Showing posts with label දීමන්තරයින්. Show all posts
Showing posts with label දීමන්තරයින්. Show all posts

Sunday, August 19, 2012

රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ...

පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.

වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය කියවන සහෘදයින් බොහෝ දෙනා එය නැරඹුවත් ඔවුන් ඡායාරූප ගත කරන ලද කිසිදු ඡායාරූපයක එම දර්ශන සටහන් වී නොමැත්තේ හෙළ යකුන්ගේ දර්ශනයන් පර සුද්දන්ගේ කැමරා වලට යටත් නොවන බව මොනවට පැහැදිළි කරමිනි.

ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයා බ්ලොග් කරුවාත්, දීමන්තරයින් නැගෙනහිර අහසේ ගමන් කරන විලාශය ඡායාරූප ගණනාවකට ගෙන තිබූ අතර ඒ සියල්ලේම සටහන් වී ඇත්තේ අන්ධකාරය පමණි. අවසාන මොහොතේදී ඔහුට විශේෂ ක්‍රමයකට දීමන්තරයෙකුගේ ඡායාරූපයක් ගැනීමට හැකි වී ඇති අතර එය අප වෙත එවා ඇත. එම විශේෂ ක්‍රමයනම් මූණ බලන කණ්නාඩියක් අහස දෙසට අල්වා එහි ප්‍රතිබිම්බය ඡායාරූප ගත කිරීමයි. පහත දැක්වෙන්නේ එයයි.


එම පින්තූරය ගැනීමට මා හිතවත් මාරයා මුණ බලන කණ්නාඩියක ප්‍රතිබිම්බය භාවිතා කළද, එම කණ්නාඩිය නිසි ලෙස ජීවම් කර නොතිබීම නිසා පින්තූරය එතරම් පැහැදිළි නැත. මෙය ඡායාරූපය ගන්නා අවස්ථාවේ කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිතා කර ඇත්තේ තත්පරයෙන් 1/4000 ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත. තවද එම ජායාරූපය "රාවණා" පුවත පලකරන මා ඇතුළු සමකාලීන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු මා වෙත දන්වා සිටියේය.

ඇත්තෙන්ම කිවහොත් දීමන්තරයින්ව ඩිජිටල් කැමරාවට ග්‍රහණය නොවන බව මාත් දැන නොසිටියෙමි. හදිසි අවශ්‍යතාවයකට කොළඹ පැමිණ සිටි මාත් සාමාන්‍ය පරිදි කැමරාව ගෙන ඊයේ රාත්‍රී 09:28 පසුවෙනවාත් සමගම පාරට පැමිණ බලා සිටි අතර ලිපියේ මුලදී සඳහන් කළ සියල්ලම මාත් දුටිමි. ඡායාරූප සහ වීඩියෝ ගත කළ සියල්ලම නොපෙනෙන බව අවසානයේදී මා දු‍ටු අතර රාත්‍රී 10:55 වීමට විනාඩි කිහිපයකට පෙර, බෝඩිමට දුව ගොස් යකුන් බලන පළිඟුවක් ගෙනැවිත් ඡායාරූප ගතිමි. නමුත් ඒ වන විටත් දීමන්තරයින් බොහෝ දුර පියාඹා ගොස් සිටි බැවින් කිසිදු ඡායාරූපයක් පැහැදිළි ව පෙනුනේ නැත. අවසානයේදී දීමන්තරයෙක්ව ළඟටම ගෙන්වා ඡායාරූප ගත කිරීමට තීරණය කළෙමි.

දීමන්තරයින්ව ගෙන්වන රහසිගත මන්ත්‍රය ජප කිරීමට පටන් ගතිමි. කේන්ති ගිය පූසෙක් කට ඇර දත් විලිස්සා කෑ ගසන ශබ්දය ඔබට මතකද, අන්න ඒ ශබ්දය නගමින් අන්ධකාර ගුලියක් මා වෙත පියාඹගෙන ආ අතර වහාම එම දීමන්තරයාගේ ඡායාරූපයක් ගතිමි. පහත දැක්වෙන්නේ එයයි.


