් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයට අදාල කැණීම් වලින් මතු වූ ගව රූපයි. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර හඳුන්වා දුන්නේ සිංහලයින් විසින් බව අරිසෙන් අහුබුදු වන් නිතරම පැවසූවකි. ඉතින් සිංහලයින්ගේ සම්භවයට හරප්පා ජනතාව ගරු නොකර සිටීවිද?


දැන් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටු වලින් සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතය විවේචනය කිරීමට රාවණ විරෝධීන් ලක ලෑස්ති වේවි. ඒ නිසා රාවණ විරෝධීන්ට මා කියන්නේ, තොපි එකෙක්වත් අපව ජාතක කරපු එළ දෙනට අත නොතබනු. සිංහලයාගේ සම්භවයට අත තබා රාවණ රජතුමාව ප්‍රකෝප නොකරනු. සූරිය ගුණසේකර මහතාගේ අදහසට අපහාස නොකරනු.
Read More...

Tuesday, August 14, 2012

රාවණාපාක්ෂිකයින්ගේ අභියෝග හමුවේ කාලෝ ෆොන්සේකා පරාජය වෙයි

සාමාන්‍ය මනුස්සයෙකුට නොකළ හැකි ශ්‍රී රාවණ පාක්ෂිකයෙකුට පමණක් කළ හැකි වැඩ දොළහක් හැකිනම් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට දිණ ගණනාවකට ඉස්මත්තේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ බව ඔබට මතක ඇති. එම වැඩ 12 ම මේ වන විටත් ප්‍රබල රවණ පාක්ෂික මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේදී ඔප්පු කර පෙන්වා දී ඇති බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කළින් ලිපියකින් පෙන්වා දුන්නා. ඉන් පසුව ශ්‍රී රාවණ පාක්ෂිකයිනුත් කාලෝ ෆොන්සේකා මහතාට අභියෝග 12 ක් ඉදිරිපත් කළේ එතුමාට හැකිනම් ජයග්‍රහණය කරන ලෙස දන්වා සිටිම්න්. ඒ සඳහා දී තිබූ කාලය අවසන් වෙද්දීත් අඩුම තරමින් මාධ්‍ය ප්‍රකාශයක් හෝ නොකළේ තමන්ගේ පරාජයේ හෙළුව වසං කරගැනීමට විය හැකියි.


කාලෝ ෆොන්සේකා මහතා දැන් පරාජය වී අවසානයි. නමුත් එතුමාගේ වයස සලකා අප තව අවස්ථාවක් දෙනව. එනම් ශ්‍රී රාවණ රජතුමා උත්ඨානය වන 2012/12/12 දිනට පෙර හැකිනම් එම අභියෝග 12 න් එක් අභියෝගයක් හෝ ඔප්පු කර පෙන්වන්න. එවිට පරාජයේ ලැජ්ජාව ටිකක් හරි වහගන්න පුළුවන් වේවි.

"දින 10 අවසන් වූ විට එතුමාට කිසිවක් කරගත නොහැකි වුවහොත් අපගේ ජයග්‍රහණය ඉතාමත් ඉහළින් සමරන්නෙමු" කියල එම ලිපියේ අගදී මා පොරොන්දු වුණා වගේම ඒ ජයග්‍රහණය අද දිනයේදී රාවණපාක්ෂිකයින් බොහෝ පිරිසක් සමග අප සැමරුවා. එම මහ සමුළුවේදී සම්මත වූ එක් යෝජනාවක් වූයේ ඉදිරියේදී "ශ්‍රී රාවණා" නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. අති සාර්ථක ලෙස තිරගත වූ "විජය කුවේණී" චිත්‍රපටයත් ඊට හේතු වූවා. ඉතාමත් සියුම් යට ඇඳුම් ඇඳීමට තරම් එදා සිටි හෙළ යකිණියන් තාක්ෂණයෙන් දියුණු බව පෙන්වා කුවේණියව විශ්ව කීර්තියට ලක් කළා සේ, මෙදා "ශ්‍රී රාවණ" චිත්‍රපටයෙනුත් අළුත් යමක් කිරීමයි අප රාවණ ගවේශකයින්ගේ බලාපොරොත්තුව, ඒ සඳහා සහෘද ඔබ අපට ලබා දෙන යෝජනා වැදගත් වේවි.

