Monday, October 8, 2012

T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි

පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතු‍ටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල හිතෙනව ඇති, එහෙනම් කියවලම බලන්නකෝ.

මා නිතරම පවසා ඇති දෙයකින් කතාව පටන් ගන්නම්. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව අප්‍රිකාව යනු, හෙළ නිරි‍ඳෙක් වූ තාරක රජතුමාට අප්‍රිය වූ කාපිරියන්ව ගෙන ගොස් දැමූ බිමයි. එනම් අප්‍රිය+කාපිරියන්ව=අප්‍රිකාව ලෙස වර නැගුණා.

අහුබුදුවන්ට අනුව වායු+රිය+තො‍ටුපොළ ලෙස වරනැගුණ වාරියපොළ අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළෙන් ගුවනට පැන නැගුණ දඬුමොණර යානාවන්, අප්‍රිකාව යනුවෙන් අද හැඳින්වෙන බිමට ගුවනින් ගෙන ගොස් දැමූ කාපිරියන් යනු වෙනත් ග්‍රහලෝකය අය නොව අප රටේම සිටි තාරක රජතුමාට අප්‍රිය වූ හෙළයිනුයි. වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතට අනුව කාපිරියන් යනු, කා=කාලකන්නි, පිරි=පිරිහුනු, යන්=යන්තරකාරයෝ.

නිවැරදිව ලෝක ඉතිහාසය නොදන්නා ඇංකරයින්ට අනුව අධිරාජ්‍යවාදී යුරෝපීයයන් විසින් කැරිබියන් දූපත් වල ජනතාව පදිංචි කල බව දැක්වුණත් ඇත්තටම ඒ රටට කාපිරියන් පැමිණියේ රාවණා යුගයේදීමයි. තාරක රජතුමා විසින් අප්‍රිකාවට ගෙන ගොස් දැමූ "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" සියවස් කීපයක්ම තම යන්තර මන්තර වැඩ කරගනිමින් නොබියව සිටියත් පසුව ඔවුන්ගෙන් පිරිසකට ලොකු බියක් ඇති වුණා. එම බිය නිසා ඔවුන් ලෝකයේ දුෂ්ඨ අක්ෂය ලෙස හැඳින්වෙන බර්මියුඩා ත්‍රිකෝණය පැත්තට නැව් මගින් පලා ගිය අතර ඔවුන් අවසානයේදී නැංගුරම් ලෑ දූපත් සමූහය "කැරි බියන්" ලෙස නම් කළා. තාමත් එම නම භාවිතා වීම හෙළයින් වන අපට ආඩම්බරයක් නේද?

"හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇති බවත්" හෙළයින් පැවත එන්නේ හෝමෝ ඉරෙක්ටස් ලාගෙන් බවත් මීට කලින් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඇත්තටම අද වන විට හෙළදිවේ සිටින හෙළයින්ගේ රූපය මුල් "ඉරේ කට අස්" හෙළයින්ගෙන් වෙනස් වී තිබුණත් කැරිබියෙන් හෙළයින්ගේ "ඉරේ කට අස්" රූප්ශ්‍රීය අද දක්වාම නොනැසී පවතිනවා. උදාහරණ ලෙස ක්‍රිස් ගේ එල් මහතාගේ රූපය "ඉරේ කට අස්" හෙළයින්ට සමාන වෙන අකාරය බලන්න.


අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා අප්‍රිකාවෙන් බිය වී පලා ගිය කාපිරියන්මයි. මේ අනුව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ හෙළයින් ම බව ඔබට පැහැදිළි ඇති.

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත් වූ වෙස්ටින්ඩියානු හෙළයින්ට ඊට පහුවෙනිදා හාල්, පරිප්පු, ඩීසල්, බූමිතෙල් මිල වැඩි වීමටකත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.

