Thursday, June 28, 2012

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.


ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්‍ටුවේ බිමෙන් රුධිරය මතු වෙන බව එහි ගබඩා භාර නිලධාරියෙක් වූ කෝප්‍රල් ජේම්ස් කොට්ලර්ට දකින්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ කෝප්‍රල් ජේම්ස්, තම ගබඩා භාර නිලධාරියා වූ ලෙෆ්ටිනන්ට් ටොම් හුක්ට ඒ ගැන දැන්වීමෙන් අනතුරුව එය එකල එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් (Secretary of Defense) වූ විලියම් සෙබස්තියන් කොහෙන් ට වාර්තා කෙරුණා. අදාල සිද්ධිය රහසක් ලෙස පවත්වාගන්නා ලෙස එම නිලධාරීන්ට තරයේ අවවාද කළ ඔහු පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් (Pentagon Renovation Program) ආරම්භ කළ අතර තම ධූර කාලය තුළදී එය අවසාන කිරීමට තීරණය කළා.

අමුත්තෙක්
========

මීට අවුරුදු 14 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පිටිසර බද පළාතක සිටි මේසන් බාස් උන්නැහේ කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වූයේ එහි සිටි තම ඥාතීන්ව මුණ ගැසීමටයි. දැන් අඩ සිය වසක් පමණ ආයු වළඳා සිටින ඔහු, නමින් "සිරිසේන බාස් උන්නැහේ". එහි ගොස් මාස කීපයකින් සිරිසේන බාස් උන්නැහේ චතුරව ඉංග්‍රීසි කතා කරන්නට පටන් ගත්තා. ටික කලෙකින් තම ඥාතීන්ගේ සම්බන්ධතාවයන් හරහා ඔහුව පෙන්ටගනයේ සහකාර ප්‍රතිසංස්කරණ නිලධාරියෙක් වූ මිල්ටන් ගායි ට හඳුන්වා දෙනු ලැබුණා.

එක්සත් ජනපදයේ අධි ආරක්ෂිත කලාපයන්හි ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගන්නා බාහිර සේවකයින් ඉතාමත් විශ්වාසවන්ත අය විය යුතු අතර ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව පෙන්ටගනයට සම්බන්ධ සේවකයින්ගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දැමෙනවා.

උපතින්ම අහිංසකයෙක් වූ සිරිසේන බාස් උන්නැහේගේ මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළ CIA ඒජන්තයින් ඔහුව සැක හැර එයට බඳවා ගැනීමට රෙකමදාරු කරන ලද්දේ, අවසානයේදී ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාල මතකය සම්පූර්ණයෙන්ම මකා දැමීමේ එකඟතා පත්‍රයකටද අත්සන් ගනිමින්. මසකට $12500 පමණ වැ‍ටුපක් ලැබෙද්දී අවුරුදු කීපයකට පෙර මතකය කැප කිරීමට අපගේ හෙළයින් බිය වෙයිද?

1998 නත්තල් සමය ළං වෙද්දී පෙන්ටගන් ප්‍රතිසංකරණ වැඩසටහනේ නිලධාරීන්ගේ උනන්දුව ටික ටික හීන වෙමින් තිබුණ අතර ඔවුන් නත්තල වෙත වැඩි අවධානයක් යොමු කරමින් තිබුණා. එහෙයින් එහි වාර්තා කර තිබුණේ ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක්. අපගේ ප්‍රධාන කතා නායකයා කරළියට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. මෙතැන් සිට සිරිසේන බාස් උන්නැහේගේම වචන වලින් ඔහුගේ විස්තරය ඔබ වෙත තියන්නම්.

භයානක සිදුවීම
===========

"මම ජර්මන් ටෙක් එකෙන් පෙදරේරු වැඩ ගන ඩිප්ලෝමා පාථමාලාවක් හදාරලා තිබුන නිසා, මිල්ටන් මහත්තයා මාව පෙන්ටගනයේ බිම් මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අනුයුක්ත කළා. නත්තල් වෙද්දී සේවකයින් අඩු හින්ද එතන අන්තිමට වැඩවලට ඉතිරි වුණේ ආගමේ නොවෙන අපි කීප දෙනෙක් විතරයි."

"දවසක් මිල්ටන් මහත්තයයි, තවත් කළු කණ්නාඩි දාගත්ත ෆුල් සුට් ඇඳපු හැඩිඩැදි කළු ජාතික මහත්තුරු කීප දෙනෙකුයි එකෙතු වෙලා, මාවයි තවත් දෙන්නෙකුයි පෙන්ටගන් එකේ යටම තට්‍ටුවට ලිෆ්ට් එකෙන් අරගෙන ගියා. අපිව ගෙනිච්චේ යටම තට්‍ටුවේ තියෙන ප්‍රතිසංස්කරන කටයුතු වලට කියල. වැඩේ කරන්න තියෙන කාමරයට ළං වෙනකොට කට්ටියගේ කතාවෙන් මට තේරුණා බොහොම අන්තරාදායක දේකට අප මූණ දෙමින් පවතිනව කියල. අදාල කාමරේ දොර ගාවට ගියාම මට පොඩි මුත්‍රා බරක් හැදුණ නිසා මං කක්කුස්සියට ගියා. ගොහින් එද්දී එකපාරටම මර ල‍තෝනියක් ඇහුණ... අර මාත් එක්ක ඉඳලා කාමරේට ගිය අනිත් සේවකයො දෙන්න තමන්ගෙ අත් වලින් ඇස් දෙක අල්ලගෙන කෑ ගහගෙන දුවගෙන එනව. ළං වෙලා බැලින්නම් එයාලගෙ ඇස් වලින් මෙන්න මේ වගේ ලේ බේරිමින් තිබුණ.


ඒත් මිල්ටන් මහත්තයයි අනිත් මහත්තුරුයි ආරක්ශිත කළු කණ්නාඩි දාගෙන හැම විටම ඉන්න හින්දා එයාලගෙ ඇස් වලට මුකුත් වෙලා නෑ. තුවාලකාරයො දෙන්නව වහාම ප්‍රතිකාර දෙන්න ඉහල මාලයකට යවලා, මට ආරක්ෂිත කළු කණ්නාඩි පළන්දවල වැඩේට යැව්ව. දැන් ආයිත් බෑ කියන්නැත් බැරි නිසා ඕනැ දෙයක් වෙච්චාවෙ කියල ගියා. කාමරය පුරාම ලේ පැල්ලම්. කාවවත් මරල දාල හින්ද නෙමෙයි, ඒ ලේ සිමෙන්තිය යටින් උනනව කියල මට තේරුණා. මම ටිකක් ළං වෙලා බලද්දී පොළොව යටින් මී මැසි වදයකින් එන සද්දය වගේ ගුම් ගුම් ගාන සද්දයක් ඇහුණා.


කැණීම
=====

මං අදාල කාමරය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරල ඉවර වෙලා ඒ ගැන මිල්ටන් සර්ට කිව්වට පස්සේ තවත් CIA නිලධාරීන් කීප දෙනෙක්ව කැඳවලා ඔවුන් ලව්වා පොළොව විදින ඩ්‍රිල් එකක් සහ තවත් උපාංග ගොඩක් ගෙනල්ල දැම්ම. මට බොඩි ආමර් එකක් සහ හෙල්මට් එකකුත් පැළැන්දුව. ඊට පස්සෙ ඒ නිලධාරීන් තම අධි තාක්ෂණික රයිෆල් කාමරයට දිහාට එල්ල කරගෙන ලෑස්ති පිට හිටිය. මට මේක හීනයක් වගැ, මොනව වෙනවද කියල හිතාගන්න බැරිව හීනෙන් වගේ ඩ්‍රිල් එකත් අරගෙන පොළොව විදින පටන් ගත්ත.

පොළොව කඩාගන කඩාගෙන යනකොට මට තේරුනා ඩ්‍රිල් එක මොකක් හරි හයිය දේක වදිනව කියල. "බිග් ස්කෝප්" එකෙන් (ඒ රට උදලු නෑ) සිමෙන්ති ටික අයින් කරගෙන කරගෙන ගියාම මතු වුනේ මුනින් අතට නවාපු ඔරුවක් වගේ දෙයක්, ඒක පිත්තල පාටයි. ඒකෙන් තමයි අර රතු පාට ලේ වගේ දියරය ගලල තියෙන්නෙ. මට හිතුණ මේක ඒලියන් ශිප් එකක් කියල. කොහොමින් කොහොම හරි සිමෙන්ති ඔක්කොම අයින් කළාම මං හිතපු දේ සැබෑවක් වුණා. බැලින්නම් ඒක ක්‍රියාකාරී මට්ටමේ තියෙන එකක්.

CIA ඒජන්ට්ලාගේ රයිෆල්වල ලොක් අරින සද්දය එක පාට්ටක ඇහුණ. මුන් මාව දැන් මරනවත් හදනවද...නෑ ඔවුන් අවි අමෝරාගෙන ඉන්නේ අර යානය දිහාවට. එක්කෙනෙක් කිව්ව Open Up කියල. මම ඒ විධානයෙන් අර යාත්‍රාවෙ පියන අලවංගුවක් දාල ඇදල ඇරිය. ඒක ඇතුළෙ යකෙක්!!!


යකෙක්!!!
========

ඔව් ඇත්ටම ඒ යානයේ නියමු කුටියේ ඉන්නෙ යකෙක්.!!! දෙයි හාමුදුරුවනේ..., මගේ ලේ වතුර වෙලා කකුල් දෙක සට සට ගාල ගැහෙන්න ගත්ත. හැබැයි ඒ යකා වටේට වීදුරු ආවරණයක් තියෙනව. ඒක හරියට වීදුරු බිත්තරයක් වගැ. මං ළං වෙලා බලද්දී පෙනුන ඒ යකෙක් නෙමෙයි යක් වෙස් මූණක් දාගත්ත මනුස්සයෙක් කියල. ඒ යක් වෙස් මූණ හරියටම මේ වගේ.


