Monday, July 30, 2012

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයින් තනන ලද (ආදම්ගේ) පාලම.

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින්1 හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව2 තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.

මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි3 පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන්4 පවා එම මතයම පිළිගෙන ඇත.

මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල5 දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

හෙළයෙක් බ්ලොග් අඩවියෙන් ඉහත ලිපිය උපුටා දක්වා ඇත. ඉහත දැක්වෙන ඉතාමත් නිවැරදිව පුරාවිද්‍යාත්මකව තහවුරු වූ කරුණු ටික මා කිව්වානම්, ලොම් කෙලින් කරගෙන දත් විලිස්සාගෙන බුරාගෙන පනින රාවණ විරෝධීන් දැන්වත් සත්‍යය අවබෝධ කරගත යුතුය. පාහර රාවණාවිරෝධීනි, තොපිලව බලු බෙටි කන තත්ත්වයට පත් වීම ආරම්භ වූවා පමණයි. 2012 අගදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නැගිටීමත් සමග මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ අනාවැකි සඵල වීම නිසා රාවණවිරෝධීන් තම වස්ත්‍රවලම සුළු දිය පෙරාගනු ඇත.

ඉහත පුවත් 100% ක් සත්‍ය බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී ඇති නිසා රාවණ චරිතය සත්‍යයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි. ඒ අතර ඉහත කාරණා ගැන රාවණ විරෝධීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බැවින් තවත් අ‍ටුවා කීපයක්ද මෙලෙස වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්විය යුතුය.

1. ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව නාසා ආයතනය පවසා ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?

2. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනය පිළිගෙන ඇති අතර ඒ ගැන නාසා වෙබ් අඩවියේ කිසිවක් සඳහන් නොකළේ පාහර ඉන්දියානු රජය ඒ ගැන දැක්වීමට විරුද්ධ වූ නිසයි. එය පසුපස බමුණන්ගේ කුමන්ත්‍රණයක් තිබේ.

3. අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී.

අපට මෙතෙක් උගන්වා තිබුණේ පාලම හැදුවේ රාමගේ වඳුරු නඩය බවයි. නමුත් එය වැරදිය. පාලම හදා ඇත්තේ රාවණ රජතුමාය. රාවණපාක්ෂිකයින් එය ප්‍රකාශ කරන නිසා තවත් මූලාශ්‍ර කිමට?

4. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. නමුත් එම ඉන්දියානු විද්වතුන්ට පාහර බමුණන්ගෙන් තිබෙන ජීවිත තර්ජන නිසා එම විද්වතුනුත් මා (මීවනපළානේ ජයරත්න) මෙන්ම සැඟවී සිටී.

5. රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. නමුත් ඒ පොත් පත් බමුණන් විසින් සොයා ගිණිතැබීමට ඉඩ ඇති බැවින් දැන්ම හෙළි නොකරමු. යථා කාලයේදී සුදුසු පරිදි හෙළි කරන්නෙමු.

6.  රාවණාපාක්ෂිකයින් විසින් එම පාලම "ආදම්ගේ පාලම" ලෙස හැඳින්වීම නිසා ආදම් පුවත පිළිගත්තා වන්නේ නැත.  එසේම රාවණාපාක්ෂිකයින් කිසි විටෙකත් එම පාලම "රාවණාගේ පාලම" ලෙස හඳුන්වන්නේ නැති එකෙන් එය රාවණා විසින් හදන ලද පාලමක් නොවන බව පිළිගැනෙන්නේත් නැත. කෙසේ නමුත් ඉදිරියේදී එය "රාවණාගේ පාලම" ලෙස හඳුන්වමු. ඒ සඳහා ආදර්ශයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන්ම ලබා දෙමු.

7. එම පාලම රාමගේ ආක්‍රමණයට පෙර සාදා තිබුණානම් හනුමාන් ඉන්දියාවේ සිට ලංකාවට පාලම දිගේ එන්නේ නැතිව උඩින් පැන්නේ ඇයිදැයි වැනි මෝඩ ප්‍රශ්න ඇසිය යුතුත් නැත. මන්ද යත් පාලම් තිබුනත් වඳුරන් පැනීමට කැමති නිසා ඔහු පැන ඇත.


අප රට වැනසූ ආක්‍රමණිකයාට පවා අප රටට පැමිණීමට හෙළයින්ගේම "රාවණ පාලම" හිඟා කෑමට සිදුවීම යන කාරණාවෙන් හෙළයින්ගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පැහැදිළි වෙයි. එය අපට ඉමහත් ආඩම්බරයක් නොවන්නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Sunday, July 29, 2012

දඬුමොණරයට අපහාස කළ රාවණ විරෝධියෙකුට පිළිතුරු.

