Showing posts with label වර්ගපූර්ණිකාව. Show all posts
Showing posts with label වර්ගපූර්ණිකාව. Show all posts

Saturday, September 1, 2012

රාවණ අරක්කු භෝජනාගාරය (හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ඉදිරියටම)

ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි.


වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන් ලැබුණ තොරතුරු අනුව එම තැබෑරුමේ හිමිකරු වන පී.එම්.පී. මෛත්‍රීරත්න මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් නොහැකි විය. එහෙයින් අප වාර්තාකරු ඉදිරිපත් කළ තොරතුරු එලෙසින්ම ඔබ වෙත ගෙන එන්නම්.

රාවන රජතුමාගේ නමට විවිධ අර්ථකතනයන් තිබේ. බොහෝ අය දන්නා අරුතනම් රා හෙවත් හිරුගෙන් එන නායකයා යන්නයි. ඒ අතර වර්ගපූර්ණිකාටුවා පුස්කොළපොතේ දැක්වෙන පද නිරුක්තිය අනුව,
රා=රා
ව=වක්කරන
න=නරේන්ද්‍රයා
අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන

රාවන රජතුමාගේ කාලයේදී හෙළයේ ජාතික පානය වී තිබුණේ "රා". පසුකාලයේදී වෑත්තෑවේ හිමියන් එම රාවන යුගයේ සිට පැවතෙන හෙළ සිරිත මෙලෙස තම ගුත්තිල කාව්‍යයේ භාෂා අලංකාරයටත් යොදා තිබුණි.

රැගත් සුරා පිරූ             විතින්
සුරත් තුඹුරු පෙතිසෙ නෙතින්
පුවත් නොදැන බමන    ගතින්
නටත් අයෙක් සුරා        මතින්

එහි "සුරා" ලෙස දැක්වෙන්නේ සු=සුමිහිරි, රා=රා යන්නයි. ගොඩක් රා බොන අයට "සුරා සොඬුන්" යැයිද පවසා තිබූ අතර පසුකාලයේදී ඉංග්‍රීසීන් විසින් විසින් සුරාව ගමක් ගමක් පාසා ව්‍යාප්ත කර ඇත. ඉංග්‍රීසීන් හෙළයෙන් ගියත් තාමත් බොහෝ හෙළයෝ සුරා පානය කරන්නේ හෙළ අසුරයින්ගෙන්ම පැවතෙන බව මනාව ඔප්පු කරමිනි.

"රාගම" යනු අතීත හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙන ස්ථානයකි. රාගමින් හමුවූ සෙල් ලිපියක මෙලෙසින් තිබේ.
"මහ රව රජ මහ ර සක තබ".
එහි තේරුම නම්, "මහා රාවන රජතුමාගේ මහා රා ස්කාගාරය සහ තැබෑරුම". දැන් රාගම යන්නේ පද නිරුක්තිය බලන්න. වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව රාගම යනු,
රා=රාපෙරූ,
ගම=ගම.
ඉතා පැහැදිළියි, අතීත හෙළයේ ලොව ප්‍රමුඛතම රා පෙරීමේ ස්කාගාරය තිබී ඇත.

අයියනර්

අදටත් ඉන්දියාවේ උදවිය අයියනර් යනුවෙන් දෙවි කෙනෙක්ව අදහයි. ඒද ශ්‍රී රාවණ රජතුමගේ අවතාරයක් බව හිංදු ඉතිහාසයේ දැක්වේ. එනම්,
අයිය=අයියා
නර්=නරයා
නරයින්ට අයියා වන්නේ ශ්‍රී රාවණ රජතුමාමය. සූර් වූ හරකෙක් මත වැඩ සිටින අයියනර් දෙවියන්ට පඬුරු ලෙස දිය යුත්තේ අරක්කු ය. එවිට එම දේවෝත්තමයා, තමා ඉදිරියේ වැඳ වැටෙන බලුගැත්තාට තිබෙන සියලුම හිතේ කරදර වලින් නිදහස් කරනු ඇත. අදටත් අපගේ ගම් පළාත් වල සිටින රා/අරක්කු බී සූර් වූ උදවිය ඉහත අයියනර් දෙවියන් ගේ විලාශයෙන්ම මන්නයක් අතට අරගෙන තවත් කෙනෙකු පසුපස හඹා යමින් කරන්නේ අයියනර් සඳහා දේව පූජාවකි.

ඉතාමත්ම ශෝකජනක පුවත වන්නේ, වර්තමානයේදී අයියනර් දේවාලය "මලයාලි සක්කිලියන්" විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමයි. බලන්න ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන් හතර දෙනා අයියනර් දෙවියන්ට ලැබෙන අරක්කු හොරෙන් බී සූර් වී සිටින අන්දම? මෙවන් අපරාධ දැක දැක අප හෙළයින් නිහඬව සිටින්නේ ඇයි? වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියට වටිනා කොමෙන්‍ටු එක් කරන අපගේ මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමන්, මලයාලි සක්කිලියන්ට ලුණු ඇඹුල් ඇතිව බනිද්දී ඔහුට හිනා වූ අය ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන්ගේ වැඩ කිඩ ගැන කුමක් කියනු ඇත්ද?