යානයට තවත් එබිකම් කරල බලද්දී මට පෙනුන ඒක ඇතුළෙ නියමු කුටියට ඉස්සරහින් ස්වස්තික ලකුණක් තියෙනව කියල, ඒත් එක්කම වෘත්තාකාර තලයක් තියෙනව ඒක පුරාම රවුම් රවුම් තියෙනව. යානය ඇතුළෙ බිම රසදිය ගලල ගිහිල්ල.

ටික වෙලාවකින් මුළු ඇඟම සුදු පාට ඇඳුමකින් වහගත්ත නිලධාරීන් ඇවිල්ල යානය පරීක්ෂා කරන්න ගත්ත. ඊට පස්සෙ ශරීරයේ බෝම්බ බැඳගෙනද කියල චෙක් කරන වාගේ උපකරණයක් මගේ ඇඟ පුරාම ගෙනිච්ච, ඒ මගේ ඇඟේ විකිරණ තියෙනවද කියල බලන්නලු. ඊට පස්සෙ මිල්ටන් මහත්තයා මාව කැඳවගෙන පෙන්ටගන් එකේ උඩ තට්‍ටුවට ගෙනිච්ච.


රතු පලස
=======

මම ලිෆ්ට් එකෙන් පෙන්ටගන් එකේ ප්‍රධාන කාමරයට පිවිසෙද්දී පෙන්ටගන් නිලධාරීන් ලොකු පිරිසක් වටේ බලාගෙන ඉන්නව. මට අඩියක් විතර ඉස්සරහින් තියෙනව රතු පාට කාපට් එකක් දාල, අර ලංකාවෙ එයාපෝට් එකේ VIP එකේ තියෙනව වගේ. මම ඒක පාගන්නෙ නැතිව කාමරෙන් එලියට යන්න හදද්දිම ලස්සන සුදු නෝන කෙනෙක් ඇවිල්ල , එවෙල වැඩේ මහන්සියටම දාඩින පෙරාගෙන ඉන්න මගේ කරට මල් මාලයක් දැම්ම. ඊට පස්සෙ ඇය This way Sir කියල මාව අර රතු පලස ගාවට ගෙනිහිල්ලා ඒක උඩින් ඉස්සරහට යන්න කිව්ව. මටත් දැන් හොල්මං වගේ, පෙන්ටගන් එකේ කට්ටිය හෝ ගාල අප්පුඩි ගහනව, මාත් ඔහේ ඒක උඩින් ඉදිරියටම ගියා. ඒත් එක්කම තේරුනා මෙයාල මට මෙච්චර ගරු සරු දක්වන්නේ අර යානය ගොඩ ගත්ත එකට වෙන්න ඇති කියල. රතු පලසේ අන්තිම හරියෙදි කළු කෝට් එකක් ඇඳගත්ත උස මහත්තයෙක් ඉන්නව. පහුවෙනිදයි මං දැනගත්ත ඒ වෙන කවුරුත් නොවෙයි ඇමරිකාවේ ආරක්ෂක ලේකම් විලියම් කොහෙන් කියල.


සැලියුට් ගසයි
==========


එතුම ගාවට ගිහින් මම නැවතුනා. මං දිහා බලාගෙන ඉන්න එතුමාගේ ඇස් දිළිසෙනව වගේ පෙණුන. එක පාට්ටම එතුමා තම සුරත හිස ගාවට ගෙනිහිල්ල සැලියුට් එකක් ගැහුව. ඒත් එක්කම වට හිටපු බොහෝ පෙන්ටගන් නිලධාරීන්ද මට සැලියුට් ගහනව දැක්ක. හෙළයෙන් ඉදිරියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයා සැලියුට් ගහපු ඒ සිද්ධිය හෙළ ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් වේවි.

කොහෙන් මහත්තයා මාව එයාගේ පුද්ගලික කාමරයට කැඳවගෙන ගිහින් ගොඩක් දේවල් මාත් එක්ක කතා කළා. එහිදී මං දැනගත්ත දේවල් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ...

පෙන්ටගනයේ යටම මහලේ බිමින් ලේ ගලාපු අවස්ථාවෙදී ඒ ගැන පරීක්ෂණ පවත්වන්න FBI එකේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් වන X Files යොදවල තියෙනව. (X Files ගැන චිත්‍රපට පවා ගියත් එවැන්නක් ඇත්තටම තියෙනව). ඔවුන් ස්කෑන් කළාම ඒලියන් ශිප් එකක් බිම තියෙනව කියල හඳුනගෙන. අධෝරක්ත කිරණ තව දුරටත් එල්ල කරද්දී පෙනිල තියෙන්නේ ඒ යානය ඇතුළේ බියකරු සතෙක් ඉන්නව කියලයි. නමුත් ඒ යානය එලියට ගන්න කිසිම කෙනෙක් කැමති වෙලා නෑ. බොරුවට චිත්‍රපට වල ඇමරිකන් කාරයො පිටසක්වලයොත් එක්කත් යුද්ද කළත් ඇත්තටම උන් මාර බිය ගුල්ලො, දැක්කෙ නැද්ද 9/11 ප්‍රහාරය වෙලාවේ උන් හිස් ලූ ලූ අත දුවපු හැටි. තාක්ෂණයෙන් දියුණු වුණත් ඇමරිකන් කාරයින්ගේ මොරාල් එකනම් අන්තිමයි.

යානය තවදුරටත් ස්කෑන් කරද්දී ඔවුන්ට වැටහිල තියෙනව ඒක හෙළයින්ගේ ඉපැරණි රාවනා සමයට අයත් එකක් කියල. ඒ කියන්නෙ විමානයක්. ඉතින් මාත් හෙළයින්ගෙන් පැවත එන්නෙක් නිසා හෙළයින්ගේ ජාන මටත් තියෙන හින්දා මා ලව්වම ඒක විවෘත කරවන්න ඔවුන් තීරණය කරල. නමුත් මා ඊට අකමැති වේවි කියලයි කලින් කියල නැත්තෙ.

පරීක්ෂණ වලින් තේරුනාලු ඒක හදල තියෙන්නේ සමාන ජාන සැකැස්මක් තියෙන හෙළයින්ට විතරක් ප්‍රතිචාර දක්වන්නත්, වෙනත් අයෙක් එය විවෘත කළොත් විශාල පිපිරීමක ඇති වෙන්නත් කියල. ඒ කියන්නේ මං හැර වෙන සුද්දෙක් ඒක අරින්න හැදුවනම් පෙන්ටගන් එක පුපුරනව.

කොහොමින් කොහොම හරි ඔවුන් මට විශාල ගෞරවයක් දැක්වුව. ඒ යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ඒරියා 51 වලට ගෙනිච්චලු. ඒකෙ හිටපු නියමුවා ශිෂිරතාරක නින්දකට පත් වෙලා හිටපු නිසා, පණ පිටින් ඉඳල තියෙන්නෙ.


ඩොලර් 100000
============

දිනක් හදිසියේම මාව හමුවීමට ආපු මිල්ටන් මහත්තයා කිව්ව ඔයා පහුගිය දිනවල මූණ දුන්න සිද්ධි නිසා ඔයාව ව්‍යාපෘතියෙන් මුදා හරින්න සිද්ධ වෙනව, ඔයාගේ කැප වීම වෙනුවෙන් ඔයාගේ මහජන බැංකුවේ NRFC ගිණුමට දැනටම ඩොලර් 100000 බැර කරලයි තියෙන්නෙ කියල. ඒත් එක්කම තවත් ලියකියවිලි වගයකට මගේ අත්සන අරගත්ත. ඊට පස්සෙ තවත් CIA මහත්තයෙක් ඇවිත් මගේ ඉස්සරහට පෑනක් දික් කළා. ඒකෙන් ලා නිල් පාට ආළෝකයක් විහිදිලා, ඒ ආළෝකයත් එක්කම මුළු ලෝකයම නිල් පාටට බොඳ වෙලා යනව වගේ දැණුන.

පහුවෙනිද මං හිටියෙ මගේ ඥාති දුවගෙ ගෙදර. මං මෙහෙට අව කියල මතකයි, ඒත් ඊට පස්සෙ වුන දේවල් මුකුත් මතක නෑ. මං දුවගෙන් ඇහුව මට මොකද වුණේ කියල, එයා කිව්ව කවුද දෙන්නෙක් මාව ගෙනත් ඇරලුවා කියල, එච්චරයි කිව්වෙ. දින කීපයකට පස්සෙ BBCN බැංකුවට ගිහින් මගේ ගිණුම් බලද්දී NRFC එකේ $107200 ක් තියෙනව. මාව උඩ ගියා, බැංකුවට වැරදිලවත්ද?

සතියකින් විතර මං ලංකාවට ඇවිත් අළුත් ගෙයක් එහෙම හදල පිළිවෙළකට ජීවත් වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම මට ඕනැ තරම් සල්ලි තියෙන හන්දා, උපතින්ම ආසාවන් ගොඩක් අඩු කරගෙන හිටපු මාව ටිකෙන් ටික ආධ්‍යාත්මික ජීවිතයක් කරා ඉබේම යොමු වුණා. මධ්‍යම කඳුකරයේ සිටින අප්‍රසිද්ධ තාපස තුමෙක් ගාවට ගිහින් භාවණා කරන්න පුරුදු වුණා. භාවනාව දිවා රෑ කරමින් සිදුකළ අධික කැපවීම නිසා මට කුණ්ඩලීනී ශක්තිය අවදි කරගැනීමට හැකි වුණා.