අන්තර්ජාලය හරහා අප සමග සම්බන්ධ වෙන ඔබටත් කාලෝ ෆොන්සේකාගේ පරාජය සැමරීමට අවශ්‍ය බව මා හට අමතක වුණේ නෑ. ඒ සඳහා ශ්‍රී රාවණ අධිරජ්‍යයාගේ ශක්තිය පෙන්වමින් "ශ්‍රී රාවණ" කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගීතයක් ඔබගේ රසාස්වාදය සඳහා මෙලෙස බෙදා ගන්නවා.



ප.ලි:- කියන්න කණගා‍ටුයි, ගීතයේ මුලින්ම දැක්වෙන රාවණ පිළිරුව හෙළයින්ගේ නොවෙයි කියල පාහර බමුණන් මතයක් දැන් සමාජ ගත කරල තියෙනව.

http://en.wikipedia.org/wiki/File:Ravana_British_Museum.jpg

http://www.flickriver.com/photos/unforth/2686753533/

ඒක 18 වන සියවසේ දකුණු ඉන්දියාවේ තිබී පසු කාලයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙන ගිය පිළිරුවක්ලු. දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය දෙමළුන්ගේ පිළිරුවකට අපේ අපේ කියමින් අපි මෙච්චර කල් වඳීද? පාහර බමුණන්ගෙන් බලු කතා තමයි ඕව.

ඒ මදිවට ඉහත ගීතයේ "ශ්‍රී රාවණ" කණ්ඩායමේ හෙළයින් විසින් රංගනයෙන් දායක වුණ චරිත කොපි කරමින් ඒ විදියටම "රාමානය" චිත්‍රපටයක් හැදීමට තරම් පාහර ඉන්දියානු බමුණන් නිර්ලජ්ජී වෙලා තියෙනව. පහත දැක්වෙන්නේ එම රාමායන චිත්‍රපටයේ කොටසක්.



ඔන්න ඔය වෙලාවට තමයි හැම හෙළයෙකුටම වගේ මටත් කේන්ති යන්නෙ. පාහර ඉන්දියානුවෙනි, තොපි අපේ "ශ්‍රී රාවණා" කණ්ඩායමෙන් හදාපු දර්ශන වල කොටස් කොපි කරමින්, කෑලි අලවමින් චිත්‍රපට හදන්න තරම් නිර්ලජ්ජී වුණේ ඇයි.? චී චී චී... ලැජ්ජායි ඉන්දියානුවනි. තොපි මලයාලි සක්කිලියො කට ඇරියොත් කතා කරන්නේ ලංකාවේ බලපෑම් වලින් තොර තොපේම ඉන්දීය රාමායන ඉතිහාසයක් ගැන නේද? ඒත් ගූ බල්ලනේ තොපිට අපේ හෙළයින් විසින් ගීතයක් වෙනුවෙන් හදාපු දර්ශන කොපි කරගන්නෙ නැතිව චිත්‍රපටයක්වත් හදාගන්න බෑ. හෙළයින්ගේ නිර්මාණ කොපි කරන නපුංසක ඉන්දියන් බල්ලනේ, ඔයිට වඩා හොඳයි තොපේම බලු ගූ කෑවනම්. ක්හාක් තුක්...
Read More...

Friday, August 10, 2012

හෙළයින් විසින් ලොව මුල් වරට ඊමේල් භාවිතාකර තිබුණි.

හෙළයින් වනාහී එසේ මෙසේ ජාතියක් නොවන බවත්, මුළු ලෝකයම ශිෂ්ටාචාර කළේ ශ්‍රී රාවණා අධිරාජ්‍යයා ප්‍රමුඛ හෙළයින් විසින් බවත් අරිසෙන් අහුබුදු, ආචාර්ය සූරිය ගුණසේකර, ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර වැනි රාවණාගවේශකයින් නිතරම පැවසූවකි. හෙළයින්ගේ සොයාගැනීම් අතර ගුවන් යානා, ජල පීඩක උමං මාර්ග, න්‍යෂ්ඨික අවි, ගීසා හී පිරමීඩ, තාරකා අතර ගමන් කරන දොර‍ටු, කාලය හරහා ගමන් කිරීම ආදිය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ඉහත කී විද්වත්හු එකහෙළාම පිළිගනී.