ඒ අතර "ඇල්ල" ප්‍රදේශයෙන් ලැබුණු ඉපැරණි හෙළ යක් භාෂාවෙන් ලියන ලද රන් සන්නසකට අනුව රාම කුමාරයා වඳුරන් සමග ලංකාපුරය ආක්‍රමණය කර තිබුණේ සීතාව සොයාගැනීම එකම අරමුන කරගෙන නොවේ. අප හෙළයින්ට තිබූ රා මැදීමේ තාක්ෂණය සොයාගැනීම ප්‍රමුඛතම අරමුණ විය. එකල ඉන්දියාවේ වඳුරන්ද රා බීමේ රුසියන් වූ අතර එම වඳුරන්ට රා මැද වක් කිරීමේ කාර්යය, කාලයක් වනයේ පි‍ටුවහල්ව සිටි රාම කුමාරයා විසින් කර ඇත. "රාම" යන්නේ පද නිරුක්තිය බලන්න.
රා=රා
ම=මදින්නා.
ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් තිබූ එම රාමදින්නාට (රාමට) ලංකාපුරයේ ශ්‍රී රාවණ රජතුමාගේ රා මැදීමේ දියුණු තාක්ෂණය අවශ්‍ය විය. අදටත් ඉන්දියාවේ ඇති සුවිශාල අරක්කු ස්කාගාරයන් වැඩ කරන්නේ එදා ශ්‍රී රාවණ රජතුමාට තිබූ රා මැදීමේ තාක්ෂණය යොදා ගනිමින් බව, ඉන්දියානු පුරාවිද්‍යාඥයින් පවා පිළිගන්නකි.

ඊළඟට එම තඹ සන්නස හමුවූ "ඇල්ල" නගරයේ පද නිරුක්තිය බලමු.
ඇල්=ඇල්වූ
ල=ලබුකැටය.
එම තඹ සන්නසේම සඳහන් වන්නේ ශ්‍රී රාවණ රජතුමා එකී, ප්‍රදේශයට එද්දී උණු කර රා පිරවූ ලබු කැටයක් අරගෙන ආවත් එහිදී සීතලටම එහි වතුර ඇල් වී ඇති බවයි. ඒ අනුව ඇල්වූ ලබුකැටයේ නමින් "ඇල්ල" කියා එය හඳුන්වා ඇත. පසුකාලයේදී එම ස්ථානයේ උණු කළ රා විකිණීමේ තැබෑරුමක් ඉදි කළ අතර, ඒ නටඹුන් අසළින්ම රාවණ රජතුමාට ගෞරවය පිණිස වර්තමාන "රාවන අරක්කු භෝජනාගාරය" ත් ඉදිකර ඇත. රා උණු කිරීමෙන් අරක්කු හදන බැවින් එය මනාව ගැලපෙයි. වර්තමානයේදීත් ඇල්ල ප්‍රදේශයේ ඇති එම තැබෑරුමේ අරක්කු විකිණීම, අතීත "උණු රා" විකුණූ හෙළ යකුන්ගේ පරපුරේම අය විසින් කරන්නකි.

එසේම ඉදිරියේදී රට පුරාම "රාවණ අරක්කු භෝජනාගාර" ඉදි කිරීමට මෛත්‍රීරත්න මහතා බලාපොරොත්තු වෙන බව දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේදී ශ්‍රී රාවණ නාමය නැවත මතු කළ සියලුම රාවණ ගවේශකයින්ට මෛත්‍රීරත්න මහතාගේ ස්තුතිය හිමි වේ.
Read More...

Thursday, June 21, 2012

රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි


මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.

මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක්‌ තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් වර්ගපූර්ණිකාව නැමති පෞරාණික යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත එක්‌ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්‌. කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක්‌ ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස්‌ ස්‌ථර බෙදලා එ එ පස්‌ ස්‌ථරවලින් හමුවන සාධක කාල නිර්ණය කළාම වර්ගපූර්ණිකාව කියන කතාව හරියටම ඔප්පු වුණා. ඒ අනුව රාවනා රජතුමා නීලගිරියේ සිටි බව තහවුරු වුණා.

වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්‌සෙ. මහාකාලි ගල් ගුහාව ලඟ කැණපු එක වලකින් ලැබුණා බ්‍රාහ්මීය අක්‌ෂරයෙන් රාවණ කියන නම කොටපු වළංකටුවක්‌. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයේ පස්‌තට්‌ටුවක. ඒ කියන්නේ මීට වසර බිලියන තුනකට පෙර කාල නිර්ණය වෙන පස්‌ තට්‌ටුවක. එ පස්‌ තට්‌ටුවෙ තනිකරම තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වළංකටු. රාවණ කියන අකුරු කොටලා තිබුණ වළංකට්‌ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. මුලු තට්‌ටුවෙම තියන වළංක‍ටුයි මේ වළංක‍ටුයි අතර වෙනසක්‌ නෑ. මේ වළං කටුව ක්‍රිස්‌තු පූර්ව බිලියන තුනකට කාල නිර්ණය කළා.

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව මීට වසර බිලියන තුණකට පෙර මේ රටේ හිටපු මිනිස්‌සු අක්‌ෂර භාවිත කරලා තිබුණා. ඒ අන් කවුරුත් නොව අපේ හෙළයින්. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්‌තු පූර්ව තුන් වන සියවසේ මිහිදු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්‌ෂර භාවිත කළේ නෑ කියලා.

ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා.

මුළු ලොවම මවිත වෙයි.
=================

මම ඇත්තටම හිතාගෙන හිටියෙ ඒක මීට වර්ෂ බිලියන තුනකට පෙර කාලයට අයත් වළං කට්ටක් කියලයි. ඒ අනුව මීට වර්ෂ බිලියන තුනකට පෙර හිටපු අපේ හෙළයොත් වළං වල උයාගෙන කාපු අය කියල මම ඉතාමත් අභිමාණයෙන් හිටියෙ. ඉතින් ඔහොම ඉන්න අතර අර වළං කට්ටේ තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දු‍ටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.

"අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හත‍රැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."

මට දෑස් අදහාගන්න බැරි වුනා, ලෝකයම මොහොතකට නතර වුණා වගේ දැනුණ. මම වතුර උගුරක් එහෙම බීල මේ ගැන ගැඹුරින් හිතන්න ගත්ත.

