පුද්ගලික කැම්පස් (කැම්=කෑම්, පස්=පස් ; එනිසා "කැම්පස්" යනු හෙළ වචනයකි) ආරම්භ කරන්නට සහ මද්‍යසාර තහනම් කරන්නට හැදූ උග්‍ර රාවණා විරෝධී ද්‍රව්‍යවාදියෙක් වන කාලෝ ෆොන්සේකා මහතා, තම රාවණද්‍රෝහී පිළිවෙත නිසාම තමාගේ අභිප්‍රායන් සුන් වී නස්තාර වී පත බෑවී සිටියා ඔබට මතක ඇති. නමුත් ඒවා අමතක වී මෑතකදී නැවතත් ඝර්ජනා කරන්නට පටන් ගත්තත් ඉන් පිටවූයේ "හීහූ...හීහූ...හීහූ" නාදයක් පමණි.
සුප්‍රකට රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන
ගොසිප් 9 වාර්තා කරන පරිදි කාලෝ ෆොන්සේකා මහතා තම හේතුවාදී සංගමයෙන් මෙවර අභියෝග 12 ක් ඉදිරිපත් කර ඇති අතර ඒවායින් එකක් හෝ විනිශ්ච මණ්ඩලය ඉදිරියේදී ඔප්පු කිරීමට සමත් වෙතොත් මුදලින් රුපියල් 1000000 ක් දීමටද එකඟ වී තිබේ.
නමුත් කාලෝ ෆොන්සේකා මහතා නොදන්නේ
එම අභියෝග සියල්ලම මේ වන විටත් ප්‍රබල රාවණපාක්ෂිකයෙක් වන මහින්ද රාජපක්ෂ (රා=රාවණ, ජ=ජනනායකට, පක්ෂ=පක්ෂ)
මහතා තම රාවණ ශක්තිය යොදා ගනිමින් මුළු රටම ඉදිරියේදී ඔප්පු කර ඇති බවයි. ඊට හේතු වූයේ අනාගතයේ සිට කුණ්ඩලීනී ශක්තිය හරහා පැමිණි සෘධිමත් තාපස තුමෙක්, රාවණ රජතුමාගේ අවදිවීම ආසන්නයේදී කාලෝ ෆොන්සේකා මහතා කරන අභියෝග මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වාදී තිබීමයි.
වැඩිදුරටත් එම තාපස තුමා පැවසූ පරිදි
යම් හෙයකින් කිසියම් රාවණශක්තිලාභියෙක් කාලෝ ෆොන්සේකා නම් කරන ඊනියා විනිශ්ච මණ්ඩලය ඉදිරියේදී ඒවා ඉටු කළහොත් ඔවුන් උපක්‍රම යොදා අහියෝගය බාර ගත් කෙනා කරන්නේ බොරුවක් බව පෙන්වා ශ්‍රී රාවණ රජතුමාගේ බලය ජනතාව ඉදිරියේදී ප්‍රතික්ෂේප කරවීමට කුමන්ත්‍රණය කර තිබේ. රාවණ රජතුමාගේ නැගිටීම සිදුවන අවධියකදීම එවැන්නක් සිදුකර ජනතාවගේ රාවණ විශ්වාසය අහිමිකිරීමෙන් රාවණ රජතුමාව සදහටම
මහ කුඩුගල ගිරි ශිඛරයේ සිර කිරීමට කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ රාවණවිරෝධී නඩය සැලසුම් යොදා ඇත.
 |
| පුලස්ථි පරම්පරාවේ අවසාන පුරුකක් වන හෙළ යක්ෂ පුලස්ථි ප්‍රදීප් පෙරේරා මහතාට අනුව මහින්ද රාජපක්ෂ යනු රාවණා පරපුරේ කෙනෙකි. නමුත් මාගේ මතයනම් මහින්ද නොව, හෙළය එක්සේසත් කළ සේනාධිපති සරත් ෆොන්සේකා රණවිරුවා රාවණා පරපුරේ අයෙක් බවයි. ඒ බව ඔප්පු කිරීමට මා ගාව සාක්ෂි ඇති අතර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. |
මහින්ද රාජපක්ෂයන් විසින් ජනතාව ඉදිරියේදී මේ වන විටත් ඔප්පු කර පෙන්වා දෙන ලද කාලෝ ෆොන්සේකාගේ අභියෝග ගැන රාවණ ගවේශකයෙක් වන
ජේමිස් බණ්ඩා මහතා කෙටියෙන් පැහැදිළි කර තිබුණි. ෆොන්සේකාගේ අභියෝග සහ බණ්ඩාගේ පිළිතුරු (මාගේ අටුවාත් සමග) වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මෙලෙස දැක්වෙයි.