කුණ්ඩලීනී යෝගය
=============

ඕක තමයි අපේ කතා නායකයා වන සිරිසේන බාස් උන්නැහේගේ කතාව, ගොඩක් රසවත් දේවල් තිබුණත් ඒවත් පෙරා දමල බොහොම කෙටියෙන් තමයි දැක්වුවේ. අද ඔහු බාස් උන්නැහේ කෙනෙක් නොව සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් සහ දානපතියෙක්. වෙනත් නමක් භාවිතා කරන්නේ.

දැන් ඔබට හිතේවි එයාගේ මතකය සම්පූර්ණයෙන්ම අමතක කළානම් එයා කොහොමද කළින් පෙන්ටගන් එකේදි වෙච්ච දේවල් දැනගත්තෙ කියල. මධ්‍යම කඳුකරයේ සිටින ඒ තාපස තුමා ගාවට වෙලා භාවනා කරද්දී මා මිත්‍ර සිරිසේනයන්ට කුණ්ඩලීනී ශක්තිය ලැබිල තියෙනව. කුණ්ඩලීනී ශක්තියේ මනුස්මරන නැමති වායාවට පැමිණි පසුව ඔහුගේ මතකයෙන් මකා දමා තිබූ සියලුම ස්මරණයන් ඔහුට නැවතත් ඇති වෙලා. එම තාපස තුමාගෙන්ම තමයි මාත් භාවනාව හදාරන්නෙ, එතනදී සිරිසේනයන්ව මා හඳුනාගන්නව. ඔන්න ඔහොමයි කතාවේ පූර්වාපර ගැලපීම සිද්ධ වෙන්නෙ.

දිනක් සිරිසේන මිතුරා සමග මා තාපස තුමාගේ අසපුවේ මිදුලේ සාමීච්චියක සිටියදී අර ඉහත සඳහන් කළ කතාව ඔහු මට පැවසුවා. අපේ ගුරු දේවයාණන් වහන්සේ වන ධ්‍යාන ලාභී තාපස තුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරද්දී හිටි ගමන්ම තාපස තුමා දැහැනට සම වැදිල පෙන්ටගනය ගැන බොහෝ තොරතුරු හෙළි කළා.

තාපස තුමාට අනුව පෙන්ගටනය යනු අතීතයේ රාවණ රජතුමාගේ බලකො‍ටුවක්. රාවණ රජතුමා උතුරු ඇමරිකාව පාලනය කර තිබුනේ එය මධ්‍යස්ථානයක් ලෙස යොදාගනිමින්. තාපස තුමා දැක්වූ ඉතිරි කරුණු වලට මූලාශ්‍ර නොමැති නිසාත් ඒවා ලේසියෙන් කෙනෙක් විශ්වාස නොකරන තාලයේ නිසාත් දැන්ම ඒව ගැන හෙළි කරන්නෙ නෑ.


පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ ඔප්පු කිරීම්
============================

පෙන්ට යනු "පංඤ" හෙවත් "පහ" යන්නය. "අ+ගන්" යනු "අග්‍ර හෙවත් කොන්, මුළු" යන අරුත් දේ. රාවණා රජු විසින් බටහිර ලෝකය පාලනය කරන්නට වත්මන් ඇමරිකාව පිහිටි භූමියේ, එදා නිර්මාණය කළ සුපිරි බළකොටුව එදා හැඳිවූයේ "පංඤ්චග්‍ර බලකො‍ටුව" නමිනුයි. නමුත් පසු කාලීනව ඉංග්‍රීසි උරුව අනුව එය වෙනස් වී "පෙන්ට+අගන්" නම් වුණා.

රසදිය තාක්ෂණයෙන් ආරක්ෂිත මෙම බළකොටුවේ රාවණ රජුගේ විමාන යානා 200 කට පමණ ගොඩ බැසීමේ පහසුකම තිබුණු බව, මෑතකදී කතරගම බුකන්වෙල පර්වතයෙන් සොයා ගනු ලැබූ, පැනිඛ්අත්ථ සෙල් ලිපිය මගින් සනාථ කෙරේ. එහි සඳහන් වූ දෑ මෙලෙසයි, "විම යන දෙශ ශිය ගොඩ පඤ ශ" එනම් "විමාන දෙසීයකට ගොඩ බාන්නට හැකි වූ පංඤ්චග්‍ර" ය. ඒ සෙල් ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින රාවණා විරෝධීන් විසින් සඟවලා.

ඊට අමතරව පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කරද්දී එහි මිදුලේ තිබූ සෙල් ලිපියක්ද හමුවී තිබෙනව. එහි සඳහන් වී තිබුණේ "මය රණ අධ ඇම පාඛ ඛණ පඤ් භ ව්‍ර" යන්නයි, එහි හෙළ නිරුක්තිය වනාහි, "මෙය රාවණ අධිරාජ්‍යයා ඇමරිකාව පාලනය කරන පංඤ්චග්‍ර බලකො‍ටුව වේ" අදත් ඒ සෙල් ලිපිය පෙන්ටගනයේ බිම් මහලේ ඇති කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති බව, හෙළි කිරීමට නොහැකි ආකාරයකට මා හට දැනගන්නට ලැබුණි.

මුලින් දැක්වූ පරිදි සිරිසේන මහතා මුහුණ දුන් සිද්ධියෙන්ද එය ඔප්පු වෙනවා. එවැනි විමාන යානා තවත් සිය ගණනක් පෙන්ගටනය තුල නිදන්ගතව තිබෙනවා ඇති. එසේම රසදිය වලින් එම විමාන ගුවන් ගත කළ බවත්, ඒ ගුවන් යානා වල නියමුවන් ලෙස රාවණ රජතුමාගේ මහසොහොන් බලකායේ සෙබලුන්ව යොදාගෙන ඇති බවත් සිරිසේනයන්ගේ කථාන්තරයෙන් පැහැදිළියි. සාමාන්‍යයෙන් මහසොහොන් බලකායේ සෙබළුන් සතුරන්ව බිය කිරීමට මහසොහොන් වෙස් මූණ පැළඳගෙන සිටිනවා.

ඔබට මතක ඇති 2011 වසර අගදී ඇමරිකාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන බවට සම්‍යක්දෘෂ්ඨික නාථ දේව රාජෝත්තමයාණන් වහන්සේ මහදුරු නලින්ද සිල්වා මහතාට පැවසූ බව. එතුමා එය ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා හෙළි කළා. නමුත් එලේ 2011 දී ශ්‍රී ලංකාවට ආක්‍රමණයක් සිදුවුණේ නෑ. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම සඳහා F22 ගුවන් යානා විස්සක් ක්‍රියාත්මක කරන්න හදද්දීම, හදිසියේම බැ‍රැක් ඔබාමාට දිස් වූ යක්ෂ සේනාධිපතියෙක් එය නවත්වන්න යැයි අණ කිරීමයි. එසේ නොකළානම් මුළු පෙන්ටගනයම පුපුරුවා හරින බවට එම යක්ෂ සේනාධිපතිවරයා ඔබාමාට තර්ජනය කර තිබෙනව. මේ බව මා දැනගත්තේ මගේ ගුරුදේවයාණන් වහන්සේ වන තාපස තුමාගෙන්. එය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ වැඩක්.

සිරිසේන මහතා සොයාගත් යානයේ හිටපු නියමුවා තාමත් ඒරියා 51 හි ජෛව රසායනාගාරයක නේවාසිකව සිටිනව. ඔහු හෙළ යකෙක්. මාව ඒරියා 51 ට ගෙන ගිය වෙලාවෙ මට ඔහුවත් මුණ ගැස්සුව. ඔහු භාවිතා කළ බාසාව බොහොම පැරණි හෙළ ප්‍රකෘති බසක්. ටික ටික ඔහු කියන දේ තේරුණා. මා අපේ හෙළදිවේ දැන් තත්ත්වය පැහැදිළි කළාම ඔහු හරිම කණගා‍ටුවට පත් වුණා.

පංඤ්චග්‍රාභිධානය නැමැති ඉපැරණි පුස්කොළපොතේ මැවිසිනෙසුරු නැමති ටීකාවේ, රාවණා රජතුමා විසින් ඇමරිකානු මහාද්වීපය පාලනය කිරීමට පංඤ්චග්‍ර බලකො‍ටුව යොදාගත් ආකාරය පැහැදිළි කර තිබෙනව. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස යොදවා ඇත්තේ පංඤ්ඤසේකර නමැති තනතුරෙන් හඳුන්වන අයෙක්. පංඤ්චග්‍රාභිධානය පුස්කොළපොත අදත් ලන්ඩන් කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කරල තිබෙනව.