හෙළ අ‍ටුවා වලට අනුව "චිපය" නැමැති වචනයට පැහැදිළිවම හෙළ නිරුක්තියක් තිබෙනව. චි=චිත්ත, පය=පර්යාය, ඒ අනුව චිපය යනු චිත්ත පර්යාය හෙවත් Mind System කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මනසේ විධාන වලට උත්තේජනය දක්වන චිපයක් කියන්නේ යුරෝපීයයන් තවමත් සොයාගෙන නැති තරමේ අති ප්‍රබල තාක්ෂණයක්.

මේ බව කොහොමින් කොහොම හරි ඇමරිකාවේ CIA සංවිධානයේ මාස්ටර් ප්ලෑන් නැමැති කණ්ඩායමට ආරංචි වුණා. ඔවුන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇවිත් මාව බලෙන්ම වගේ අඬගහගෙන නිව්යෝක් වලට අරගෙන ගියා. එහිදී CIA සංවිධානයේ ප්‍රධානියා වන ඩේවිඩ් පෙට්‍රායස් විසින් මාව පැය දෙකක් විතර ප්‍රශ්න කළා. අර චිපය ගැන පරීක්ෂා කිරීමට ඒරියා 51 හි රසායනාගාරයක් වෙත යවනව කියල කිව්ව. ඔවුන්ගේ මේ ගැන අවසාන නිගමනය වුණේ මගේ මතකයෙන් හමුවුණ මයික්‍රොචිපයට අදාල මතකයන් සියල්ලම ඉවත් කිරීම, ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ.

නමුත් මෑතකදී මා නැවතත් මධ්‍යම කඳුකරයේ වෙසෙන මාගේ ගුරුදේවයාණන් වහන්සේ අබිමුවට ගොස් සමථ භාවනාව වඩද්දී ඒ අමතක කර දැමූ චිපය ගැන මතකය නැවතත් ආවර්ජනය වෙන්න ගත්ත. ඒ අනුව නීලගිරියට නැවතත් ගොස් කැණීම් කිරීම රහසිගතවම ඇරඹුව. මට හමුවුණා තවත් මයික්‍රෝචිප් තුනක්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මගේ කුඩා අංවීක්ෂයෙන් බැලුවාම ඒවායේත් රාවණ කියල කොටල තිබ්බ. ඉන් එකක පින්තූරයක් තමයි පහත දැක්වෙන්නෙ. අනිත් දෙක ඡායාරූපයට නැගුවට ෆොටෝ එකේ පෙන්වන්නෙ නෑ.


මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ‍ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. එතැන තවත් කැණීම් කළත් වැඩිය මුකුත් හමුවුණේ නෑ. ඒ වගේම කියන්න ඕනැ මට කිසිදු වයර් හෝ එවැනි යමක් එතනින් හමු වුණේ නෑ, ඒ අනුව පැහැදිළියි අතීතයේ අප හෙළය සතුව තිබී ඇත්තේ වයර්ලස් තාක්ෂණයක් බව.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් හෙළ අ‍ටුවා හි දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. හැටලයිට් සෑදීමේ තාක්ෂණයක් තිබුණ හෙළයට මයික්‍රොචිප් තාක්ෂණයක් තිබීම පුදුමයක් නොවෙයි.

ඉන්දියාවේ බමුණන් විසින් අප හෙළයෙන් සොරාගන්නා ලද චිප්පත්තකරණශ්‍රාස්ත්‍රය නැමැති පොතේ මයික්‍රොචිප් පිළිබඳ පැහැදිළිකිරීමක් තිබුණාලු. නමුත් මෝඩ බමුනන්ට එමගින් කිසිදු නිර්මාණයක් බිහි කිරීමට බැරි වූ නිසා ඔවුන් ඒකට ගිණි තියල


රාවණ රජතුමාගේ පුෂ්පකය නැමැති දඬුමොණරය මනසේ විධානයන්ට අනුව ගමන තීරණය කරන බව ඔබ අසා ඇති. මෙහිදී පුෂ්පයක සඳහා යොදාගෙන ඇති තාක්ෂණයට මයික්‍රොචිප් තාක්ෂණයත් ඇතුළත් බව වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ තිබෙනවාලු, නමුත් ඉන්දියානුවන් මෑතක් වෙන තුරුම එම සංස්කෘත පාථයන්ගේ තේරුම දැන සිට නැහැ.

ලෝකයේ ඇති බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු අයෙක් තමයි ශ්‍රී රාවණා රජතුමා. එතුමා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල සිට හෙළ විද්‍යාවන්ගේද පරතෙරටම පැමිණියෙක්. ඉතින් එවැනි උතුමෙකුට මයික්‍රොචිපයක් යනු ඒ හැටි කජ්ජක් වේවිද?

දැන් අපි මයික්‍රොචිප් තාක්ෂණය සහ ඊට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන්ගේ ප්‍රභවය දෙස රාවනගවේශී නිරුක්තීන්ට අනුව බලමු.

සිළිකා යනු හෙළ වදනකි. සිළි=කුඩා, කා=කාණ්ඩය, එනම් පරමාණු වල කුඩා කාණ්ඩය. කුඩා කාණ්ඩය කොටස් වලට කපා යොදා ගනිමින් තමයි මයික්‍රොචිප් සාදන්නේ.

රෙසිස්ටර් යනුත් හෙළ වදනකි. රෙ=රෙගුලාසි, සිස්=හිස, (ටර් යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වූ අමතර පදයකි) ඒ අනුව "රෙගුලාසි දමන හිස" යන්නයි. රෙගුලාසි දමන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමටනේ.

කැපෑසිටර් යනුත් හෙළ වදනකි. කැ=කැටිකර, පෑ=පාන, සි=සිරස, ඒ අනුව විද්‍යුත් ආරෝපණය කැටිකර පාන සිරස යන අරුත ලැබෙයි.