1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම.
යටිපතුල් නොපිළිස්සී සිටීම කතරගම නිතරම සිදුකරන බැවින් මෙය හෙළයින්ට අළුත් දෙයක් නොවෙයි. එනිසා "දැවෙන ගින්දර මත බඩ නොපිළිස්සී සිටීම" කිරීමටත් එය එක් අයෙකුට නොව සමස්ත ජනතාවටම හැකි බව පෙන්වීමට මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව සිටිමින් ලංකා සී නිවුස් වෙත අනාගතය ගැන හෙළි කරන තාපසතුමන්ලාගේ උපදෙස් පරිදි කටයුතු යෙදිණි. ඒ අනුව බොහෝ දෙනා ස්වෙච්ඡාවෙන්ම රුපියල් 2500 වැනි මුදලකින් මුදලක් මාස් පඩිය ලෙස භාවිතා කර බඩේ ගින්න තිබියදී දැන් මාස 3 කට වඩා ජීවත්ව සිට පෙන්වා දී ඇත. ඒ අනුව ගින්දර මත තත්ත්පර 30ක් සිටගැනීම යනු කජ්ජක්නේ.
2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
පසුගිය කාලය තුළදී සියලුම මුදල් අවප්‍රමාණය කළේ මේ සඳහායි. එනම් මීට අඩ සියවසකට පෙර තිබූ රුපියල් සීයේ නෝට්‍ටුවකට සාපේක්ෂව මෙ වන විට රුපියල් සීයේ නෝට්‍ටුවක මූර්ත අගය සත පනහක් දක්වා පහත දමා ඇත. සත පනහේ කාසියකට අංකයක් නොමැති බවින් "0" ලෙස කෙළින්ම දැක්වීමට පුළුවන්. කාලෝ ෆොන්සේකාට අංකය හරියට කිව්වත් තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කර අංකය වෙනස් කිරීමට සැලසුම් කළ නිසා මෙවැන්නක් භාවිතා කිරීමට සිදුවිය.
3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම
මුදල් මැවීම මහ බැංකුවෙන් සහ වාණිජ බැංකු වලින් සිදු කරයි. එය "
Money Creation" ලෙස හඳුන්වයි. එනිසා එහි දැන් කිසිදු ආශ්චර්යයක් නොමැත. අවශ්‍ය වුවහොත් එක දුරකථන ඇමතුමකින් අවශ්‍ය තරම් මුදල් මවා පෙන්වීමට ජනාධිපතිට බලතල තිබේ. ඊට අමතරව පහුගිය කාලයේදී කබ්‍රාල් මහතා සමග එක්ව ඩොලර් නෝට්‍ටුත් ඇති තරම් මවා පෙන්වා කාලෝගේ අභියෝග වලට පිළිතුරු දී ඇත.
4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.
පෙට්‍රල් වලට රවණාජලඛ් මන්ත්‍රයෙන් මැතිරීමෙන් පහුගිය කාලයේදී හොඳින් ගමන් කරන වාහන පවා සදහටම නවතා දමා තිබේ.
5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.
පසුගිය කාලයේදී කෞතුකාගාරයේ තිබූ රාවණ රජතුමාගේ කඩු ටික, රාවණ පුනරාගමනය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා
අතුරුදහන් කළේ ගුප්ත බලයක් යොදා ගනිමිනි. එම කඩු අතුරුදහන් කිරීමට රාවනමෝහණ මන්ත්‍රය භාවිතා කළ අතර සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක
ටයිගර් වුඩ්ස් ම ඒ සඳහා පිල්ලියක් ලෙස යොදා ගැනීමෙන් ලොවම මවිත විය. (ටයිගර් වුඩ්ස්ව යොදා ගත්තේ කඩුව අතුරුදන් කළ පසු එය නිවැරදි ස්ථානයටම වීසි කිරීමට වුවමනා වූ බැවිනි.)
6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.
පොලීසිය මගින් මෙය සාර්ථකව ඔප්පු කර ඇත. විශේෂ මෙහෙයුම් මගින් අල්ලා ගන්නා ලද ගංජා, හොර රත්‍රං, කොටින්ගෙන් ලැබුණ සල්ලි ආදිය උසාවිය වෙත ගෙන යන විට බර අඩු කර ඇත. මෙය උසාවිය ඉදිරියේදීම ඔප්පු කිරීම නිසා දැන් කිසිවෙකුට බොරු යැයි කීමට නොහැකියි.