ඒ අතරට අළුතෙන් එක් වන හෙළයින්ගේ සොයා ගැනීම වන්නේ ඊමේල් බව පැවසුවහොත් ඔබ සමහර විට විශ්වාස නොකරාවි, නමුත් මා සතුව ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඒ බව 100% ක්ම තහවුරු වී ඇත. කළින් දැක්වූ හෙළයින්ගේ තක්ෂණයන් හෙළයින්ට තිබූ බව ඔබ පිළිගන්නේනම් ඒවාටත් වඩා ඉතා ප්‍රාථමික තාක්ෂණයක් වන ඊමේල් තාක්ෂණය හෙළයින්ට තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට තරම් සාක්ෂි නොමැතිව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැත.

රාවණා යුගයේ සිටි හෙළයින් පණිවිඩ යවනන්ට යොදා ගත්තේ පිරිමි අයවය. ඒ සමයේදී පිරිමින්ව "මේඑල්" කියලත් හඳුන්වා ඇත. ඒ බව "සිද්ධරාජ පත් ඉරු" වල දැක්වෙයි, මම ඒවා කියවා ඇති නිසා වගකීමෙන් යුතුව කීමට හැකියි.

"මේඑල්" යන්නේ පද නිරුක්තිය තමයි මේ=මේ, එල්=එල්ලෙනව. "මේ එල්ලෙනව" කියන එකේ තේරුම ආයිත් කියන්න ඕනැ නෑනෙ. නියමාකාරයෙන්ම පුරුෂ ලිංගික හෙළ වචනයක් ලෙස "මේඑල්" වරනෙගී තිබේ. පසුකාලයේදී ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් කියවූ පර සුද්දන්, "මේඑල්" යන හෙළ වචනය "මේල්" ලෙස ඉංග්‍රීසියට හුරුව යොදා ගෙන ඇත.


1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.

"ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි" මැයෙන් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පළ කළ ලිපියෙන් හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය ගැන පුරාවිද්‍යත්මක සාක්ෂි සහිතවම ඉහත උදෘතය දැක්වූවා ඔබට මතක ඇති. වැඩි විස්තර සඳහා එම ලිපිය පරිශීලනය කරන්න.

ඉහත දක්වා ඇති උදෘතයේ, සීගීරියේ තොරතුරු ගබඩා කිරීමට ප්‍රතිචක්‍රීකරණය කරපු ගූ වලින් හදපු පාෂාණ යොදාගත් බව සඳහන් වෙනවානේ? ඉතින් එම "ගූ ගල්" එහෙ මෙහෙ ගෙන යාම ඒ කාලයේ හිටපු පිරිමින් හෙවත් "මේඑල්" ලා විසින් සිදුකර ඇත. ඒ අනුව "ගූ මේඑල්" ලෙස එම ක්‍රමය හැඳින්විය. නමුත් ගූ=කක්කා=ජී වන නිසා පසුව එය "ජී මේඑල්" ලෙස හඳුන්වා ඇත.

එනම් "ජීමේඑල්" යනු රාවණ රජතුමාගේ කාලයේ තිබූ විද්‍යුත් පණිවිඩ සේවයකි. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් මෑත කාලයේදී කියවූ පර සුද්දෝ ඒ නමම පෝඩ්ඩක් වෙනස් කර යොදා ගනිමින් "ජීමේල්" ආරම්භ කළෝය.

ක්සැන්ඩරයාගේ කොලම ලියන ක්සැන්ඩර් මහතා පෙන්වා දෙන පරිදි රාවණා යුගයටත් පෙර (එනම් වසර මිලියන 2 කට පමණ පෙර) හෙළදිවේ සිටි අපේ හෙළයෝ (ඒ කාලයේදී හෙළයෝ ගොවිතැන් බත් කරද්දී සුද්දන් Homo Habilis වරුන්ය) පණිවිඩ යැවීමට, අදාල පණිවිඩය තල් පතක ලියා ඊතලයක අමුණා ඊ පොලක සිට "ටිනං" ශබ්දයෙන් විදියි. "ටිනං" යනු දුනුදිය ඇදීමේ ශබ්දයයි. එහා කෙළවරෙන් ඊ පොලේ පණිවිඩය "ටං" ශබ්දයත් සමග ලබ ගනී, ඒ ඊතලේ ඊ පොලේ වැදුනම එන ශබ්දයයි. එලෙස ඊ තල මගින් පණිවිඩය යවන්නේ ත් පිරිමි අය හෙවත් "මේඑල්" ලා විසින්ම නිසා එම ඊ පඬිවිඩ ක්‍රමය "ඊමේඑල්" ලෙස අතීත හෙළයේ භාවිතා විය.