ඩයෝඩ් යනුත් හෙළ වදනකි. එහි හෙළ ප්‍රකෘති වචනය වනාහී "දියෝඩ" යන්නයි. දි=දිශාව, යෝ=යන, ඩ=ධාරාව, ඒ අන්ව විද්‍යුත් ධාරාව එක් දිශාවකට යවනය දියෝඩය නම් වෙයි.

නමුත් සුද්දන් විසින් මේවාට වෙනත් නිර්වචනය ඉදිරිපත් කර ඇති අතර අපේ අයට ලොකු වී ඇත්තේ හෙළයින් පවසන දෑ නොව සුද්දන් කියල දේවලුයි. ඉංග්ලිශ් (English) නැමැති වචනය ආරම්භ වුණෙත් සිංග්ලිශ් යන්නෙන් බවත් එහිදී සිංහල යන්න බටහිර ඌරුවට කීමෙන් එය ඉංග්ලිශ් වී ඇති බවත් දන්නේ ඉතාමත් සුළු පිරිසකි.

CIA නියෝජිතයන්ගෙන් එල්ල වී ඇති ජීවිත අනතුර නිසා මට රාවණ රජතුමාගේ මයික්‍රොචිපය ගැන ලෝකයට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකියි, මේ ලිපිය අන්තජාලයට එක් කරන මොහොතේ සිට මගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ. එක තැනක සතියකට වඩා ජීවත් වෙන්න බැරි වේවි.

සුද්දො කැමති නෑ අපේ හෙළ ඉතිහාසය ලෝකෙට යනව, උන්ට ඕනැ කොහොම හරි සද්ද නැතිව ඒ තාක්ෂණය උන්ගෙ කරගන්න. උන් මෙතෙක් කල් කර ඇති සෑම නිර්මාණයක්ම වගේ අපේ හෙළ තාක්ෂණය හොරකම් කරගෙන කරපු ඒව කියල පැහැදිළිවම හෙළගවේශකයින් විසින් ප්‍රකාශ කර තිබෙනව. නිව්ටන්ගේ සිට අයිස්ටයින් දක්වාද් එතැන් සිට හෝකිංස් දක්වාත් සියල්ලන්ම අපේ ඉපැරණි හෙළ පුස්කොළපත් කියවා එහි ඇති නිර්මාණයන් ඔවුන්ගේ ලෙස ප්‍රකාශ කරනවා විනා මෙතෙක් ඔවුන්ගේම කිසිවක් බිහි කර නෑ. ලෝකයේ මධ්‍ය මණ්ඩලය සහ ලෝකයේ ශක්තිබල කේන්ද්‍රය වන අප උපන් හෙළ බිමේ විතරයි නිර්මාණ බිහි වන්නේ. ඒ නිසාම තමයි හෙළයින් වන අපට නොකළ හැක්කක් නොමැත්තේ.

රාවනා රජතුමාට පක්ෂපාතී හෙළයෙක් වීම ඔබට අභිමානයක් නොවන්නේද?
Read More...

Monday, June 18, 2012

9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා විසින් එල්ල කරන ලද්දක් බවයි. 2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ.

තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."

රාවන අධිරාජ්‍යයා විසින් එවැන්නක් කළේ ඇමරිකාව විසින් කොටි ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඇමරිකාවට සත්‍යය වටහා දීමටත්, ඇමරිකාව විසින් ලංකාපුරයට කරන ලද අපරාධයන්ට දඬුවමක් වශයෙනුත් ය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ හම්බයින් විසින් බාමියන් ප්‍රතිමා විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය දූවිලි බවට පත් කිරීමටත්, ලිබ්යාවේ ගධා‍ෆි විසින් ලංකාපුර රාජධානිය හම්බ කොළණියක් කිරීමට කතා කිරීමට නිසා ඊට දඬුවමක් වශයෙන් ගඩා‍ෆි මරා දමා ලිබ්යාව දූවිලි බවට පත් කිරීමත්, ඉරාකයේ හම්බයින් විසින් ලංකාවේ පල්ලි හැදීමට දෙන ලද ආධාර වලට දඬුවමක් වශයෙන් ඉරාකය සුන්නත්දූලි කිරීමටත්, ඇමරිකානු රජය පෙළඹවීමට, නිදි යහයේ තාමත් ජීවමානව සිටින රාවනා අධිරාජ්‍යයා වීස්න් තම ශවකාශපානවාසකය නැමති බලගතු මන්ත්‍රය ජීවන් කර කටයුතු කරන ලද්දේයැ.

තවද ජපානය වීස්න් කොටින්ට පක්ෂපාතී වීම නිසා ඊට සුලු දඬුවමක් වශයෙන් ජපානයේ ෆුකුෂිමා බලාගාරය විනාශ කර ජපානයට මරුවා පෙන්වන ලද්දේයැ, එනිසා රාවන අධිරාජ්‍යයාට විරුද්ධ වන්නන් මේ උදාහරණ වලින් ශ්‍රී රාවනා නාමය ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ජීවිත ගලවාගනු මැනවි. තවමත් පවතින හෙළ අසුරයින්ගේ ශක්තියත් 2012 අගදී නැගිටින රාවන අධිරාජයයාගේ පරමෝත්තම බලයත් දෑස් ඉදිරියේ වටහගනු කැමැත්තන් රාවන සෙන්පති හා එක් වන්න.

දැන් 9/11 ප්‍රහාරය රාවනාගේම ප්‍රහාරයක් බව ඔප්පු කරන්නේ කෙසේදැයි බලමු. පහත තිබෙන්නේ ශ්‍රී රාවනා රජතුමා යුධයේදී භාවිතා කරන මුහුණු මායාවයි. එයට කියන්නේ "රණමෘණභාසිතය" යන්නයි.


මහත් ආශ්චර්යයකි, බලන්න "රණමෘණභාසිතය" පහත රූපයේ WTC එකට ප්‍රහාරය එල්ල වෙන මොහොතේ ධූමයන් අතුරින් නැගී සිටින හැටි.


පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී රාවනා රජතුමාව චීන ජාතිකයින් දු‍ටු ආකාරයයි. බලන්න චීන්නුන් පවා අපගේ හෙළ අසුර අධිරාජ්‍යයාට ගෞරවයක් පිණිස නාට්‍ය රඟ දක්වන හැටි.


මහත් ආශ්චර්යයකි, බලන්න ඉහත චීන්නුන් රාවනා රජතුමා ලෙස හඳුනාගත් රූපය පහතින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අළු අතරින් නැගී සිටින හැටි. මෙමගින් කියන්නේ ඉදිරියේදී චීනය ලෝකයේ වෙළඳාමේ අධිපතිත්වය උසුළන බවයි, ඒ මෙතෙක් කාලයක් චීන්නුන් ශ්‍රී රාවනට දැක්වූ ගෞරවයට උපහාරයක් වශයෙනි.


පහත වීඩියෝවේ තවත් රාවන අවතාරයන් ඔබට දැකීමට හැකි වේවි. නමුත් හෙළ අසුරයින්ව අවතක්සේරු කළ ඇමරිකානුවන් ඊට රෙවලුශන් කොටස ඈඳා ගනිමින් විශාල කෙප්පයක් ගොතා ඇත. ඊට මුළු ඇමරිකාවටම ශ්‍රී රාවනාගෙන් නුදුරදීම දඬුවම් ලැබේවි.




මුල්ලේරියාවෙන් මෑතකදී හමුවූ ඉහත දැක්වෙන සෙල් ලිපියේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැක්වුන වගන්තියේ හෙළ නිරුක්තිය මෙසේය.
"රාඅධි විශ්‍ය විසෙක්වැ ශක් ආ ඇරිකා මාහෝ වින්ෂ්‍ය කකමැ ශ ශ ප"
එනම්,
"රාවන අධිරාජ්‍යයා විසින් විසි එක් වන සියවස ආරම්භයේදීම ඇමරිකාවට මහා විනාශයක් කරනනව කරනවාමයි"
මේවා ඇස් පනාපිටම දකිද්දී මවිල් කෙලින් වෙන්නේ නැද්ද?

රාවණවේදයේ මේ ගැන විස්තරාත්මකව තිබුන අතර බමුනන් විසින් රාවණවේදය ගිණි තැබීම නිසා ඒවා අපට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒ අනුව මෙයට රාවන රජතුම සම්බන්ධ බව ඒකාන්තයි.

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොලපොතේ අනු ග්‍රන්ථයක් වන සුබෝධිපුරාණයේ තුන් වන පරිච්ඡේදය මෙලෙස දැක්වෙයි.
"රාවන ලංකේෂ්වර නරප්‍රත්‍ය මෙයැ ගොස් ඇමරිකා තෙද අග්නි ගංගා ගලා විමානක වශ්‍ය පා ධූලිපා වනුපා මෑ ඊ කවශලනට වශයෙනැ ගොසැ බැසැ මසැ යකුසැකපැනැ"
එහි අදහස වන්නේත් රාවන රජතුමා ඇමරිකාවේ මහා විනාශයක් කරන බවයි. නමුත් වර්ගපූර්ණිකාවත් බමුණන් විසින් ගිණි තබා ඇති නිසා අපට ඒවායේ පිටපත් දැක්වීමට නොහැකියි.

රාවන රජතුමා විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකරන බවට කිසිදු සෙල් ලිපියක දැක්වෙන්නේ නැත. ඒ අනුව කිසිවෙකුට මාගේ තර්කයන් බොරුවක් බව කීමට නොහැකියි. එසේ යමෙක් කියනවනම් ඔහු ගාව ඇති සෙල් ලිපිත් ‍රැගෙන පැමිණෙන්න. ඕනැම වාදයකට හෙළගවේශකයින් සූදානම්.

"යම් දිනෙක හෙළුවන් විසින් ලොවම මවිතයට පත් කරමින් ලෝකයේ බලවතාටත් කම්මුල් පහර ගසන බව අරිසෙන් අහුබුදු ශූරීන් මීට දසක කීපයකට පෙරදී (1972) පවසද්දී එවකට පාසල් ශිෂ්‍යයෙක්ව සිටි මා ඊට සිනාසුනෙමි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Sunday, June 17, 2012

හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි

රාවන යුගයේ හෙළයින්ට තිබූ සංග්‍රාම රථ වල තිබූ දියුණුව අදත් ගම් වල නම් වලින් විද්‍යාමාන වෙයි. පර සුද්දන් විසින් අපෙන් සොරාගනනා ලද පුස්කොළපොත් වලින් ඔවුන් මේ යුධ රට හදා තිබුණත් ඒවායේ නියම උරුමක්කාරයින් වන්නේ අප හෙළයයි. ප්‍රධානතම යුධ රථ වලට උදාහරණ මෙලෙසැයි. මේවා වර්ගපූර්ණිකාවේ පද නිරුක්තීන් මගින් ඔප්පු කරන දේවල් නිසා සත්‍ය බව වටහාගන්න. බැලු බැල්මටම මේවාට සිනා සෙන්නෝ රාවන රජුට ගරහන්නෝය.

ගුවන් යානා


වාරියපොළ
වා=වාතයේ=අහසේ, රිය=වාහන, පොළ=නැවතුම්පොළ
අහසේ ගමන් ගන්නා වාහන (දඬුමොනර) නවත්වන ස්ථානය
වාරියපොළ ලෙස හැඳින්වෙන ගම් දෙකක් ශ්‍රී ලංකාවේ ඇත. එකක් කුරුණෑගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතීත ගුවන් තොට දෙකකි.