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතට අනුව පංඤ්චග්‍ර බලකො‍ටුවේ ආරක්ෂාවට හෙළ යකුන් තුන් දහසක් යොදවා තිබෙනවා. එහි ගව්වක් දුරට මඩ අගලත්, ගව්වක් දුරට දිය අගලත් පිහිටා තිබෙනව. පහත රූපයේ ඔබට දකින්නට ලැබේවි ඉපැරණි පංඤ්චග්‍ර බලකො‍ටුවේ දිය අගලේ කොටසක් තාමත් දිස් වෙන හැටි


රාවණ රජතුමා විසින් ශවභාවනාවාපානකාරධානයකය නමැති අසුර මන්ත්‍රය දශ ලක්ෂ වාරයක් මතුරා පංඤ්චග්‍ර බලකො‍ටුව වටේට ඉස තිබෙනව. ඒ අනුව එය අපරාජිත භූමියක්. එනිසයි 9/11 ප්‍රහාරයෙන් WTC එක සමතලා කළ හැකි වූ නමුත් පෙන්ගටනයට එවැන්නක් කළ නොහැකි වූයේ. ඒ භූමියේ ඇති ශක්තිය මොනයම් ආකාරයකින් හෝ හඳුනාගත්ත, අතීත හෙළයින්ගේ යටත් ජන කණ්ඩායමක් වූ රතු ඉන්දියානු ගෝත්‍රිකයින් ඒ බව ඇමරිකන් ආණ්ඩුවට දැන්වීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් විසින් එය නැවතත් 1941 දී ගොඩ නැගීම ආරම්භ කෙරුණා. අද ඇමරිකානුවන් ලෝකෙටම තම ශක්තිය පෙන්වන්නේ අප හෙළයින්ගේ තාක්ෂණයට පින් සිද්ද වෙන්නයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

69 comments:

  1. " ඒ අනුව එය අපරාජිත භූමියක්. එනිසයි අල් කයීඩා එකට WTC එක සමතලා කළ හැකි වූ නමුත් පෙන්ගටනයට එවැන්නක් කළ නොහැකි වූයේ. "--දෑන් කලින් ලිපියකින් කිව්ව නේද WTC1 බිම දෑම්මෙ රාවනා කියල

    ReplyDelete
    Replies
    1. එය ඉතාමත් හොඳ ප්‍රශ්නයකි යසස් සබඳ, එනයින් ඔබ අප ලිපි සූක්ෂමව කියවන අයෙක් බව පැහැදිළියි. මේක තමයි එම ලිපිය. http://vargapurnikava.blogspot.com/2012/06/911.html

      අපට හමුවූ මූලාශ්‍ර වලට අනුව, WTC එක බිම දැමීමට රාවණා රජතුමා කටයුතු කළ බැව් සැබැවි. නමුත් රාවණ රජතුමා මේ මොහොතේ සිටින්නේ මහ කුඩුගල ගිරි ශිඛරයේ නිද්‍රාගතවයි. http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

      එනයින් WTC ප්‍රහාරය රාවණා රජතුමා කළ බව කිව්වද එය සැබවින්ම කර ඇත්තේ, රාවණ රජතුමාගේ අනුදැනුමට යටත්ව හෙළ යකුන් විසිනි. එය සම වන්නේ රුවන්මැලිසෑය දු‍ටුගැමුණු රජතුමා කළ බව කීවත් එය ඉදි කළේ එකල සිටි මිනිසු විසින් දු‍ටුගැමුණු රජතුමාගේ අණ පරිදි වීමටයි.

      රාවණ රජතුමාගේ ඉපැරණි පංඤ්චග්‍ර බලක‍ටුව මත කොන්ක්‍රීට් දමා එය විනාශ කර තිබීම ගැන එතුමා කෝපයෙන් සිටිනවා විය හැකියි. එනිසා එතුමාට තම යක්ෂයින් ලවා පෙන්ටගනය විනාශ කිරීමට ඇවසි වෙන්නට ඇති. එනිසා විය හැකියි ගුවන් යානයක් එතනටත් පාත් වුණේ. නමුත් රාවණ රජතුමාගේ ශවභාවනාවාපානකාරධානයකය බලවත් කම නිසා රාවණ අණ පිළිගත් යකුන්ටවත් එය විනාශ කිරීමට නොහැකි වුණි. එය මහත් ආශ්චර්යයක් නොවන්නේද?

      Delete
    2. එතන අල් කයීඩා ලෙස සඳහන් වූයේ මුද්‍රන දෝශයකින්, එය නිවැරදි කළා.

      Delete
    3. වැදගත් තොරතුරු කීපයක් සමඟ කියන අඟනා කතාවක්.

      "නමුත් රාවණ රජතුමා මේ මොහොතේ සිටින්නේ මහ කුඩුගල ගිරි ශිඛරයේ නිද්‍රාගතවයි." -

      සමහර බාහිර තොරතුරු දරාගෙන ඉන්න භාර කාරයෙක් ලෙස ඔබ කී මේක අගයැති කතාවක්. විශේෂ තැන් කීපයක් තියෙනවා. එකක් තමයි මනු විදියට ආපු වෙලාවෙ රජ මාළිඟාව පිහිට පෙදෙස (උතුරු කොටස). ඒ හරියෙ පැල් අටවපු ඔක්කොම නැසුනා. මනු ඉපදුනේ මාතර. මේවා නැවත නැවත වෙන දේවල් වගේ. මේ සැරෙත් ඉපැදුනේ මාතර. ඔය මහ කුඩුගල ගිරි ශිඛරය ශරීරය මිහිදන් කල තැන විය යුතුයි. ඒක දන්නෙ මිනිසුන් විතරයි. හේතුව සිරුර කියන්නේ තාවකාලික අංඟයක්. අයිතිකාරයට ඵලක් නැති වුනත් මිනිසුන්ට වැදගත්.

      ඔය නැවත නැගිටන කතාව හිතළුවක්. සිරුර තාවකාලික උපාංඟයක්, ඇඳුමක් විතරයි. ඒ වගේම ලෝක ධර්ම වලට පටහැනියි. සිංහලයන් බොරුවෙන් මුලා කරන්නෙ නෑ. ආයෙ එනකොට මිනිස් වෙස් ගෙන උපදින විස්තර කියල තියෙන්නේ. ඒ ගැන සොයා ඇත්ත දැන ගන්න. ඔබ සීමිත දත්තයන්ගෙන් කියන දේ පරස්පර වෙනවා. උදා: මළවුන්ගෙන් නැගිට්ටා කියන ජේසුස් ගැන කී කතාව පවුලේ අය එකතු වී ගෙතු බොරුවක්. එය කලේ අපරාධකාරයකු ලෙස මිය ගිය විට දෙව්ලොව නොයන බව යුදෙව් විශ්වාසය නිසා. මේ බව කීවේ යුදෙව් උගතුන්මය. සියලු දෙනාම මෙම බොරුවෙන් ගැලවී සිංහල විදියට ඇත්ත දකින්න. නැවත එන බව සැබෑය. උපත පැහැදිලිව සඳහන්ය. මළවුන්ගෙන් නැගිටීම රාවන හෙවත් හිරුගේ නියම ස්වාභාවය නොදැන කරන නින්දාවකි.

      Delete
  2. අගෙයි..ඒකත් අපේනේ බලං යද්දි..තව ටිකයි ඉතිරි අපිට අයිති නැති එව්වා... දැන් අපි ආඩම්බර වෙන්න ඕන නේද..? ආඩම්බරයිනං ෂෙයාර් කරන්න යන රීතිය යටතේ ඔන්න මං මේක ෂෙයාර් කලා...

    මට දැන් මේ දවස්වල තියෙන ඊ ළග අවුල තමා මොකක්ද මේ අඩම්බරේ කියන්නේ කියලා... අපේ සීයා කල දේකට අපි ආඩම්බර වෙනවා කියන්නේ මෙලෝ රෙද්දක් නොකර අපේ සීයා ඒකත් කලා මේකත් කලා..අරකත් අපේ සීයගේ මේකත් අපේ සීයගේ කිය කිය ඉන්න ගමන් මෙලෝ රෙද්දක් නොකර සීයගෙ කෙරුවාව ගැන කිය කිය කාලකණ්ණියෙක් වෙන එකද..?

    ReplyDelete
    Replies
    1. "ආඩම්බරයිනං ෂෙයාර් කරන්න යන රීතිය යටතේ" මෙවන් ලිපි "අයියෝ සල්ලි" වැනි නමක් ඇති ෆේස්බුක් පි‍ටුවක් හරහා දහස් වතාවකටත් වඩා ශෙයා වී තිබෙනවා දුටිමි.

      පළමුව මව් බිම සේ, හෙළයින් වීම ගැනම හෙළයින් වන අප පළමුව ආඩම්බර විය යුතුය.

      Delete
  3. කාරණා දෙකක් දැනගන්න කැමතියි. ඒ හුදෙක් මාගේ මතය පැහැදිලි කරගැනීමට විනා වෙනතකට නොවේ.

    1. පෙන්ටගනයේ යානාව හෙළ යකෙකු විසින් ඇරියා නම් ඒ යානය ඇල්ලු සුද්දන් අතින් එහි පිපුරුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

    2. ඔබ ම කලින් කීවා 9/11 සිද්ධිය රාවණ රජු විසින් කරන ලද්දක බව. එසේ වේ නම්:
    i. එදා එක ගුවන් යානාවක් මේ පෙන්ටගනයට කඩා වැදුනේ ඇයි?
    ii. ඇමරිකානු නාමය ලබා දුන්නේ මෑත කාලයේ නේද? එසේ නම් සෙල්ලිපි වල ඒ නාමය කෙසේ ආවාද?

    ජයරත්න හෙළ යකුනි, දැනුවත් කරන්න මේ ගැන.

    ෴ ශ්‍රී රාවණා සිද්ධම් ‌‍෴

    ReplyDelete
    Replies
    1. බොහොම වටිනා කඩ ඉම් ප්‍රශ්න දෙකක්.

      1. මා සිතාන් ලෙස එය පුපුරා යාමේ ට්‍රිගර් එක තිබී ඇත්තේ දඬුමොණරයේ දොර අගුලේය. සමහර විට එය දොර යට දමා තිබූ හූණියම් නූලක් විය හැකියි. ඒ නූල මුලින්ම පැන්න කෙනා හෙළ යක් ලේ ධාතුව තිබෙන්නෙක්නම් එය පුපුරන්නේ නැත. ඉන් පසුව පනින අයගෙන් එය ක්‍රියාත්මක නොවේවි. නැවතත් ක්‍රියාත්මක කිරීමටනම් ඒ සඳහා විශේෂ බොත්තමක් ක්‍රියා කළ යුතු වෙනවා ඇති.