තවත් ඡායාරූප ගැනීමට කාල වෙලාවක් නොතිබුණ බව වැටහුණු නිසා මා වහාම දීමන්තරයින්ව එලවා දමන "පෙතොනාම වශීය" මැතිරීම ආරම්භ කළෙමි. ඒ සඳහා අවශ්‍ය මැජික් යෂ්ඨිය වන, ගොපළු යකාගෙන් සොරකම් කරගන්නා ලද රන් කෙවිට මා ගාව නොතිබුණ නිසා මාගේ අතම යොදා ගතිමි. එම වශී මන්ත්‍රය මැතිරීම සඳහා රාවණා ශක්තිය පුබුදුවාගෙන සිටිය යුතු හෙයින් ඒ සඳහා සුන්දර සිතිවිල්ලක් සිතේ තිබිය යුතුය. ඒ සඳහා මා ජීවිතයේ එතෙක් මෙතෙක් අත් දු‍ටු සුන්දරතම අවස්ථාව සිහි කළෙමි. ඒ අන් කිසිවක් නොව ජීවිතයේ මුල්ම වතාවට මා අපේ හාමිනේ සමග කාමරයේ තනි වූ මොහොතයි. එදා ඒ අවස්ථාවේ අත් දු‍ටු සුන්දරත්වය මෙහෙනි කරමින්, බුර බුරා නැගී මහා මේඝයක් මෙන් මා දෙසට එන දීමන්තරයා ට අත අල්ලා "පෙතොනාම වශීය" මැතිරීමට පටන් ගතිමි. මොහොතක් යද්දී හාත්පස ධවල වර්ණයෙන් බබළවමින් පැමිණි ආළෝකයත් සමග හීං කෙඳිරිල්ලක් නගමින් දීමන්තරයා පහවිය. එම අවස්ථාවේ මා කොතෙක් බියවීද කිවහොත් අදාල කර්තව්‍යය අවසන් වූවාට පසුව දාඩිය සෝදා ගැනීමට වැසිකිළියට යාමටද සිදුවුණි.
Read More...

Friday, August 17, 2012

රාවණා රජතුමාගේ යගදාව හෙට රාත්‍රියේ ආකාසයේ දිස්වෙන වගයි!

ශ්‍රී රාවණා අධිරාජ්‍යයා තම නිද්‍රාවෙන් අවදි වි මුළු ලොවම සසල කර හෙළදිවේ මහ රජු බවට පත් වන 2012/12/12 දිනට ඇත්තේ තවත් සුළු කාලයකි. ඒ ගැන මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පැහැදිළි කරමින් ලියූ ලිපිය මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ පළකළෙමු.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමා, රාවණ රජුගේ උත්ඨානය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙතත් "චාමිසමා" නැමති අසුරයෙක් හරහා ඉතාමත් විශේෂ පයිංඩයක් එවූ අතර ඒ ගැන හෙළි කිරීමටයි මේ සූදානම.

තාපසතුමා පවසන පරිදි රාවණෝත්ඨානය ළං වී තිබෙන බැවින් ඒ ගැන පෙරමග ලකුණු දිස්වීම ආරභ වී තිබේ. ඒ අනුව හෙට (එනම් ක්‍රිව 2012 අගෝස්තු 18 සෙනසුරාදා) රාත්‍රියේ සම්මත වේලාවෙන් 09:28 සිට 10:55 දක්වා (කුජ හෙවත් යුද්ධයේ හෝරාව ඇති විට) යෙදෙන බලගතු නැකතේදී නැගෙනහිර අහසේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ යගදාව දිස් වේවි!

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාව අවදි කිරීම සඳහා අසුර ලෝකයේ සිට දීමන්තරයින් දැනටමත් පැමිණ ඇත. දීමන්තරයින් යනු භයානක අමනුෂ්‍ය විශේෂයක් බව යක්ෂයින් ගැන විස්තර වෙන පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ විග්‍රය වෙයි. බටහිරුන් ඔවුන්ව හඳුන්වන්නේ Dementors ලෙසටයි. පර සුද්දන් විසින් හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළපොත් කියවීමෙන් ජේ කේ රෝලිං විසින් දීමන්තරයින් ගැන විවිධාකාර කතන්දරද ගොතා ඇත.