මේ රාවනාගෙ දඩු මොනරේ කිසිම පහසුකමක් නැති යානවක්නෙ.. පයිලට්ට වාඩි වෙන්න සීට් එකක්වත් නැහැ. රයිට් සහොදරයො හදපු මුල්ම යානය මිට වඩා පහසුවෙන් පදින්න පුලුවන් ඇති. ඔහොම කක්ක කරන්න වගෙ බාගෙට වාඩි වෙලා ගුවන් යානයක් එලවන්න පුලුවන්ද? දන්න නිසා අහන්නෙ? සාමන්යෙන් පැයට කිලොමිටර් 300 වේගෙන් යනකොට ඔහොම හිටගෙන ඉන්න බැහැ..හුලන්පාරට ගහගෙන යයි පයිලට්ව. රාවන ඔක පැද්දා නම් ඌ හුලගේ ගහගෙන යනවා සුවර්. එහෙම නොවන්න නම් ඔකේ ටොප් ස්පිඩ් එක 100 ට අඩු ඇති. ශබ්ද වේගය පරදවා යනකොට එන වායු ගෝලිය ඝර්ශනය රියම් උනු කරන්න වුනත් ප්‍රමානවත්.මෙහෙම ලී කැලි අටොපු ලඩරමක් ශබ්ද වෙගෙන් ගියොත් වාශ්ප වෙවී. තො ගුවන් යානා ගැන මුලික දෙවල් වත් දන්නවානම් රාවනාගෙ යානය කියල මෙහෙම ලි වලින් හදපු ලඩරමක් ඉඩිරිපත් කරන්නෙ නැහ. අනෙක් තොගෙ පින්තුරෙ යානවට කිසිම අවරනයක් නැහැ. වැස්සක් අවොත් ඔකෙ යන ඔක්කොම තෙමිච්ච කුකුලො වගෙ ඉදිවි. උබ ටොම් පචයෙක්..

ශ්‍රී රාවණ රජතුමාටත් හෙළයින්ගේ ඉපැරණි අභිමානවත් යුධ අවි තාක්ෂණයටත් නිර්දය ලෙස අපහාස කරමින්, ThinkTwice නැමති උග්‍ර රාවණ විරෝධියෙක් විසින් දමන ලද කොමෙන්‍ටුව දැක මම ඉමහත් කම්පාවට පත් වීමි. ඒ සඳහා බ්ලොග් පෝස්ට් එකකින්ම පිළිතුරු දීමට ඉටා ගතිමි.


ඉහත දැක්වෙන්නේ චක්‍රවර්තී දසිස් රාවණ අධිරාජ්‍යයාගේ "පුෂ්පක විමානය" හෙවත් දඬුමොණරය පිළිබඳව මධ්‍යම කඳුකරයේ භාවනා කරමින් සිටින ධ්‍යානලාභී තාපසතුමන්ලා සහ රාවණ ගවේශකයින් විසින් කරන ලද හෙළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනතුරුව 99%ක් නිවැරදිව අඳින ලද පින්තූරයකි. එහි තාක්ෂණය පිළිබඳ විස්තර අංක පිළිවෙළට විමසා බලමු.

[1] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරය බිමට බෑම සඳහා භාවිතා කරන පාදයයි. වර්තමාන හෙළිකොප්ටරයේ (හෙළ කොප්පරාවේ) පාදත් මෙලෙස බැවින් හෙළිකොප්ටර් හැදුනේත් හෙළකොප්පරා නැමති දඬුමොණර වර්ගයෙන් බව පැහැදිළි වෙයි. දඬුමොණරය බිමට බෑමේදී එම පාද යටට රෝද මතු කිරීමේ හැකියාවක් තිබී ඇති බව, ගුවන්යානා තාක්ෂණය ගැන ඉගැන්වෙන වෛමානිකශාස්ත්‍රය නැමති හෙළ පුස්කොළපොතේ දැක්වේ. (එම පුස්කොළපොත බමුණන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගොස් ඇති බව සූරිය ගුණසේකර මහතා පවසයි). එසේම දඬුමොණරය බිමට බාද්දී එම පාදයන් ඇත් කඳ ලිහිණියෙක්ගේ ආකාරයකට පරිවර්තනය වේ. පසුගිය ලිපියක දැක්වූ පහත කොටස ඔබට මතකද?
අද එංගලන්තය ලෙස හැඳින්වෙන බිම ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.