      2.i. මේ සඳහා ලිපියේ මුල්ම කොමෙන්‍ටුවේ යසස් යහළුවාට දී ඇති පිළිතුර ගැලපේ යැයි සිතමි.

      2.ii. ඇමරිකානු නාමය ලබා දී ඇත්තේ රිචර්ඩ් ඇමරයික් නමැත්තෙක් විසින් 1507 දී බවයි අප අසා ඇත්තේ. නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ රිචර්ඩ් ඇමරයික් යනුත් හෙළයින්ගෙන් පැවත එන්නෙක් බවයි. ඇම=එම, රි=රිවි=සූර්යයා, කා=කාන්තිමත්, යන නිරුක්තියට අනුව "එම සූර්යයා කාන්තිමත්" යන අරුතෙන් ඇමරිකාවට ඒ නම ලැබී තිබුණි. එහි සිටි මුල්ම හෙළ වැසියන් ඇමරයික් නම් විය. රාවණ අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසුව ඔවුන් එංගලන්තයට සංක්‍රමණය වී ඇත.

      Delete
    2. එතකොට ඒ කලේ අපිත් සුද්දෝ ,

      Delete
    3. ඒ කාලෙ හෙළයින් ඇමරිකාවෙ හිටිය, පසුව මායාවරුන් සමගම හෙළයොත් වඳ වුණා. ඇමරයික් වැනි පෙළපත් කීපයක් එංගලන්තයට පැන ගොස් ඔවුන් සුද්දන් බවට පත් වුණා.

      Delete
    4. ඉංග්‍රීසින් බවට පත් වූවන් ගියේ ලංකාවෙනි. ඒ තේමිය සමඟය. යම් හේතුවකට, තේමිය සමඟ සිංහලයන් අතර සිටි, රැකීමට කැපවූ, පක්ෂපාති, ශිල්පයේ දක්ෂයන් ද යැවූ බව ජාතීන් දෙක ස්වාභාවික ජාතියකින් වෙනස් වන කරුණු සැසඳූ විට පෙනේ. තේමිය (ගිය තෙමේ හෙවත් ගෝතම) නිකමකු නොව අන්තිම බුධය. හිරුට සම්බන්ධය දැන දැන නොකියා සිටීමට සිදුවේ. දැනුම හොඳටත් නරකටත් යෙදිය හැක. තේමිය තම උරුමය යෙදූ ආකාරය සිහළුන් කුපිත කල නිසා යාමට පෙරුත්ත කලා. යැව්වෙ සුරැකිවය. කෝප වීමට හේතුව සතුන් හීලෑ කිරීමට යොදා ගත් දැනුම යොදා මිනිසුන් හීලෑ සතුන් මෙන් තමන්ට නොව අනුන්ට සේවය කිරීට මෙහෙය වූ නිසාය. මේ කාරණය ජාති දෙකේ පරස්පරභාවයත්, අන්ත දෙකත්, එහි ආදීනවත් මනාවට හෙළි කරනවා. මේ කරුණු ඔප්පු කිරීම කජු කනවා වැනිය.

      තේමියද අද සිංහලයෙකි. ගති වෙනස් වී නැතත්, හිරුගේ බලපෑමෙන් ඒ ගති හැර අළුත් ඇරඹුමට දායක වනු ඇත.

      Delete
    5. හෙළයන්ට තිබ්බ අපබ්‍රන්ස නම් එක්ක මේ නම් නම් ගැලපෙන්නෙ නෑ වගෙ.. එකියන්නෙ ඇමෙරිකාව හොයා ගත්තෙත් හෙළුවෙක්, අඩම්බරයි මීජයෙ ආඩ්ම්බරයි පපුව වාව ගන්න බෑ.... මම හිටියට මේ අඩම්බරෙන් මත් වෙලා ඉන්නෙ පුටුවෙන් නැගිට ගන්නවත් බෑ, ඉතින් මෙක දන්නවද ඇමෙරිකන් ගොයියල, ඇමෙරිකාව හොයා ගත්තෙත් හෙළුවෙක් කියල,

      Delete
  4. අරිසෙන් අහුබුදු තුමා කෝම හරි වැඩේට ජොයින් වෙනවා නේද අවසානෙ....
    මං අමරිකාවෙ යන්න හිටිය අදහසත් අත ඇරගත්තා...මොකද නැවත රාවනා ඉපදිලා මේ ලෝකෙම යටත් කරගන්න පටන් ගන්නෙ ලංකාවෙන්..එතකොට ලාංකිකයෙක් වෙලා ඉන්න එක වාසියි මෙහෙට වෙලා...

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්. එවිට ලංකාපුරයේ පුරවැසියන්ට ඕනැම රටකට වීසා නොමැතිව යාමට හැකි වේවි.

      Delete
    2. මමත් අර කොළ ලොතරැයියට අයදුම් කරල තිබ්බෙ ඒකත් අවලංගු කරල දාන්න ඕනි, මේ රාවණ බලයට අවිල්ල මේක යස ඉසුරින් පිරි සකල සරින් පිරි දෙශයක් කලම පරදෙශක් කාර ඇමෙරිකනුවොත් මෙහෙට වීසා ගන්න හද්යිද දන්නෙ නෑ,මීජයෙ එහෙම උනොත් උන්ට මේ යස ඉසුරින් පිරි දිවයිනට එන්න දෙනවද රවණා ?

      Delete
  5. ආඩම්බරයි හසන්ත මහත්තයෝ... මේව අහල මට මලත් කමක් නෑ හසන්ත මහත්තයෝ...

    ReplyDelete
  6. මේ යකාව (මීවනපලානේ) මානසික වෙදෙකුට පෙන්නන්න වෙයි

    ReplyDelete
    Replies
    1. ජයරත්න මහත්තයෝ ඔය මඩ අගල් කතාව නම් විශ්වාස කරන්න අමාරුයි,මොකද මම දෑකපු සෙල් ලිපියක තිබුනේ හයි එක්ස්ප්ලෝසිවු හා ලේසර් තුවක්කු උපයෝගී කරන් සකසපු ස්වය්ක්‍රීය ආරක්ශන පද්දතියක් ගෑ නනේ,

      ඔබ තුමා දනන්වාද C4 හොයන් තියෙන්නේ අපේ ඇත්තො කියලා ඕක අපි කියලා තියෙන්නේ ස4 කියලා ස= ස්පෝටනය,4 = සතර ආකාරයකින්.බලන්න ඉතින් නේද....

      Delete
    2. අසංකගේ මතය ගැනත් ගවේෂණය කළ යුතුයි. නොබියව කිව හැකියි ලේසර් තුවක්කුවත් හොයාගෙන තියෙන්නේ රාවණ රජතුමා විසිනුයි. ඉන්ද්‍රජිත් හඳට ගොස් එහි තිබූ Laser Gun එකකින් ලක්ශ්මණට වෙඩි තියපු බව අපේ සමකාලීන රාවණගවේශකයින් බොහෝ දෙනා පවසනවනෙ.

      වැදගත් තොරතුරක්, C4 ගැනත් සොයා බලන්නම්.

      Delete
    3. බටහිරයන්ගේ තාක්ෂණය සමඟ ආදි සිංහල තාක්ෂණය සැසදීම මට සිනා පහල කරයි.

      බටහිරයන්ගේ හොඳම තාක්ෂණය වන පරිඝණකය 0 හා 1 යෙදූ සිංහල ගණිත දැනුමේ අංඟවිකල නිපැයුමකි. සිංහල ගණිත දැනුමේ 0 සිට 9 දක්වා සංකේත දහයකි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කි. අ යන්න භාගෙට ශබ්ද වේ. සිංහලේ අකුරු 56කි. (මලයාලින් ප්‍රබල අකුරු හතර කපා දැමීමටත් පිළිවෙල ඇනීමටත් උත්සාහ කර ඇත). මේ ටිකම වෙනස කොතරම් දැයි කියනවා. සිංහලයන්ට අපහාස නොකරන්න. හෙට දින සිංහලේ ගණිත සංකේතද අකුරුද අනන්තයකි. වෙනස තේරුම් ගත හැකිද?

      Delete
    4. මල මගුලයි පොඩි උන් සිංහලත් ෆඉල් වෙලා මැතත් නා ගනී වගේ මේ තියෙන ටිකෙනුත් ෆඉල් වෙන එකෙ, අනන්තයක් උනොත් එහෙම, ඒක නෙවෙ එතකොට මට රවණාගෙ ප්‍රොග්‍රමින් ලැන්ග්වේජ් එකත් ඉගෙන ගන්න වෙයිද දන්නෙ නෑ.. මේ දැන්ම ඉඳන්ම ට්යි කරන්න නැද්ද ටියුටොරියල් එහෙම පුස්කොළපොත් වල,මම අහල තියෙනව රාවණාගෙ රොග්‍රමින් ලැන්ග්වේජ් ගැන ලියවුන පුස්කොළපොතක් ගැන ප්‍රොග්‍රමින්ටීකාව කියල ආචාර්ය තුමො නැද්ද ඒක ඔබතුමා ගාව.. තියෙනවනම් ස්කෑන් කරල විදුත් තෑපෑලට යොමු කරන්න හොඳේ,

      Delete
  7. මේක හෙල ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක්...
    ඇයි මේවා රටට හෙලි කරන්නෙ නැත්තේ.
    අපි මේවා විස්සාස කරනවා ඉහටත් උඩිං..

    ReplyDelete
    Replies
    1. සබඳ, මේ කරන්නේ රටට හෙලි කිරීමයි, ඉදිරියේදී ප්‍රසිද්ධ පුවත්පතක කොලමක් ලියන්න බලමු.