ඊට බොහෝ කලකට පසුව බලයට පැමිණි රාවණ රජතුමා විසින් පිටසක්වල තාක්ෂණය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණය දියුණු කළ අතර සෑම හෙළයෙකුගේම නිවසේ තිබූ පරිගණක අතර අන්තර් පණිවිඩ හුවමාරුව සඳහා හැටලයිට් යොදා ගනිමින් විද්‍යුත් දත්ත ප්‍රවාහණ ක්‍රමයක් යොදා ගන්නා ලදී. අතීතයේ සිටි හෙළයින්ට ගෞරවයක් වශයෙන් එම පණිවිඩ හුවමාරු ක්‍රමයටත් "ඊමේඑල්" ලෙසම හැඳින්වීමට තරම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා කාරුණික විය.

පසුකාලයේදී සුද්දන් විසින් අප හෙළයින්ගෙන් සොරකම් කරගෙන ලන්ඩන් කෞතුකාගාරයේ තබා ඇති "ඊමපාදමස්" නැමැති හෙළ පුස්කොළපොතෙන් ඉහත තාක්ෂණය සොරාගත් අතර ඔවුන් "E-Mail For Dummies" නැමැති පොත ඒ අනුසාරයෙන් ලියා ඇත. (ඊමපාදමස් නැමැති හෙළ පුස්කොළපොත තවමත් ලන්ඩන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත, කැමති කෙනෙකුට ගොස් බැලීමට පුළුවන්). හෙළයින්ගේ "ඊමේඑල්" නැමති වචනය පර සුද්දන් විසින් "ඊමේල්" ලෙස කෙටි කර දක්වා ඉන් නොනැවතී ඊට "Electronic Mail" නැමති තේරුමත් දී හෙළයිග්නේ තාක්ෂණය සදහටම වළලා දමා ඇත. පර සුද්දන් කොතරම් මොළ ශෝධනයක් සිදුකළාද කිවහොත් අද අප අතීත හෙළයින්ගේ එම ඊමේඑල් තාක්ෂණය ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා හෙළි කරද්දී බොහෝ අය සිනා වෙන තත්ත්වයටම හෙළයෝ අතීතයට ගරු නොකරන පිරිහුණු ජාතියක් බවට පත් වී ඇත.

මධ්‍යම කඳුකරයේ ඇති "ඉමදූව" නැමති ගම්මානයෙන් හමුවූ සෙල් ලිපියක මෙලෙස දැක්වෙයි. "රව ඉම සපෂ ගර මහ පහ ශශප" එහි තේරුම වන්නේ "රාවණ රජතුමාගේ ඊමේල් සම්ප්‍රේෂණාගාරය මෙහි පිහිටා ඇත."

අනික් අතට ඉමදූව නැමති ගමේ පද නිරුක්තියෙන් එම සෙල් ලිපියේ නිරවද්‍යතාවය වඩාත් තහවුරු වෙයි. කෙසේද යත්, "ඉමදූව" නම් වචනය ප්‍රකෘති හෙළයට වර නැගූ විට "ඊමඩුව" නම් වෙයි. ඊ=ඊමේල්, මඩුව=මණ්ඩපය. එනම් එකල හැටලයිට් ආධාරයෙන් සම්ප්‍රේෂණය කරන "ඊමේල් පාලනය කිරීමේ මණ්ඩපය" එහි පිහිටා ඇති බවයි.



ඉමදූව ගමේ තරුණයින් අදටත් තොරතුරු තාක්ෂණයේ අති දක්ෂයින් බව ඔබ දන්නවාද? මෑතකදී නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද රෝවර් යානයේ අතිශය වැදගත්ම කොටස වන සෑම් නම් උපකරණයේ ඇති ලේසර් රාවණ තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කළ හෙළයේ මහා විද්‍යාඥ සරත් ගුණපාල මහතාගේ පරම්පරාවත් ඉමදූව ගමේ ආදීතමයන්ගෙන් පැවත එන්නෝය. අදටත් නාසා වෙත රාවණ රජතුමාගේ තාක්ෂණය ලබාදෙන එහෙව් ජාතියක්ය අප!