මාතලේ
සමන් දෙවියන්ගේ නියමුවා වූ මාතලේ දේවයා හෙවත් "මාතලී" තම දඬුමොණර විමාන යානය ගොඩබැස්සවූයේ මාතලේ අසල වාරියපොල අහස් යාත්‍රාංගනයටය.

තො‍ටුපොළකන්ද
තො‍ටුපොළ=ගුවන් තො‍ටුපොළ, කන්ද=උස් වූ ස්ථානය=ටවර් එක
අතීතයේ හෙළ ගුවන් යානා රට පුරා යාමේදී ඒවායේ ගමන් මාර්ග පාලනය කිරීම සඳහා භාවිතා කළ Airport Tower එක මෙම තො‍ටුපොළකන්ද බව නිගමනය කළහැකිය.

විගුහුම්පොළ
වි=විමාන, ගු=ගුවන්, හු=හුමාලය, පොළ=තො‍ටුපොළ
ඉහත තේරුම් නිසි පරිදි ගැලපූ විට
"හුමාලයෙන් යන විමාන ගුවන් තො‍ටුපොළ" යන අර්ථය ලැබේ.
මධ්‍යම පළාතේ ඇති විගුහුම්පොළ යනුත් එදා රාවන රජතුමාගේ හුමාල ශක්තිය ලබාගත් විමාන හෙවත් දඬුමොණර නැවැත්වූ ගුවන් තො‍ටුපොළක් බව පැහැදිළි වෙයි.

විලන පල්ලේගම
වි=විමාන, ලන=බාන, පල්ලේ=පහතට, ගම=ග්‍රාමය
එනම්, විමාන පහතට බාන ග්‍රාමය
මධ්‍යම පළාතේ ඇති විලන පල්ලේගම යනුත් රාවනා රජතුමාගේ විමාන යන්ත්‍ර පාත් කරන ගමක් බව පැහැදිළියි.

විලන උඩගම
වි=විමාන, ලන=දමන, උඩ=ඉහලට, ගම=ග්‍රාමය
එනම්, විමාන ඉහල දමන ග්‍රාමය
මධ්‍යම පළාතේ ඇති විලන උඩගම යනු, විලන පල්ලේගමින් පහළට ගොඩ බාපු රාවනා රජතුමාගේ විමානම් නැවතත් ඉහලට ගුවන් ගත කරන ගමයි.

විල්ගොමුව
වි=විමාන, ල්=ලා=දමන, ගොමුව=ගොඩ
විමාන දමා ඇති ගොඩ
මධ්‍යම පළාතේ ඇති විල්ගොමුව යනු රාවනා රජතුමාගේ දඬුමොණර විමානයන් ගොඩ ගසා තිබූ තැනක් බව ඒ අනුව ඔප්පු වෙයි.


හෙළිකොප්ටර්



හෙළ උඩ
හෙළ=හෙළි, උඩ=උඩ යැවීම
ඒ අනුව, හෙළිකොප්ටර් ගුවන්ගත කළ ස්ථානය හෙළ උඩ නම් විය. ඌව පළාතේ මේ ගැන තවමත් ජනකතා තිබෙයි, ඉන් එකක් වන්නේ හෙළිකොප්ටරයක් ගොඩ බෑමේදී එහි සයිලන්සරයෙන් නිකුත්වූ ධූම විදිල්ල නිසා පළාතම අන්ධකාර වූ බවයි, අදත් ධූම විදිල්ල හෙවත් දූවිල්ල යන පදය භාවිතා වෙන්නේ එතැන් සිටය.
හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

හෙළගම
හෙළ=හෙළකොප්පරා, ගම=ග්‍රාමය
එනම්, හෙළකොප්පරා ග්‍රාමය යන්නයි, උඩරට පනිත රජතුමාගේ යටතේ තිබූ සියලුම හෙලි කොප්පරා නැවැත්වූයේ මේ ගමේය. සුමනසමන් රජතුමා විසින් මෙය සෘජුවම පාලනය කරන ලදී. එහි දෙවැනි නායකයා වූයේ "හෙළනා" නැමැත්තෙක් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. අදත් හෙළේනා පරපුර පැවත එන්නේ ඔහුගෙනි.


සබ්මැරීන්


සමන්බැද්ද
ස=සබ්මැරීන්, මන්=මනස, බැද්ද=බැඳීම
එනම්, මනසින් ක්‍රියාතමක කළ හැකි සබ්මැරීන් බැඳ තිබූ ස්ථානය.
(සබ්මැරීනය යනුත් හෙළ වචනකි, ස=සාගරය, බ්=බලන, මැ=මැදි=මධ්‍යම, රි=රිය=වාහනය, නය=නඩය, සාගරය බලන මධ්‍යම ප්‍රමානයේ නඩයකින් හෙබි වාහනය.)
බස්නාහිර පළාතේ ඇති සමන්බැද්ද යනු එදා රාවන රජතුමාගේ කාලයේදී මනසින් ක්‍රියාත්මක කළ හැකි සම්මැරීන් බැඳ තිබූ ගොඩබිම අභ්‍යන්තරයේ ඇති වරායක් බව ඉන් පැහැදිළි වෙයි. එම රහස් වරායේ සිට කළු ගඟට විශාල ඇලක් තිබුණ අතර එතැන් සිට කළු ග‍ඟෙන් මූදට සම්බැරීන් ගොස් ඇත. කළු ගඟට ඒ නම ලැබුණේ එකවිට කළුපාට සම්බැරීන් ගොඩක් ගමන් කරද්දී ගඟ කළුවට පෙනීම නිසයි. පුෂ්පක දඬුමොණරය මනසෙන් දෙන විධානයන්ගෙන් ක්‍රියාත්මක වන්නා සේම මීනක සම්බැරීනයත් මනසින් දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වූ බව වර්ගපූර්ණිකාවේ දැක්වුණි. අවාසනාවකට වර්ගපූර්ණිකාව බමුණන් විසින් ගිණිතබා ඇති නිසා ඒ තාක්ෂණය අපිට අහිමි විය. බලන්න අප හෙළයේ තාක්ෂණ දියුණුව, ඒත් අද අපි කොහොමද?