      Delete
  8. අහල තියෙන විදියට area 51 ගිය කෙනෙකුට ආපහු එන්න දෙන්නෙ නැ නෙ???????

    ReplyDelete
  9. area 51 ගියපු එකෙකුට වත් ආපහු එනව බොරු කියල දන්නෙ නැද්ද????

    ReplyDelete
    Replies
    1. සමහර විට මා ඇතුළු කීප දෙනෙක් හට රාවණා ශක්තිය උපතින්ම හිමි වී තිබුණ නිසා එලෙස ගැලවී ඒමට හැකි වුණා වෙන්න ඇති. තවද අර ජයරත්න පතිආරච්චි නැමැති පුද්ගලයාටත් රාවණ ශක්තිය තිබෙනවනෙ. http://www.gossip9.com/2012/03/blog-post_11.html

      Delete
    2. kohomada api ravana shakthiye thiyenava kiyala danaganne.

      Delete
  10. මාර ආඩම්බරයක් හිතට දැනෙන්නේ !!!
    රාවණා බලය ලොව පාලනය කරන දිනය වැඩි ඈතක නෑ. !!!
    මට නම් රාවණාව පියවි ඇහෙන් දැකලා මලත් කමක් නෑ.....

    ReplyDelete
  11. ඇත්තටම මේ ලිපි පෙල කියවන කොට හෙළයෙක් වීම ගැන දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්..

    මීවනපලානෙ ජයරත්නයන්ගේ මේ හෙළි කිරීම් වලට විරුද්ධවන සමහර බුද්ධිමතුන් ගැන මටනං විශාල කණගාටුවක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. එය සත්‍යයකි, ස්තුතියි

      Delete
  12. පැනිඛ්අත්ත සෙල් ලිපි කලාව දන්න හින්දා මටනම් මේ ගැන කිසිම සැකයක් නෑ... මේ දේවල් සහතිකවම ඇත්ත

    නමුත් අර මම කිව්ව කාරනාව, රාවණා රජතුමාගෙ හිස් සම්බන්ධව,,, සැලකිලිමත් වෙන්න.. ඔබ තුමා ලොකු අවදානමක...
    දස අවතාර් සඳහා හිස් 10කුත් ,... රාවණා අධිරාජ්‍යාගේ මැද අති හිසත් එක් වූ විට හිස් 11ක් විය යුතුයි

    ReplyDelete
    Replies
    1. මා ඒ ගැන තාපසතුමාට පැවසුව, සුදුසු පින්තූරයක් ගැන කියල එතුමාගෙන් දුරකථන ඇමතුමක් එනකම් මේ මග බලා සිටින්නෙ.

      Delete
    2. ප:ලි: අප දෙදෙනාගේම නම් වල පොඩි සමානාත්මතාවයක් තියෙනව නේද?

      Delete
    3. මිනිසුන්ට ඇත්තේ එකම හිසකි. එය බිහි කල හිරු එම සම්මතයට ගරු කරනු ඇත. හිස් අනන්තයක් ඇන්ඳද නියම හිරු නිරූපණය නොවේ. මිනිසුන් නොදන්නා බොහෝ දේ හිරුට හිමිය. සිත බැඳෙන එක හිසක් ඇති සිරුර නියම කෙනා පෙන්වයි. මැටියෙන් සදා විකෘර්ති රුවක් බවට පත් කල ඉන්දියානුවන් විඳි ගැහැට අපමණය. මුලා නොවන්න.

      Delete
  13. මට මේ ලිපි කියවල ඇතිඋනේ කියන්නත් අමාරු තරම් ශෝකයක්.. තමුන් මේ විදිහට මහ රාවණා රජතුමාගෙ සම්පූර්ණ කතාවස්තුවම විනාස කරන්නෙ බුද්ධිමත් විදිහට මේ සම්බන්ධව ගවේශනය කරන එවුන්ගෙත් ඉවසීම් සීමාව පන්නල... රාවණා රජතුමා ගැන ගවේශනය හොඳ දෙයක් තමයි, නමුත් ඒකට කිසිම සම්බන්ධයක් නැති මේවගේ දේවලුත් බොරුවට මැවුව තර්ක වල සහ කතා වල ඉඳගෙන එලියට දාන එක රාවණා රජතුමාට කරන අපහාසයක්...
    තමුන් රාවණා රජු ගැන බොහෝ දේවල් දන්නව කියල හිතුවට තමුන් දන්නෙ බොහොම ටිකයි කියන එක දැනගත්තොත් හොඳයි, මේවගේ කතා පල කරන එකෙන් වෙන්නෙ මේ සම්බන්ධව හොඳින් දන්න අයගේ විහිලුවක් බවට තමන් පත්වෙන එක විතරයි.... මම ඉපදුනෙත් රාගල.. මම පොඩිකාලෙ ඉඳන් රාවණා රජතුමාගැන හොයන්න පටන් ගත්තෙ, මහකුඩුගල කියන්නෙ තමුන්ට පත්තර පිටුවක තියෙන ලිපියක් උනාට මම එතනට පොඩි කාලෙ ඉඳන් ගිහින් තියෙනවා.. ඒ ගල් ශිකරයෙ තියෙන සමහර ගුහා වලට පන්දමක්, ටෝච් එකක් තියා කිසිම එලියක් අරගෙන යන්න බෑ, අනිවාර්යයෙන්ම නිවෙනවා... ඒ අවට තියෙන බලවේග ගැන කියන කතා සියල්ලම ඇත්ත.. අනික බොහෝ දෙනෙක් දන්නෙ නැති බොහෝ....මයක් දේවල් ඔය අවට තියෙනවා... ඒ කතාව පැත්තකින් තියමු.. තමුන්ට මම මේ ක්ෂේත්‍රයේ ඉන්න ගවේශකයෙක් හැටියටයි කියන්නෙ තමුන් මේ ගැන බ්ලොග් එකක් ලිවුවට දන්නෙ බොහොම ටිකයි, තමන් දන්න ඇත්ත ටික අනික් අය අතරේ බෙදලා දෙන එක වෙනම දෙයක්, ඒත මේ වගේ බොරු දාලා ඇත්ත විකෘති කරන්න එපා.. X-Files වල ඉඳලා Men In Black දක්වා කතා බලලා තමුන්ගේ මොලේ විකෘති වෙලා කියලයි මට පේන්නෙ, අනික මේ කතාව දිහා හොඳින් බලන ඕනෙ කෙනෙකුට මේකෙ තියෙන හිඩැස් ඔක්කොම පේනවා, ව්ද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න තරම් වත් තමුන්ට හැකියාවක් තියෙන බවක්වත් පේන්න නෑ, අමිල නිරෝෂන් කියනව වගේ තමුන් මානසික වෙදෙක් හමු උනානම් හොඳයි. අම්මප මේ කතා දැක්කම මගෙ නම් ඇඟේ මාලු නටනවා.... ඇත්ත දන්න තවත් බොහෝ දෙනෙකුටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා.......... ඇත්ත ඇති සැටියෙන්ම එලියට දෙනවනම් හොඳයි.. හදපු කතා නැතුව.. බොහොම ඉක්මනින්, එලියට නොආපු ඇත්ත කරුණු ගොඩක් එලියට එන බව දැනගෙන ඉන්න, එතකොට මේ වගේ බොරු විකාර නිකම්ම එලියට විසිවේවි....... ආයෙත් සැරයක් අවවාදයක් දෙන්නේ.... “ඇත්ත පමනක් එලියට දෙන්න.!“

    ReplyDelete
    Replies
    1. අප කරන්නේත් හෙළගවේශණයක්, ප්‍රතිවිරුද්ධ මතවාද තිබීම ගැන අරුමයක් නෑ, එනිසා වැදගත් වන්නේ ප්‍රතිවිරුද්ධ මතවාද මැඩ පැවැත්වීම නොව ඒවාටත් අවස්ථාව ලබා දීමමැයි.

      මා මේ කරන ලද හෙළි කිරීම් ගැන ඔබට විශ්වාස නැත්නම් රන්දිව පුවත්පතේ ලිපි ටිකත් කියවල බලන්න, එවිට මා කියන දේවල් බොරු නොවන බව වැටහේවි.
      https://www.facebook.com/media/set/?set=a.378752005521170.87051.228131663916539&type=3

      Delete
    2. "මම ඉපදුනෙත් රාගල.. මම පොඩිකාලෙ ඉඳන් රාවණා රජතුමාගැන හොයන්න පටන් ගත්තෙ, මහකුඩුගල කියන්නෙ තමුන්ට පත්තර පිටුවක තියෙන ලිපියක් උනාට මම එතනට පොඩි කාලෙ ඉඳන් ගිහින් තියෙනවා.."

      අන්න අපගේ නියම හෙළු යකෙක්... අප වැනි රාවණ ලැදියන් විසින් කරුණු ඔප්පු කරනු ලබන්නේ මෙයාකාරයටමය... මම උපන්නේ රාගල නම් මා කියන දේ සැබෑ බව අනිකුන් පිළිගත යුතුමය... මම පොඩිකාලේ ඉඳන් මහකුඩු ගලට ගිහින් තියෙන හින්දා මම එතන ගැන මොනවා කිව්වත් අනිත් උන් පිළිගත යුතුමය... සබඳ ඔබ නම් නියම හෙළුවෙක්ය.. යකෙක්ය... ගොං යකෙක්ය... (තරහා අවසර ගොනා යනු හින්දූන්ගේ දෙවියෙකි... හින්දූන් යනු අපගේ මහා රාවණාගේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ අදහනු ලබන පුංචි පහේ ආගමකි. ඉන්දියව රාවණාගේ යටත් විජිතයක් වූ බැවින් එහි අදහනු ලබන සෑම ආගමක්මත් රාවණාට යටත්ය... ඒ ආකාරයට බැළු කල ගොනා නැමැති දෙවියාත් රාවණට යටත් දෙයියෙකි. ඔබත් රාවණට යටත්ය.. එ‍සේ හෙයින් ඔබට ගොං යකා කිව්වේ ඔබ හෙළ යකුන් අතර සිටිය දෙවියකු වැනි යැයි කීමටය... එහෙයින් ඔබ ගොං යකෙක් බව බිය සැක නැතිවම කිව හැක..)