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Thursday, August 9, 2012

උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ

උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ ගැන, මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

අප රාවණාගේ බල ශක්ති කේන්ද්‍රය ගැන කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයකදී හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිළි සාක්‍ෂි හමුවෙමින් පවතී.


එහි පළමු සාක්‍ෂිය කළු ගඟ ව්‍යාපෘතියට සමගාමී ප්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යශ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳවය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකිවනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයේ අඩි දහතුනක් පොළොව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්ථන යුගයේ ස්වාභාවයයි.

අප හෙළ යුගයේ ජල තාක්‍ෂණ ක්‍රම වේදයන් පිළිබඳ කතා කිරීමට උත්සාහ දරමු. ලංකාවේ ප්‍රධාන නගර විසි හතක් ආවරණය කෙරෙමින් ඉදිවුණු උමං මාර්ග පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතී. මෙම උමං ප්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝශණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හැඳින්වෙයි.


මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.

මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර බොහෝවිට පොළොව අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබිණි.

මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන් ගඟ අසළ ලුණුගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපළකි. ගලිසි තොටුපළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පළකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයේ අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගයේ පිහිටි උමඟ වර්තමානයේදී ශේෂ වෙමින් පවතී.


මෙම ජල උමඟට එකල සුදු ගඟ මුල් කරගනිමින් ජලය ඇතුළු කල බව සිතිය හැක. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි.

වර්තමානයේදීද මාතලේ අඹන් ගඟේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. නාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගමේ ආසන්නයේ පිහිටි පතුළක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි.

වර්තමානයේදී මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදු වුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-05-13)

Read More...

Wednesday, August 8, 2012

බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි.

මේ දිනවල විදුලිය විසන්ධි කිරීම නිසා සමහර අයට රාත්‍රියේ කළුවරේ ඉන්න වෙනව ඇති. විශේෂයෙන්ම උසස් පෙළට පාඩම් කරන ශිෂ්‍යාවන්ට සිදුවී ඇති අපහසුතාවය අළුතෙන් කියන්න ඕනැ නෑනෙ. එනිසා මා අද කල්පනා කළා රාත්‍රී කාලයේ ආළෝකය ලබා ගැනීම සඳහා රාවණා රජතුමා විසින් නිර්මාණය කරන ලද ඉපැරණි හෙළ ක්‍රමවේදයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා ඔබ හමුවේ තැබීමට. කෙටියෙන් කියනවනම් මන්තරයක් භාවිතා කරලා නිවසේ සිටින පූසාගේ ඇස් දෙකෙක් රාත්‍රී කාලයේ කාමරයට අවශ්‍ය ආළෝකය ලබා ගැනීම. මේ මන්තරය භාවිතා කරන හැටි දැනගන්නට ලැබුණෙ ඉපැරණි හෙළ පුස්කොළපොතකිනුයි.

මුලින්ම කියන්න ඕනැ මේ දේ කරන්න පුළුවන් කාන්තාවන්ට විතරයි. එයිනුත් කන්‍යාවන් මේ වැඩේ කරන එක සුදුසු නැහැ, මොකද කියනවනම් මෙහි ඇති මන්තර භාවිතා කරමින් පූසාට මැතිරූ පසු කන්‍යාවන්ට කළු කුමාර දිෂ්ඨිය වදින්න පුළුවන්, ඉන් පසුව නිවසේ ඇති කැඩෙන බි‍ඳෙන දේවල් වලට හානි වුනොත් ඔන්න මටනම් වගකියන්න බෑ. එනිසා කන්‍යාවක් නොවන කාන්තාවන්ට නොබියව මෙය සිදුකිරීමට හැකියි. එසේම නිවසේ වෙන කවුරුවත් නොමැති වෙලාවක හෝ අඩුම තරමින් ඔබ තනිවම කාමරයකට සිටිමින් වෙන කාටවත් පේන්නේ නැති වෙන විදියට දොර වසාගෙන කළ යුතුයි. මෙමගින් පූසාගේ ඇහෙන් ආළෝකය ලබා ගන්නවටත් වඩා දේවල් වෙන බව ලිපිය කියවගෙන යනකොට ඔබට වැටහේවි.