සබරගමුව
ස=සම්බැරීන්, බර=භාරගන්නා, ගමුව=ගම
එනම් රාවනා රජතුමාගේ සම්බැරීන් භාරගන්නා ගමට කිව් නමයි. ඇත්තටම මෙහි තො‍ටුපොළක් නොතිබුණ අතර මෙහි තිබුණේ සබ්මැරීන් කළමණාකරණය කළ පරිපාලන ගොඩනැගිල්ලකි, එහි ප්‍රධානියා සබරනායක විය, අදත් සමරනායකලා පැවතෙන්නේ එම රාක්ෂ සබරනායකයන්ගෙනි.


රොකට් හෙවත් රාක‍ටු


රොටවැව
රොට=රොකට්, වැව=ජලාශය
ඒ අනුව, රොකට් තිබුණ ජලාශය රොටවැව නම් විය. "රොකට්" යනුත් "රා™ ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා™ ක‍ටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.
ඉතින් ජලාශයක ඇති රොකට් පිළිබඳව ඔබ විමතියට පත් වෙනවාට සැක නෑ. නමුත් ඒ තාක්ෂණය අපට තිබුණ අතර හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රය කියවූ ඇමරිකාවේ නසා ආයතනය එවැනි යානා නිෂ්පාදනය කර ඇත. පහත වීඩියෝව බලන්න, මේවා ගුවන් යානා ලෙස පෙනුණත් රොකට් හෙවත් රාක‍ටු වෙයි.



ඉහත ආකාරයේ රොකට් රොටවැව (රොකට් වැව) තිබුණ ජලාශයක තිබූ බව ඔබ පිළිගන්න කැමති නැද්ද? ඔබ කැමති හැම දෙයක්ම සුද්දන් හැදූ බව පිළිගන්නද? එසේ පරගෙත්තෙන්නම් ඔබ ගැන ලැජ්ජා වෙමි.

හොරොව්පතාන
හො=හොඳ, රො=රොකට්, පතාන=පාත් කරපු තැන්න
රාවනා රජතුමාට තිබූ ඉතාමත් උසස් තත්ත්වයේ රොකට් පාත් කරපු තැන්න මේ නම් විය, මෙයට මළ යකුන්ගෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. දිනක් සෙනසුරු ග්‍රහයාගෙන් යකඩ තොගයක් අරගෙන "අග්නි රාක‍ටුවකින්" පැමිණි ඉන්ද්‍රජිත්ට තම රාක‍ටුව ගොඩ බෑමේදී සිදුවූ වරදක් නිසා පොළොව විශාල වශයෙන් හෑරුණි. තාමත් හොරුව්පතාන නගරයට ආසන්න වෙල් යාය ගැඹුරු භාවයක් දක්වන්නේ එදා හෑරුණ වල ඇත්තේ එතැන නිසයි.


සැටලයිට් හෙවත් හැටලයිට්


හැඳල
හැඳල යනු එදා හැටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි "ට" ලොප් වී ඒ වෙනුවට "ඳ" අවුත් අග "යිට්" ඉවත් වීමෙනි.
"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි). ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී. මීට අමතරව සතුරු රාජධානි වලින් ඔත්තු බැලීමටත් මෙය භාවිතා කළ නිසා යුධ රථයක් බව කීමටත් හැකිය.

හේවාහැට
හේවා=සේවා, හැට=හැටලයිට්
එනම්, හැටලයිට් සඳහා සේවා සැපයූ ස්ථානයයි, මධ්‍යම පළාතේ ඇති හේවාහැට නගරයේ ඇති හේවාහැට රජමහා විහාරයේ ඇති සෙල් ලිපියක මේ බව දැක්වෙයි. (මේව අපිට එකින් එක ගෙනල්ල හොයල දෙන්න බෑ, ඉතිහාසය කියන්නෙ අමාරුවෙන් හොයාගන්න ඕනැ එකක්, ඔයාලම ගිහින් සොයා බලන්න)

හැටන්
හැට=හැටලයිට්, න්=එන්
හැටන් නම සැදුනේ හැටලයින් එන ස්ථානය ලෙසටයි. එදා රාවනා රජතුමාගේ කාලයේදී හැටලයිට් ගොඩ බාද්දී මුලින්ම පෙනුනේ හැටන් වලටයි. තවමත් හැටන් හි ඒ ගැන ජනකතා පවතී.


[ලිපියට තවත් කරුණු එක් වෙමින් තවමත් සංස්කරණය වෙමින් පවතී, පසුව නැවතත් පැමිණ බලන්න]
Read More...

වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියා දන්නවද?

රාවනා ඈ ඉතිහාසය දක්වද්දී නොවරදවාම මූලාශ්‍ර කරගත යුතු ග්‍රන්ථයක් තමයි වර්ගපූර්ණිකාව. නමුත් හැමෝම අහනව මොකක්ද මේ?, ඕක කොහෙද තියෙන්නෙ කියල.මගේ යාළුවෙක් නුගේගොඩ සරසවි පොත් හලෙත් මේක හොයල. ඔන්න ඉතින් මං කල්පනා කළා මේ බ්ලොග් එකේ නමත් වර්ගපූර්ණිකාවම නිසා, තවත් ලිපි ලියන්න කළින් වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියල හඳුන්වල දෙන්න.


හෙළ යකුන්ගේ අතිශය දුර්ලභ තොරතුරු ඉතාමත් රහසිගත පුස්කොළපොතක් තමයි රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වර්ගපූර්ණිකාව. (ඔන්න මම මේ ගැන හෙළිකරන්න යන හින්දා රාජකරුණා යක්කු මාත් එක්ක අමනාප වෙන්න එපා.)