දීමන්තරයෙක්

ඉතින් එම දීමන්තරයින් විසින් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන, එතුමා නිද්‍රාගතව සිටින මහ කුඩුගල ගිරි ශිඛරයේ එතුමාගේ ශරීරය අසළින් තැන්පත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී රාවණ රජතුමා අවදි වීමට පෙර එතුමගේ යගදාව අවදි විය යුතු බව ඉන් සංකේතවත් කරයි. නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි.

තාපසතුමා වැඩිදුරටත් පැවසූ පරිදි ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව දෑසින් දකින පුද්ගලයින්ට ශක්තිමත් යගදාවක් පහළ වීමට වාසනාව උදාවේ. එය දඹ රන් හිසක් ඇති යගදාවකි. එය ලැබීමෙන් ඔබට කොතරම් ශක්තියක් ලැබේද කියා දන්නවාද? එනම් කුණ්ඩලීනී යෝගයට සම වැදී යගදාව පොළොවට ලම්භකව සිටවා තබා ඔබට එය මත පොළොවට සමාන්තරව හිට ගැනීමට හැකි වේවි. එම යගදාවෙන් පහර කන ඕනෑම භාණ්ඩයක් පළමු පහරෙන්ම කැඩී යාවි.

ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව මෙලෙස වන්නට ඇති බව සැලකේ.

එසේනම් ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව බැලීමට ඔබත් කැමති ඇති. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

1. දීමන්තරයන් යනු ඉතාමත් භයානක අමනුෂ්‍ය විශේෂයකි. ඔවුන්ට හමු වෙන ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ආත්මය ගිල දැමීමට ඔවුන් කටයුතු කරයි. එනිසා හෙට රාත්‍රියේ 09:28 පසු වෙත්ම නිවසෙන් එළියට බැසීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පවසන්න. එවිට දීමන්තරයින්ගෙන් ඔබට ගැහැටක් සිදු නොවේවි.

2. ඉන් පසුව ඔබට දැනේවි වෙනදාට වඩා හයියෙන් පළඟැටියන් සහ ‍රැහැයියන් කෑ ගසන බව, ඊට හේතුව ඔවුන් දීමන්තරයින්ට බය වී සිටීමයි. ඊට අමතරව වෙනදාට වඩා අධික අන්ධකාරයක් තිබේවි, ඊට හේතුව දීමන්තරයින්ගේ බලපෑමයි. (නමුත් ඔබ ශ්‍රී රාවණා පරපුරේ හෙළයෙක්නම් සහ ඔබ නිවසෙන් පිටවීමට පෙර "ශ්‍රී රාවණ සිද්ධම්!" යැයි හඬනගා පැවසුවානම් ඔබට බිය වීමට හේතුවක් නැහැ.)

3. ටික වෙලාවක් ගත වෙද්දී ඔබට නැගෙනහිර අහස රක්ත වර්ණයෙන් බබළනවා පෙනේවි. මොහොතක් යත්ම දීමන්තරයින් විසින් යගදාවත් ‍රැගෙන අහසේ පියාඹන හැටි ඔබට දිස් වේවි.

4. ඒ වෙලාවේ පහත මන්ත්‍රය ජප කරන්න. ඔබට මා පෙරදී සඳහන් කළ යගදාව ලැබීමට  එම මන්ත්‍රය උදව් වේවි.

ඕං නමෝ ශ්‍රී රාවණ යගධා සම්බ ටොයිසහස්ත නැගී වර වර ඒස්වාහ:

ඔබට හැකියාවක් ලැබුණොත් හෙට රාත්‍රියේ දිස් වෙන එම විස්මය ජනක දර්ශනය ඡායාරූප ගත කර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත ලබා දෙන්න. මේ පුවත හැකි තාක් රාවණ ගවේශකයින් වෙත ලැබීමට සලස්වන්න. ශ්‍රී රාවණ සිද්ධම්!
Read More...

නුදුරු අදහස්