එහෙනම් වැඩේ කරන විදිය බලමු. ඉර අවරට ගොස් අඩ හෝරාවකට පමණ පසුව ඔබගේ නිවසේ සිටින පූසාව අල්ල ගන්න. ටිකක් වැඩිපුර ඤාව් ඤාව් ගානවනම් ඒකෙ තේරුම ඌට බඩගිනි බවයි. එසේනම් ඌ කැමති ආහාරයක් ලබා දෙන්න. පූසාගේ බඩ පිරුන පසුව ඌ කෑම කන එක නවත්වාවි, එසේම පූසාගේ ඇස් දිගටි වී නිදිමත ගතියක් පෙනේනම් ඒකේ තේරුම ඌ හොඳින් තෘප්තිමත් බවයි.

ඉන් පසුව පූසාව ඔබගේ ඇඳ මතින් තබා ගෙන කාමරයේ දොර වසා දමන්න. එසේ කරන්නේ පූසා ඉඳ ගැනීමට වඩාත්ම කැමැති තැන ඔබගේ ඇඳ උඩ වීම සහ මෙය නිදහසේ කළ යුත්තක් වීම නිසයි. දැන් පූසාව මැදි වෙන ලෙසට ඔබගේ කකුල් දෙක පූසා දෙපසින් දිග හැර ගන්න. එසේ කරන්නේ පූසාට තමා ආරක්ෂිත බව හඟවා ඌ බිය වී පැන යාම වළක්වා ගැනීමටයි. දැන් පූසාට පමණක් ඇසෙන පරිදි "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න.

බිළාල මන්ත්‍රයෙන් මතුරා ආළෝකය ලබා ගැනීමට සුදුසු තත්ත්වයේ පූසෙක්

එවිට ඉහත රූපයේ පරිදි පූසා තම දෑස ලොකු කර ඔබගේ ඇස් දෙක දිහා බලාගෙන සිටීවි. පූසාගේ මූන වටේ ඇති ‍රැවුල (මවිල්) අවුල් වී ඇති බවක් පෙනෙයිනම් අත් දෙකෙන් ‍රැවුල දෙපසට කර ඔසවන්න. (සාමාන්‍යයෙන් ‍රැවුල අවුල් වන්නේ විශාල ලෙස මවිල් තිබෙන විශේෂිත වර්ග වල පූසන්ගේ පමණයි.) එවිට පූසාගේ කට හොඳින් පැහැදිළිව රතුවට පෙනේවි.

දැන් ඔබගේ දබර ඇඟිල්ලට කෙල ටිකක් ගෙන පූසාගේ මූනේ පැත්තකින් තබා, ඇඟිල්ල රවුමට කරකවමින් පහත දැක්වෙන බිළාල මන්ත්‍රය එකසිය හත් වතාවක් මතුරන්න.

"සෲස රූන ශෲකතෲන පෲස ආසෲ දෲන ආළකෲය ඒවෲ ඒසෲවෲහකෲ"

ශ්‍රී රාවණ අධිරාජ්‍යයා විසින් නිර්මාණය කරන ලද ඉහත මන්ත්‍රය ලියවී ඇත්තේ බළල් බාසාවෙනි. එම මන්ත්‍රයේ තේරුම මෙලෙසයි. "ශ්‍රී රාවණ ශක්තියෙන් පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය එනවා ඒස්වාහක්"

ඔබ ඉහත දැක්වූ මන්ත්‍රය නිසි ලෙස මතුරමින්, නියමිත ලෙස දබර ඇඟිල්ලෙන් පූසාගේ මූනේ පැත්තක් රවුමට කලතනවානම්, මොහොතක් ගතවෙද්දී පූසා ඔබ අතගාන ඇඟිල්ල දෙසට බර වේවි. පූසාත් ඉස්සි ඉස්සී අතගාවගන්න උත්සාහ දරාවි. තවත් ටික වෙලාවක් යද්දී ඔබව පුදුමයට පත් කරමින් පූසාත් එම මන්ත්‍රය මතුරන්නට පටන් ගනීවි. සාමාන්‍ය අයට පූසාගේ එම මැතිරීම ඇසෙන්නේ නිකම්ම "පෲ පෲ" ගෑමක් වගේ වුවත් කුණ්ඩලීනී ශක්තිය ඇති හෙළයින්ට එම මන්ත්‍රය පැහැදිළිවම ශ්‍රවණය කිරීමට පුළුවන්.