      ----------------------
      "ඒ ගල් ශිකරයෙ තියෙන සමහර ගුහා වලට පන්දමක්, ටෝච් එකක් තියා කිසිම එලියක් අරගෙන යන්න බෑ, අනිවාර්යයෙන්ම නිවෙනවා... ඒ අවට තියෙන බලවේග ගැන කියන කතා සියල්ලම ඇත්ත.. අනික බොහෝ දෙනෙක් දන්නෙ නැති බොහෝ....මයක් දේවල් ඔය අවට තියෙනවා... ඒ කතාව පැත්තකින් තියමු.."

      ආන්න ඒ කතාවනං පැත්තකින් තියන්න ඕන නැහැ... යහළු ගොං යකෝ මට තරහා නැතිව ඔය කියන මහකුඩුගලට යන හැටිත් ඔය කියන ගුහා සොයා ගන්නා සැටිත් පැහැදිලිව කියා දිය හැකිද..? ගමේ හින්දා ඔය පොටෝ කෑලි දෙක තුනකුත් අමුණලා එව්වනං වඩා හොඳයි... එයට අමතරව ගූගල් මැප් ආධාරයෙන් අදාල ස්ථානය සලකුණු කොට එහි ලින්කුවක් දීමත් යහපත්ය...

      අද හෙටම එහි යාමට මා බලා‍පොරොත්තු වෙමි... ඇත්ත කියන ගොං යකාට ස්තූතියි...

      Delete
    3. ඇත්ත කියන්න. මමද එයම කියමි. සිතෙන් එන අදහස් ඒ විදියටම ලියන්න. අරුත තේරෙන්නේ හිරුට (රැස් එන කෙනාට = රාවනට) පමණි. අනෙක් අය නොදත්කම, පැටළිලි නිසා බොරුවක් ලෙස බැහැර කරනු ඇත. මේ අඩවිය හිරුට (රැස් එන කෙනාට = රාවනට) යොමු වූ අඩවියක් බව මම කියමි.

      ඔබ රාවන හඳුනා ගන්නේ ඔහුගේ තෙද බල පෙන්වන අවිය භාවිතා කල විටය. මෙතෙක් මුල් තැන ගත්තේ අවියේ බලයයි. සුද්දන් ලෝකයේ මුල් තැනට ඒමද අවි බලයෙන් සිදුවිය. මෙම අවිය ගැනද තොරතුරු ඇත. රාවනට තොරතුරු කීමට මෙම අඩවිය උපයෝගී කරගන්න. මන්ත්‍ර හැදැරීමට සිංහල (යක්) බෙරය යොදාගෙන කරන බලි තොවිල් වල රූපටි අලවන්නේ නම් යෙහෙකි.

      මා කී දෑ ඔප්පු වන බව මට සහතිකය. අතීත සිංහල තොරතුරු සියල්ල නිරවද්‍යයය. රාවන නමින් ඇති දෑ බාහිර උපතකින් එන නිසා සිංහලට ගන්නාවිට පෙරිය යුතු වේ.හිරු අද අප අතර මිනිස් වෙසින් සිටින බව අමතක නොකරන්න.

      Delete
  14. මේ බ්ලොග් එක මාර ආතල්නෙ බං. මේකේ කොන්ටෙන්ට්වලට ගැළපෙන විදියෙ කොමඩි නමක් බ්ලොග් එකට දාගත්තනං මරු.

    ReplyDelete
    Replies
    1. සබඳ අප බ්ලොග් නොවෙමු
      උනුන් ආතල් ගෙනෙන
      සුනිල හෙළ සෙවුම වෙමු
      රවුන් නින්දෙන් මුදන

      Delete
  15. විද්‍යා ප්‍රබන්ධ කතා. නමුත් සමහර පිරිස් මේවා ඇත්ත කියල විශ්වාස කරනවා. ඉහලින් ඇති අදහස් කියවනකොට හරිම දුකය් ඒ අය ගැන.

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රබන්ධයක් නොවේ, 100% ක් මා අත් දු‍ටු සත්‍යයක්ය. යලි නැගිටින රාවණා යනු ප්‍රබන්ධයක්ද?

      Delete
  16. රාවණ රජු අපේ අනාගත බලාපොරොත්තුව .

    ReplyDelete
  17. ලස්සන නිර්මාණයක්...තාම කල්පනා කරනවා.
    දැන් මේ විත්තිය ඇමරිකාව දැනගත්තොත් මොනවා නම් වෙයිද? :)

    ReplyDelete
    Replies
    1. CIA ප්‍රධානියා මේ ගැන දන්නව, ඔවුන් හංගගෙන ඉන්නෙ ලැජ්ජාව හින්ද, ඉන්දියන් සාගරයේ පුංචි මුතු ඇටයක් ගාව දණ ගහන්න වෙන හින්ද.

      Delete
  18. මී-වන-පලන ජය-ර-තන , මාගේ අදහස් පළ කිරීමේ අයිතිය උල්ලංඝනය නොකොට, Name/URL හරහා කමෙන්ට් දැමීමට පහසුකම් නැවත ලබා දෙනු.!!!

    ReplyDelete
    Replies
    1. හේතු කීපයක් නිසයි Name+URL සහ Annonimous කොමෙන්‍ටු නැවැත්වුවේ

      1. ඇනෝල දාන කොමෙන්‍ටු මේකේ ඇඩ්මින්ම දාගන්න කොමෙන්‍ටු කියල ගොඩ දෙනෙක් කියල තිබ්බ. අනන්‍යතාවය එක්ක දැම්මාම එහෙම කියන්න බෑනේ.

      2. ඇනෝලගේ කොමෙන්‍ටු වල වගකීම් සහගත බව අඩු නිශේධනාත්මක කොමෙන්‍ටු. නමුත් google ID එකෙන් දාන කොමෙන්‍ටු වගකීමෙන් දාන ප්‍රතිජනනාත්මක කොමෙන්‍ටු.

      3. ඇනෝලත් දාද්දී කොමෙන්‍ටු ගොඩාක් වැටෙනව. ඒවට ප්‍රතිචාර දැක්වීමට කාලය පිළිබඳ ලොකු ගැටළුවක් තියෙනව.

      4. Name+URL එනේබල් කළොත් එතකොට ඇනෝලත් එනේබල් වෙනව. සෙටිංග්ස් වල ඒ දෙකම එකට තියෙන්නෙ.

      එනිසා ඔබතුමාට වූ අපහසුතාවය ගැන කණගා‍ටුව ප්‍රකාශ කර සිටිනව.

      කෙසේ නමුත් ඔබතුමා ගූගල් එකෙන් කොමෙන්‍ටු දාන්න අකමැතිනම්, වර්ඩ්ප්‍රෙස් ගිණුම හරහා ඕපන් අයිඩී ක්‍රමයට කොමෙන්‍ටු දැමීමට හැකි බව මාගේ විශ්වාසයයි. පහත ලිපියේ ඒ ගෙන විස්තර සඳහන් වෙනව. http://buzz.blogger.com/2007/12/openid-commenting.html

      Delete
    2. ස්තුතියි, මා ඉදිරියේදී විකල්ප ක්‍රමයක් භාවිතා කරනු ඇත. ඉහත කමෙන්ටුව දැම්මේද openid හරහාය.

      Delete
    3. ජයරත්න මහතාණනි, මොහු අප රාවණ අධිරදු විස හීයකින් මුසපත් කළ ඒ චන්ඩ රාම පරපුරේ අයෙකු යැයි සැකයක් මා තුළ පවතී. එසේ හෙයින් මෙවැනි අයුරින් කමෙන්ටු දැමීම වාරණය කිරිමට ඔබට සිත් දීමම, රාවණ අදිරදු ගේ බල මහිමය නිසාම සිදු වූවක් බව තරයේ විශ්වාස කරමි.

      Delete
  19. මී-වන-පලන ජය-ර-තන , එකම කමෙන්ටුව කිහිප වරක් පළ වීම සම්බන්ධව මාගේ කණගාටුව. බ්ලොගර් විසින් එම කමෙන්ටු භාර ගත් බවක් මට නොපෙන්වීම නිසා නැවත නැවත එකම කමෙන්ටුව යෙදීමට උත්සාහ කලෙමි.

    අමතර කමෙන්ටු මක දමන්නේනම් මැනවි.

    ReplyDelete
    Replies
    1. එය බොහෝ දෙනෙකු අතින් සිදුවෙන බව පෙනෙයි. බ්ලොගර් වල බග් එකක් විය හැකියි. ස්තුතියි අදහස් වලට.