පසුගිය තරගාවලිය ගැනත් කෙටියෙන් ටීකාවක් සපයන්නම්. මුලින්ම කිවහොත්, අප ශ්‍රී රාවණ පාක්ෂිකයින්ගේ ප්‍රධානතම සතුරා වන පාහර ඉන්දියානුවන් ලෝක කුසලානය පරාද වූයේ මේ දෙසැම්බර් මාසයේ නැගිටින ශ්‍රී රාවණ රජතුමාගේ බල මහිමය නිසාමයි. හෙළදිවටම විත් අපට අභියෝග කිරීමට උන් හිතුවා මදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට මූලිකම හේතුව ලෙස රාවණා ආගමිකයෙක් වන මා පමණක් නොව, සියලුම ආගම් ප්‍රතික්ෂේප කර නූතන විද්‍යාව පමණක් පිළිගන්නා සියල්ලන්ම දකින්නේ මහින්ද රාජපක්ෂ එහි පැමිණීමයි. එහෙම නැතිව පන්දුවාර 12ට ලකුණු 48ක් ගහල තිබ්බ කොදෙව් කණඩායම 137ක් ගහන්න මාලන් සැමුවෙල්ස් පටන් ගැනීම හෝ, ලසිත් මාලිංගට දිගට හරහට හයේ ඒවායින් නෙලද්දීත් මහේල ජයවර්ධන විසින් ඔහුව ඕවර් 4 ම බෝල් කිරීමට දැමීම නිසා මාලිංගට ලකුණු 54 ක්ම නෙලීම නෙලීම හෝ, මහින්ද රාජපක්ෂ පිටියට පැමිණීමටත් පෙරදීම තිලකරත්න දිල්ෂාන් බින්දුවට දැවී යාම ඇතුළුව ශ්‍රී ලංකා පිතිකරුවන් ජීවිතයේ මුල් වරට ක්‍රිකට් ගහන්නා වාගේ නොසැලකිල්ලෙන් ක්‍රිකට් ගැසීම නිසා නොවෙයි.


මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දමාගෙන පැමිණීමත්, ක්‍රීඩකයින් කිසිවෙක් එලෙස කුරහන් සාටකයක් දමාගෙන නොසිටීමත් නිසා ක්‍රිඩා පිටියේ තිබූ විශ්ව ශක්තිය බිඳී ගියා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ක්‍රිකට් තරග බැලීමට නොපැමිණිය යුතු බව මාගේ යෝජනාවයි. පැමිණෙනවානම් මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය ගලවා දමා පැමිණිය යුතු අතර එසේ බැරිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට කුරහන් සාටක පළන්ඳවා ක්‍රීඩා කරවීම මෙයට විසඳුමයි. "ජනසේනා" වැනි ආශ්චර්යයේ පෙරගමන්කරුවන්ට මේ දේ නොවැටහීම කරුමයක්ම තමයි.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම දිනුව පසුව ඔවුන්ගේ අපූරු රංගනය ඔබ දකින්න ඇති. ඔවුන් එහිදී නටා පෙන්වූයේ හෙළයින්ගේ පහත රට නර්තනය ආශ්‍රයෙන් රාවණ රජතුමා අතීත කැරිබියන් දූපත්වාසී හෙළයින්ට ඉගැන්වූ "ගුවා ඩිෂු මුබු‍ටු" නැමති සම්ප්‍රදායික නර්තනයයි. ඉන් පසුව ක්‍රිස් ගේ එල් විසින් "හූ උටා බුම් බුම්" නැමැති දඟර නැ‍ටුමත් නටා පෙන්වනවා ඔබ දකින්නට ඇති. ලෝක කුසලාන තරගයක් දිනූ පසු කිසිදා හෙළ නර්තනයක් රඟ දක්වා ශ්‍රී රාවණ නමස්කාරය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙළ යකුන්ගේ ශාපය වැදී ඇති බව, ලංකා සි නිවුස් වෙත අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වාසය කරන මාගේ ගුරුදේව තාපස තුමා පැවසුවා.

නර්තනයට පසුව වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයින් තිදෙනෙක් එක්ව ශ්‍රී රාවණ මන්ත්‍රයක් මතුරනවාත් ඔබ අසන්නට ඇති. පහත වීඩියෝ එකේ විනාඩි 2 යි තත්ත්පර 7 සිට එය ශ්‍රවණය කරන්න.



"තරිඩි ගිරි ගිරි ඩෙන්න ඩන්නෙ ඩාබුඩින් බබිඩි බිරි බිරි ඩෙන් බම් බඩා..." "චෙජෙ කා ච චා..." "ශ්‍රී කූ ලංකා මසෙබා..." බලන්න කළගුණ දත් ඒ කැරිබියන් හෙළයින් එදා මුළු ලොවටම ඇහෙන්න හඬ නගා ප්‍රනාමය පුද කළේ අප ශ්‍රී රාවණ රජතුමාටයි.  වර්ගපූර්ණිකාවෙන් බොහෝ පද නිරුක්තීන් අධ්‍යයනය කර ඇති ඔබට එම මන්ත්‍රය නිරුක්ති කිරීමට පුළුවන් ඇති, උත්සාහයක් ගෙන බලන්න.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ලංකාවට පැමිණි පසුව වාරණ විහාරයට (පද පෙරලූ විට , රාවණ විහාරයට) ගොස් ආගමික වතාවත් කළ බවත්, තරගයෙන් දින්නොත් බාර්බඩෝස් දිවයිනේ රාවණ දේවාලයක් හදන බවට එහිදී බාරයක් වුණ බවත්,  සෑම ක්‍රීඩකයෙක්ම යටි බඩේ කුණ්ඩලීනී යෝගය සහිත රාවණ යන්තරයක් සවි කරගෙන සිටින බවත්,  තරගය අවසන් වූ වහාම වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් නායකා, කුසලානයත් ‍රැගෙන රාවණ කො‍ටුවට ගොස් බාරය ඔප්පු කළ බවත්, මාධ්‍ය වලට වාර්තා නොකළේ ඒ නිරහංකාර හෙළයින්ට අනවශ්‍ය ජනප්‍රියත්වයක් වුවමනා නැති නිසයි. අන්න ඒක තමයි ලෝකයේ කොතනක සිටියත් හෙළයින්ගේ තිබෙන අපූර්වත්වය.