නමුත් පූසාගේ කටින් දියාරුවට කෙළ බේරෙමින් "චස් චස්" වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තොත් වැඩේ නවත්වන්න, ආයිත් වෙනත් දවසක තමයි කරන්න වෙන්නෙ. මොකද ඉතින් ඔබටත් ඒ වන විට හොඳටම ඇතිවෙලා ඇති. එසේම පූසාගේ කටින් දියාරුවට කෙල බේරීම හෝ "චස් චස්" ශබ්දය පූසාගේ මුවෙන් ඇසීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්, ඒ ගැන කලබල විය යුතු නෑ.

කළුකුමාර දිෂ්ඨිය වැහුනු පූසෙක්.

එසේම පූසාට කේන්ති ගොස් දත් විලිස්සා නැටි මහත් කරගෙන ලොමු දැහැ ගන්වා "හෑස් හෑස්" ශබ්දය නැගුවොත් එහි තේරුම පූසාට කලු කුමාර දිෂ්ඨිය වැහී ඇති බවයි. බිය වීමට හේතුවක් නෑ, පූසාගෙන් ඈතට ගොස් "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි පවසන්න, ඌගේ බිය දුරු වේවි. පූසා යථා තත්වයට පත් වූ පසුව ඉහත දැක්වූ පරිදි නැවතත් ඔබට මුල සිටම මැතිරීම පටන් ගැනීමට හැකියි. (පූසාට කේන්ති නොගොස් පූසාගේ නැට්ට පමණක් දිගටම මහත් වී තිබේනම් ඇත්නම් එය ප්‍රශ්නයක් නෑ, දිගටම කරගෙන යන්න)

ඔබ එම මන්ත්‍රය නිවැරදිව එකසිය හත් වතාවක් මතුරා අවසන් වෙද්දීත් පූසා නොනවත්වාම දිගටම තම මැතිරීම සිදුකරනවා. දැන් ආළෝකය ලබා දීමට පූසා සූදානම්. පූසාගේ ඇස් දෙක ආළෝකයෙන් ආරෝපණය කිරීම සඳහා පූසාව ඇඳ මතම තබා ටිකක් ඈතට ගොස් එතරම් සැර එළියක් නොමැති ටෝච් එකක් පූසාගේ ඇහැට එල්ල කරන්න.

[[ඔබගේ ටෝච් එකේ බැටරි බැහැලනම් පූසාට මතුරන්න පෙර බැටරිය ආරෝපිතව තබා ගත යුතුයි. ඒ සඳහා "නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම" මැයෙන් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දැක්වූ ලිපියේ සඳහන් ක්‍රමවේදය උත්සාහ කර බලන්නට පුළුවන්.]]

සාමාන්‍යයෙන් ටෝච් එකක් ගහද්දී දිළිසෙනවට වඩා පූසාගේ ඇස් වඩාත්ම දීප්තිමත්ව දිළිසේනම් එහි තේරුම පූසාගේ දෑස ආරෝපණය වෙන බවයි. තමන්ගේ දෑස ආරෝපණය කිරීමට පූසා අකමැති නිසා ඇස් දෙක ටෝච් එකෙන් ඉවතට ගැනීමට ඌ උත්සාහ දරාවි. නමුත් පූසාට හඬ ගසමින් ඌ ඔබ දෙස බැලීමට සලස්වා මිනිත්තුවක් පමණ දිගටම ටෝච් එක උගේ ඇස් දෙකට එල්ල කරන්න. බලහත්කාරයෙන් පූසාට ටෝච් එක ගහන්න එපා, පූසා අන්ධ වීමටත් ඉඩ තිබෙයි.

මිනිත්තුවක් ගතවූ පසුව පූසා හොඳින් ආරෝපණය වී සිටී. දැන් පූසාව මේසයක් මතින් තබා "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි කී පසුව ඔබව පුදුමයට පත් කරමින් ඌගේ ඇස් දෙකෙන් දීප්තිමත් ලෙසට ආළෝකය පිට වේවි. ආළෝකය නැවැත්වීමට අවශ්‍ය වූ විටත් පූසා ළඟට ගොස් "ශ්‍රී රාවන සිද්ධම්" යැයි පවසන්න.