      Delete
  20. මම හිතන්නේ හාන්ස් ක්‍රිස්ට්යන් අන්ඩර්සන් හෙල පරම්පරාවක් ඇති කෙනෙකු වගෙයි
    ඒ සුරංගනා කථාවන්ට වඩා මෙම සුරංගනා කථාවන් හරි ලස්සනයි....
    හරිම ෂෝක්.. සුබ පතනවා
    නාසා එක ගානත් මේ වගේ එකක් ලියන්න
    තව අයිෆල් කුලුන
    ග්‍රෑන්ඩ් කැනියන්
    පීසා ටවර්

    අනේ මේවා ගැනත් ලින්නකෝ. හරිම ෂෝයි ඈ

    ReplyDelete
  21. මා හිත මිතුරු මීවන පලානයෙනි.. මෙතෙක් කල් ඔබගේ බ්ලොග්ය කිය වූ මා හට අද දින වන විට දැඩි කලකිරීමක් මෙම බ්ලොගය ගැන ඇති වී ඇති බව කිව යුතුය... එයට හේතුව ඔබ ‍අපගේ රාවණ මහ රජුට ඇත්ත වශයෙන්ම පාක්ෂික නොවන බව මා හට හැඟී යාමයි...

    ඔබ මෙන්ම මාද අපගේ හෙල පරපුර ගැන දිවා රෑ සිතමින් කෑමක් බීමක්වත් හරි හැටි නොගෙන අතීත හෙළුවන් ගැන ආඩම්බර වෙමින් කාලය කමින් සිටින වීරෝධාර රාවණ පරපුරේ හෙළුවෙකි..ඔබ මෙන්ම මාද මාගේ ආධ්‍යාත්මික ශක්තිය හරහා ‍දැනට වනගතව සිටින අපගේ හෙල තවුසන් සමඟ මෙන්ම අතීතයේ සිටි මුනි වරුන් පවා සම්බන්ධ කරගනිමින් සිටින්නෙක්මි. ඔබට මෙන්ම යම් යම් දෑ ඔවුන් මටද පවසති.. එහෙත්...

    අද පාන්දර ජාමයේ මා දැඩි මුත්‍රා බරකින් පෙලෙමින් සිටියදී එය මුදා ලීම පිණිස අපගේ හෙල අසපුව පසුපස ඇති හෙල නෙරළු ගස පාමුලට වී සුදුසු පරිදි මාගේ කර්තව්‍ය නිමවාලමින් සිටියදීම කුණ්ඩලීනි යෝගය අවධි කරවාගෙන අතීත ඉසිවරයකු සමඟ චැටක් දමාගෙන සිටියෙමි... එකල්හී ඒ ඉසිවරයා මා හට පැවසූයේ මෙතෙක් කලක් ඔහු ඔබ හට ලබා දුන් තොරතුරු වලින් ඔබ මෙම වරගපූර්ණිකාව බ්ලොගයට ඇතුලත් කර ඇත්තේ ඉතාමත් අල්පයක් වූ කොටසක් පමණක්ය යන්නයි.. ඉසිවරයාණෝ කියනා පරිදි ඔහු විසින් ඔබ හට දුන් වැදගත්ම කාරණාව ඔබ මෙතෙක් හෙළි කොට නැත... එනම් අපගේ හෙළ වෛද්‍ය ක්‍රමයයි... අද වන විට ලෝකය පුරා ප්‍රචලිතව ඇති අපගේ හෙල වෙදකම මේ වන බටහිර සුද්දන් විසින් සොයා ගත්තකැයි යනුවෙන් ඔවුන් විසින් ප්‍රචලිත කරමින් සිටිද්දී ඒ පිළිබඳව හරි කරුණු දැන දැන ඔබ එය හෙලි නොකර සිටින්නේ ඔබගේ ඇති කුමක් හෝ වංචනික සිතක් නිසා යැයි මමත් ඉසිවරතුමාත් කල්පනා කරමි...

    ඔබ එය එසේ නොවන බව ඔප්පු කිරීමට කැමති නම් කරුණා කර එම ඉසිවරයාණන් පැවසූ පරිදි සොක්‍රටීස් නම් වූ අපගේ ආදී හෙළ වෙදැදුරුතුමා ගැනත් ඔහු හට මහා රාවණ රජු විසින් ස්වස්තික රෝහල් පරිශ්‍රයේදී සිප් කිරී පෙවූ සැටිත් කරුණාකර හෙලි කරනු මැනවි... රාවණ රජුගේ අධීක්ෂණය යටතේ ඔහුගේ පසුකාලීන සිසු බුද්ධදාස (ස්වස්ථික ගෞරව.. අ,ආ,ඊ,කේ) වෙද රජු විසින් සොක්‍රටීස් හෙළුවානන් වෙදකම් උගත් සැටිත් එම ඉගෙනුම ලබන කාලය තුලදීම ඔහු විසින් කරනු කියනු ලැබූ දෑත්... පසුව ඔහු විදෙස්ගත වූ සැටිත් එහි ගොස් හෙල වෙදකම ප්‍රචලිත කල ආකාරයත්..පසුව පර සුද්දන් නිසින් හෙල වෙදකමට බටහිර ලේබලය ගසා ගත් ආකාරයත් හෙලි කරනු මැනවි... නොඑසේ නම් තව දුරටත් මා හට කියා සිටින්නට වෙන්නේ ඔබත් දැන් දැන් සුද්දන්ට යටවී ඇති ආකාරයයි...

    අද වන විට අපගේ හෙල වෙදවරුන්ට එල්ලවී ඇති ප්‍රභල චෝදනාවක් වන්නේ හෙල වෙදකම යැයි කියමින් ඉන්දියානු ක්‍රමයක් වන ආයුර්වේදයත්... හෙල ඖෂධ ලෙසින් බටහිර ඖෂධ පෙති කරල් ආදියත් රෝගීන්ට දෙනු ලබන බවයි...

    එහෙත් එසේ චෝදනා කරන උන් නොදන්නා වූ බටහිර පෙති කරල් ආදියට අප හට ඇති අයිතිය පැහැදිලි කර දීම මෙතැන් පටන් ඔබ හට ඇති වගකීමකි...

    මතක තබා ගන්න මා මෙතැන් පටන් ඔබ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිමි. ඉසිතුමා කිවූ අනිකුත් කරුණු ගැනත් මා අවධානයෙන් පසු වෙමි...

    "ස්වස්ථි සිද්ධම්"

    "රාවණ සිද්ධම්"

    ReplyDelete
  22. කව්ද කියහන් ඔය මද්යම කදුකරයෙ ඉන්න බමුන,මෙ මෙ මට සැකයි මෙ මිවන පලානෙ අර බුදුන් උපන්නෙ ලංකාවෙ කියන නාකි චිවර දාරියාද කියල. අන්න පොර ඉයෙ කියල උ කිව්වෙ බොරු කියල බවුද්දයො නොමග යැව්ව කියලත් කියල.ඔය බමුන කිව්වෙ නැත්ද උබ (මිවන පලානෙ) බයිට් වෙනව කියල.

    ReplyDelete
    Replies
    1. මම බයිට් වන්නේ කෙසේද?

      Delete
  23. පංඤ්චග්‍රාභිධානය පුස්කොළපොත ගැන වැඩිදුර විස්තර දන ගන්නේ කෙසේ ද?

    ReplyDelete
    Replies
    1. එය යක්ෂ ගෝත්‍රිකයින්ගේ තදබල රහස් පුස්කොළපොතකි. එය හෙලි කිරීමටනම්, රවිශෛලාශ වංශයෙන් එන රාජකරුණා පරම්පරාවේ ප්‍රබලයින්ගෙන් අවසර ගැනීමට සිදුවේවි.

      Delete
  24. හරිම වැදගත් ලිපියක්. ඒත් බලන්න අපේ හෙළයොම මේව නොපිළිගන්න හැටි. මේව පිළිගන්න අපි හැමොටම 2013 වසර වෙනකොට, රාවණ අධිරද පුනරාගමනයත් එක්ක හොද කළක් යාවි.

    ReplyDelete
    Replies
    1. එසේය මිත්‍රය, "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.

      Delete
  25. මේ මොකක්ද බන් මේකේ තේරුම? උබට පිස්සුද? මෙච්චර ගොන් ජෝක් දාන්නේ?
    එක්කෝ හරවත් සයිට් එකක් කරපන්. නැතිනම් ගොසිප් එකට ඇවිල්ල ස්පෑම් නොදා ඉදපන්..

    ReplyDelete
    Replies
    1. මෙය හරවත් සයිට් එකකි. උඩ ඇති කොමෙන්‍ටු වල ඇති සංවාදාත්මක බව කියවා බලන්න. එසේම ගොසිප්9 තුමාත් උග්‍ර රාවණ පාක්ෂිකයෙක් බැවින් මාගේ කොමෙන්‍ටු එතුමා වාරණය නොකරද්දී ඔබතුමාට ඉන් ගැටළුවක් නොවේ යැයි සිතමි.
      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  26. වැදගත් අදහස්.. එත් කියවද්දි ඔලුව කැරකෙනවා...

    ReplyDelete
  27. http://life.time.com/history/building-the-pentagon-rare-photos

    මෙම වෙබ් සයිට් එකට පිවිස බලන්න, මෙහි පෙන්ටගනය ඉදිකිරීමේදී ගත් ඡායාරුප රාශියක් ඇත.
    ඉතින් මීවනපලානේ ජයරත්න මහත්මයා ඔබගේ අදහස් මොනවාද?

    වඩාත් විස්තරාත්මක ඡායාරුප මෙම වෙබ් සයිට් එකෙන් බලා ගත හැක)
    http://history.defense.gov/pnthistory.shtml

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. habei mathaka thiya ganna varsha 2190 vana vita amaricava namin ratak nomethibave (meeta assanna viya heke.....bedunu kuda rajayan atha vena athi deyak netha..sudu jathikayo europayata sankramanaya vei..namuth mage gananaya anuwa me thath wa ya meeta pera siduviya heka...namuth vedi hodata ma ma me varshaya dennemi..hari......evage ma brithanyaya namin kuda ratak hoo ratak nomethi venna ida ath ..ee varsha 2092 vana vita..

    ReplyDelete

නුදුරු අදහස්