වෙස්ට් ඉන්දීස් හෙළ යක් නායකයා රාවන කොටුවට ගොස් සිය බාර ඔප්පු කල අයුරු. පින්තූරය අප වෙත ලබා දුන්නේ Achala Fidel මිතුරායි.

කාපිරියන් යනු "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" ලෙස මා මුලදී පෙන්වා දුන්නා ඔබට මතක ඇති. නමුත් කැරිබියන් දූපත් වල සිටින කාපිරියන් ගේ ඒ පිරිහීම නැති වී නැවතත් ඔවුන් යන්තර-මන්තර වලින් පොහොසත් වී ඇති බව ඔබට මනාව පැහැදිළි වෙනවා නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Wednesday, October 3, 2012

බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.

කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි.

ඊට අනුව මායා කොසු හතක් ‍තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා බසය ඇද්දවීමට හැකියාව තිබුණි.

හඳ පායා ඇති දින වලදී හෙළ පුස්කොළපොත් කියවූ මා වැනි වැඩිහිටි උදවියට බසයකට ගොඩ වුණ ගමන් සිතෙන්නේ, බස් එක කොහුවලින් දුවන බවයි. බටකොල ආච්චී හෙළ යකිනිය විසින් "කොහුවලින්" ධාවනය වන හෙළබස් තාක්ෂණය මුල් වරට හඳුන්වා දුන් ගම්මානය අදටත් "කොහුවල" ලෙස හැඳින්වෙයි. රාවණ රජ සමයේ කොහුවල ප්‍රධානතම බස් නැවතුම් පොළ බවට පත් විය.

පින්තූරය උපුටා ගත්තේ "Chat Room" වත්පොත් පි‍ටුවෙනි.

අරිසෙන් අහුබුදු වන්ට අනුව වාරියපොළ යනු, වා=වාතයෙන්, රිය=රථ, පොළ=තො‍ටුපොළ හෙවත් වාතයෙන් යන රථ පොළ ලෙස හැඳින්වෙන දඬුමොණර ගුවන් යාත්‍රාංගනයක් බවත් ඔබට මතක ඇති. කොහුවල සිට වාරියපොළට ගමන් මාර්ගයක් ඇති නිසා අතීත හෙළයින්ගේ මහා මාර්ග ප්‍රවාහනය සහ ගුවන් ප්‍රවාහනය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් පැහැදිළි වෙයි.

හෙළ ගවේශකයින් පවසන පරිදි රාවනා ඇල්ල අසලින් හමුවූ උමගේ සිට රාවනා ඇල්ලට කිලෝමීටර් ගණනාවක් දිග මාර්ගයක් තිබෙන නිසා එම උමග රාවණා රජතුමාගේ බව තහවුරු වෙයි. එසේම, වාරියපොළ සිට කොහුවලටත් මාර්ගයක් තිබෙන නිසා කොහුවලත් රාවණ රජතුමාගේ බවට තවත් මූලාශ්‍රයකි.

 නුගේගොඩ ගුවන් පාලම හැදීමට මාර්ගය හාරද්දී එතැනින් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙසේ දැක්වෙයි. "කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග". එහි තේරුම මෙලෙස දැක්විය හැකියි. "කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙ‍ටු පුත් පැළ කළ නුග ගස". එම සෙල් ලිපි මූලාශ්‍රය අනුවද රාවණ රජ සමයේ තිබූ කොහුවල හෙළ බස් නැවතුම්පොළ ගැන පැහැදිළි වෙයි.

එදා හෙළයින්ට තිබූ බස් තාක්ෂණය අද හෙළයින්ටත් තිබෙන හැටි පහත රූපයෙන් ඔබට දිස් වෙනු ඇත. පර සුද්දන්ගේ සම්බැරීන් දියේ පමණක් ගමන් කරද්දී, හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය දෙස බලන කල අපගේ තනි නෙතගට කඳුළක් එක් නොකරන්නේද?


ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
Read More...

නුදුරු අදහස්