7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)
මෑතකදී නිධාන ගණනාවක් ගොඩ දැමා මෙය ඔප්පු කර පෙන්වීය. එම නිධාන වල ලෝහ (රත්‍රං) තිබුණත් ඒවා තරගකරුම වළලා දැමූ ඒවා නොවන බැවින් ගැටළුවක් නොමැත.
8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.
මෑතකදී පෙට්‍රල් වතුර බවට පත් කර ඇත. ඒ සඳහා යොදා ගත්තේ රාවණාජලඛ් මන්ත්‍රය පෙට්‍රල් ගබඩාව ඉදිරියේදී ලක්ෂ වාරයක් ජප කිරීමයි.
9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම.
පසුගිය කාලයේදී ගුප්ත බලය යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකට අත් හිටුවා ඇත. ඒ සඳහා යොදා ගත්තේ SLT හි සර්වර් වලට මළපෙරේත ගොටු යොදාගනිමින් හූනියම් කිරීමයි. නමුත් එය නොසෑහෙයි යැයි සිතූ නිසාත්, එය ලේසියෙන්ම ජනතාවට අමතක වේයැයිසිතූ නිසාත් කිහිප වරක්ම නිතර නිතර හූනියම් යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකටත් වඩා අත් හිටුවීමට අමතක කළේ නැත.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම
(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව
ඉපැරණි රාක්ෂ අංජනම් එළියකට රාවණ රජතුමාව වඩම්මවා මෙය සිදුකරන ලදී. එමගින් ප්‍රදීප් එක්නැලිගොඩ ඉන්න තැන කිව්වේ නැද්ද අධිකරණයට. කේපී ව ඇල්ලුවා පට ගාලා. උපාලි විජේවර්ධන ඉන්න තැනත් කියලා තියෙන්නේ ටක්කෙටම. හොයා ගන්න බැරුව ගියේ රාමාව අදහන ධනුන තිලකරත්නව විතරයි, නමුත් 2012 අගදී සිදුවන රාවණ පුනරාගමනයත් සමගම ඔහුව අතටම හසු වේවි.
11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත්
කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් අසාධ්‍ය රෝගීන් බොහෝ පිරිසක්ව සුව කර පෙන්වා දෙන ලදී. එළියන්ත වයිට් යනුත් හෙළ නමක් බව ඔබ ඩහෙන සිටියාද?
එ = එම
ළි = ළිය
යන් = යන්ගේ
ත = තන
වයිට් = සුදුයි (වයිට් යනු හෙළ පදයක් බව සලකන්න)
"එම ළියන්ගේ තන සුදුයි" ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ ආදිකාලීනයෙක් ඉපදුන පසුව කිරි අම්මලාගේ තන ගැන වර්ණනා කළ බැවිනි.
12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
ඇවිදගැනීමටනවත් නොහැකිව ආබාධිත වී සිටි උග්‍ර රාවණාපාක්ෂික ලසිත් මාලිංගව මෙන්ම උග්‍ර රාමාපාක්ෂික සචින් ටෙන්ඩුල්කාර්වද, පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් සම්පූර්ණයෙන්ම සුව කර පෙන්වා දෙන ලදී.
නැවතත් කිව යුත්තේ ඉහත කරුණු 12 ම කාලෝ ෆොන්සේකා මහතාගේ ඊනියා විනිශ්චය මණ්ඩලය වෙනුවට ජනතාධිකරණය හෙවත් මහජනතාව ඉදිරියේදී ඔප්පු කර පෙන්වා දී ඇති බවයි. ඒ අනුව ඉහත පිළිතුරු කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි අතර අලුතෙන් ඔප්පු කර පෙන්වා දීමට දෙයකුත් නැත.
එම කරුණු දැක්වීම අනුව ඒ සියල්ලටම මුල් වූ හෝ නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාට කිසියම් ගුප්ත බලයක් තිබෙන බව දැන් ඔබට පැහැදිළි විය යුතුය. එසේම කාලෝ ෆොන්සේකා මහතාට සදාචාරයක් කියා දෙයක් ඇත්නම් තමා පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 10 ක මුදලක් ජනාධිපති අරමුදලට බැර කළ යුතුය.
වර්ගපූර්ණිකාව බ්ලොගයේ
ඊළඟ ලිපියෙන් කාලෝ ෆොන්සේකා මහතාට දින දහයක් තුළ ඔප්පු කිරීමට හෝ පරාජය භාර ගැනීම සඳහා රාවණපාක්ෂිකයින් වෙනුවෙන් මම අභියෝග දොළහක් ඉදිරිපත් කරමි.