පූසාගේ ඇස් දෙකෙන් එන ආළෝකය

එම ආළෝකය සාමන්‍ය කාමරයක් සඳහා ප්‍රමාණවත් වන අතර එක දිගට පැය 6 ක් පමණ නොනවත්වාම එළිය විහිදුවයි. පැය 6 අවසානයේදී නැවතත් මැතිරීමට සිදුවේ. ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට ගරු කරමින් ගාම්භීරව ඒ ආළෝකයෙන් ප්‍රයෝජනය ගන්න. කිසිවෙකුට එය ඇස ගැටෙන්නට සලස්වන්න එපා. පූසාව එක දිගට බිම බලාගෙන සිටීමට පුරුදු කළහොත් ඌව මේසය මත, මේස ලාම්පුවක් ලෙසට තබා පොත් කියවීමටත් භාවිතා කිරීමට පුළුවන්.

ඔබ අසා තිබෙනවා ඇති වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ පුස්කොළපොත් වල ලියනකොට ඊට ආළෝකය ලබා ගැනීම සඳහා ලාම්පුව අල්ලාගෙන සිටීමට පූසෙක්ව පුරුදු කර තිබුන බව. නොදැනුවත් කමින් ගම්මුන් ලාම්පුවක් ගැන කිව්වත් ඇත්තටම සිදුකර තිබෙන්නේ පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ මා ඉහත දැක්වූ කාන්තාවන්ට විතරක් විශේෂිත වූ ක්‍රමය නොව, පිරිමින්ට පමණක් වූ විශේෂිත වෙනත් ක්‍රමයකුයි. ඒ ගැන ඉදිරි ලිපියකින් දක්වන්නම්.

පූසාගේ උපන් හෝරාව අනුව ඇස් වලින් ලැබෙන ආළෝකය වෙනස් වෙයි., ඒ මෙසේයි.

ඉරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින්  සුදු පාට
සිකුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් නිල් පාට
බුද හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් තැඹිලි පාට
සඳු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කහ පාට
සෙනසුරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රෝස පාට
බ්‍රහස්පතී හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් කොළ පාට
අඟහරු හෝරාවෙන් උපන් පූසාගේ ඇස් වළින් රතු පාට

විවිධ හෝරාවන්ගෙන් ඉපදී ඇති පූසන්ට බිළාල මන්ත්‍රය ජප කර අලංකාරය පිණිස තබා ඇති අයුරු.

පූසා උපන් හෝරාව අනුව උච්ච වී සිටින ග්‍රහයා පූසාට බලපාන අතර එමගින් පූසාගේ ජාන සැකසී ඇති තැපතුම් ලුසිදුම් (Tapetum Lucidum) නැමැති කොටසින් නිකුත් කරන ආකාරය තීරණය වෙයි. ඉතින් විවිධාකාර ආළෝක ලැබෙන්නේ ජාන නිසා යැයි කියන උදවිය දැනගත යුත්තේ එලෙස ජාන සැකැස්මක් පිහිටන්නේ ග්‍රහ බලපෑම නිසා බවයි. එම ජාන සැකැස්ම ශ්‍රී රාවණ රජතුමා විසින් පළමු වරට ලෝකයට හෙළි කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

[[තැපතුම් ලුසිදුම් (තැ=තැන්පත්, පැතුම්=ප්‍රාර්ථනා, ලු=ලුහුඬු, සිදුම්=සිදුවීම්, එනම් "තැන්පත් ප්‍රාර්ථනා සහිත ලුහුඬු සිදුවීම්" ඇති උදවියගේ දෑසින් දීප්තියක් පිටවෙයි. එනිසා තැපතුම් ලුසිදුම් යනු රාවණා රජතුමා විසින් සාදන ලද හෙළ වචනයකි. අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු වා=වාතයෙන්යන, රිය=රථ, පොළ=තො‍ටුපොළ නිසා වාරියපොළ යනු රාවණ රජතුමාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් වන්නා සේම "තැපතුම් ලිසිදුම්" හි පද නිරුක්තිය අනුව එය හෙළ වචනයක් බව පැහැදිළියි)]]

මා කාන්තාවක් නොවන බැවින් පූසෙක්ට ඉහත කී මන්ත්‍රය යොදා ගනිමින් ඇස් ආළෝක ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත කිරීමට නොහැකියි. කලින් කිව්වාක් මෙන් කන්‍යාවන් නොවන කාන්තාවන් මෙය උත්සාහ කර බලා හරිගියාට පස්සේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.
Read More...

Sunday, August 5, 2012

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවයි

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවූ බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


සම්පූර්ණ ලිපිය පහලින්

Read More...

නුදුරු අදහස්