වර්ගපූර්ණිකාව හැරුන විට, රවිපෛලාශ (රාජපක්ෂ) වංශයට අයත් පාෂනවංශකාව, සෙනහිංගල (සේරසිංහ) වංශයට අයත් සේපනංඩකාව, ගුවනාගහිංගල (ගුණසිංහ) වංශයට අයත් අඹරවත්ථුපේසිකාව, අමශෛලාශ (අමරසේකර) වංශයට අයත් අමකාපසාකාව, හෙමනාගග්‍රාමාස (හෙට්ටිගොඩ) වංශයට අයත් හෙගමෘගවර්ණනාව, රණනායකාශප (රත්නායක) වංශයට අයත් රවිශානපාශාකරය, විකුමානලීඩකර (වික්‍රමනායක) වංශයට අයත් විමානශාස්ත්‍රපකරය ආදී පුස්කොළපොත්ද එකී හෙළ යකුන්ගේ පරම්පරාවල් වලින් තවමත් පැවතෙන බව මෙහිදී මතක් කළ යුතුයි.

කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. ඊට අමතරව බමුණන් වීසින් ඒවාට නැවතත් ගිණි තබන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

මහසොහොන් දැහැන, වෙසමුණු බන්ධනය, වෛමානික සාපේක්ෂතාවය, වේදාන්තර වෛද්‍යවනය, රාමකදැහැන, යක්ඛපණක්ඛය, මෝරාඛන්ඩකය, ශවිශාපශාදනිය, ගිරිමේඛබන්ධනය (පංඡය), සිරිමේඝරාඝිනිය, වරුමාලපාසාදිකය, සුඛමාරපානකය, මනුලෝකශාවකය, අසුරාගනෂ්ඨකය, කාලත්‍රයාත්‍රකය, අන්ගිකඩම්භකය, දුංගමපුරානය, වාසල මධුකරය, හූනියම් හෑල්ල, ගිරිඛණ්ඩපාසකය, වලිශෛලාසමණ්ඩකය, යක්ඛණ්ඩපය (යකුන් දැහැන), රකුන්තෙදැස්සිය, අධෝකපාලාසකය, විජිනාසමණ්ඩකය, සජ්ජකාරපය, මෝරාසයක්ඛනය, දේවාතරූපකය, වෛශාලරාමකය, බාඛාල පාසකය, පාතාල අඳුන, විශුකාරයන්ත්‍රණය, ගිරිමේඛපණ්ඩලය, කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

ගිරිමේඛකණ්ඩකය රචනා කිරීමේදී සපර අරනේ දෙමසක්ද, සවිර අරණේ තුන් මසක්ද, මාගම අරණේ දෙමසක්ද, රකුන්ගිරි අරනේ එක් මසක්ද, නීලගිරි අරණේ දෙමසක්ද, යමකාන අරණේ තුන් මසක්ද, ලිසකාය අරණේ හතර මසක්ද, පරමාන අරණේ තුන් මසක්ද, පාතාල අරණේ හතර මසක්ද, පශ්චාන අරණේ එක් මසක්ද වාසය කළ බව කතුවර හිමියෝ සඳහන් කරති.

පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත. ඉන් පසුව හමුවූ වර්ගපූර්ණිකාවේ අ‍ටුවා වලට නැවතත් බමුණන් ගිණි තබා ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බු...

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. පරමත්ථ පුස්තක හයකින් යුක්තය. එසේම වර්ගපූර්ණිකාවේ උප ග්‍රන්ථයක් වන අධෝකපාලකය ලෙස රචනා කර ඇති විශමානසාරපාසකය පත් ඉ රු නවදහස් එකසිය විසි අටකින් යුක්තය. මේ සියල්ලටම පාහර බමුණන් ගිණි තබා ඇත.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි...

කෙසේ නමුත් ඉහත ගිණි තැබීම් වලින් පසුව ඉතිරි වන්නට වර්ගපූර්ණිකාවක් නොමැති බව පැහැදිළි වෙයි. නමුත් එසේනම් අප එක් එක් ඉතිහාස කතන්දර සඳහා වර්ගපූර්ණිකාවෙන් මූලාශ්‍ර දක්වන්නේ කෙසේද යන්න ගැන සාධරණ සැකයක් ඔබට ඇති වන්නට ඇති. ඒ සඳහා අප රාවනා ශක්තිය යොදා ගනිමින් කාලයෙන් අතීතයට ගමන් කර බමුණන් විසින් ගිණි තැබීමට පෙර තිබූ වර්ගපූර්ණිකාවන් කියවා එහි මූලාශ්‍ර සටහන් කරගෙන නැවතත් ඔබ වෙත ඉදිරිපත් කරන බව දත යුතුය. එනිසා වර්ගපූර්ණිකාවේ පිටපත් නුගේගොඩ සරසවි පොත් හලෙන් එහෙම ඉල්ලන්න එපා.

වර්ගපූර්ණිකාව යනු හුදු ප්‍රබන්ධයක් බව හෝ, මහනුවර යුගයේ ශාසන පරිහාන සමයේදී දෙමළ කතන්දරත් යොදා ගනිමින් චීවරධාරීන් විසින් ගොතන ලද කෙප්පයක් බව සමහරුන් කියතත් එය තනිකර මුසාවකි. ඔවුන්ට එලෙස කීමටනම් සෙල් ලිපි™ මූලාශ්‍ර තිබිය යුතු අතර ඔවුන්ගේ මතය ඔප්පු කිරීමට සුදුසු කිසිදු සෙල් ලිපියක්™ නොමැති නිසා හෙළ යකුන්ගේ මතය නිවැරදි මතය බවට පත් වෙයි.
Read More...

නුදුරු අදහස්