[2] මෙහි ඇත්තේ බහුකාර්ය තුවක්කුවකි. එමගින් ආකාර 7 කට ප්‍රහාර එල්ල කිරීමට හැකිලු. එනිසා "සත්තප්‍රහාර ශාලමමෘයමඛ්" නමින් එම තුවක්කුව හැඳින්වෙයි. එම ආකාරයන් නම්,
i. ලේසර් ප්‍රහාර එල්ල කිරීම.
ii. අග්නිසර (ප්ලාස්මා ගන්) සහ නාගසර තාක්ෂණයන්ට අනුව යබර බෝම්බ දැමීම.
iii. අකුණු පහරවල් එල්ල කිරීම (එය ක්‍රියා කරන ආකාරය මේඝනාද කුමරා පමණක් දනී.
iv. 50 cal වර්ගයේ මැෂින් වෙඩි තැබීම.
[ඉතිරි තුන මතක නෑ]

"ශාලමමෘයමඛ්" නැමති අවිය පුෂ්පකයේ මෙන්ම ත්‍රිපූර විමානයේත් සවි කළ හැකි අතර එය රාවණා රජතුමා පාවිච්චි කෙරවූ ස්ථානයක් අදටත් "බ්ලැක්බර්න්" ලෙස හැඳින්වෙන අයුරු ඔබට මා කළින් පැවසුවා මතකද? කෙසේ ද යත්,

දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

[3] මෙය දඬුමොණරය ගොඩ බෑ විට හැරවීම සඳහා භාවිතා කරන රොදයයි. ඊට අමතරව එමගින් දඬුමොණරයේ සමබරතාවය ‍රැක ගැනීමත් සිදුකරයි.

[4 සහ 5] මේවා රසදිය තාක්ෂණයෙන් ක්‍රියා කරන ප්‍රතිගුරුත්ව රොකට්‍ටුය. Mercury Vortex Engine ලෙස එය හැඳින්වෙන අතර ඒ සඳහා අවශ්‍ය රසදිය ලබාගත්තේ මධ්‍යම පළාතේ ඇති "ඉවුරවල" නැමැති ගම්මානයේ තිබූ රසදිය නිධියකින්ය.
ඉ=ඉගිලීමට,
වු= වුවමනා,
ර=රසදිය,
වල=වල
ලෙස පද නිරුක්ති කළ විට එහි ඉතිහාසය මතු වෙයි. (ඔය ආකාරයටම වා=වායු, රිය=රථ, පොළ=තො‍ටුපොළ යන පද නිරුක්තිය අනුව වාරියපොළ ග්‍රාමයේ හෙළයින්ගේ දඬුමොණර ගුවන්තො‍ටුපොළක් තිබූ බව අරිසෙන් අහුබුදුවන් පවසයි)

[6] මගින් දැක්වෙන්නේ පුෂ්පක විමානයේ ඉගිලීමට අවශ්‍ය අත් ත‍ටුය. ඒවා සාදා ඇත්තේ ටයිටේනියම් නැමති ලෝහයෙන්ය. රාවණ රජතුමා වීස්න් ටයිටේනියම් ලෝකය පරසක්වලින් ආනයනය කළ බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. රාවණ යුගයේදී ටයිටේනියම් ලෝකය ගුවන් යානා හැදීමට වඩා ටක හැදීමට යොදා ගත්තේ එයට ගැසීමෙන් ලැබෙන අධික ශබ්දය හේතුවෙනි. එනිසා එය "ටයිටේනියම්" නමින් හැඳින්වීමේ අරුත වූයේ,
ට= ටකය
යිටේ=ය+ඉ= යථාලෙස ඉදිකිරීම
ටේ=ට+ඒ= ට ඒකාකාරීව
නි=නිෂ්පාදනයට,
යම්=යම්තම්.
"ටකය යථාලෙස ඉදිකිරීම ට ඒකාකාරීව නිෂ්පාදනයට යම්තම්". බලන්න එක හෙළ වචනයක ගැබ් වී ඇති විශාල අරුත. රාවණ රජතුමාගේ කාලයේ හෙළයෝ කෙතරම් දියුණු වන්නට ඇත්ද?

[7] දිශාමාපකය ලෙස මෙය හැඳින්වෙයි. දඬුමොණරයේ දිශාව නිර්ණය කිරීමට හෙවත් එය ගුවනේදී හැරවීම සඳහා මෙය භාවිතා කරයි. එය සාදා ඇත්තේ ජීවම් කරල ලද මඩු වලිගයක් පදම් කිරීමෙන් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. එවිට එය ටයිටේනියම් ලෝහය මෙන්ම ශක්තිමත් වන අතර වඩාත් සැහැල්ලු තාවයක් දක්වයි.

[8] මෙමගින් දැක්වෙන්නේ රාවණ ධජයයි. වර්තමානේයේ ඇති කිසිදු ප්‍රහාරක ගුවන් යානයක මෙලෙස කොඩියක් සවි කිරීමට තරම් තාක්ෂණ දියුණුවක් නොමැත. යම් හෙයකින් F35 වැනි ගුවන් යානයක පසුපස කොඩියක් සවි කළහොත් එය ගුවන් ගත වෙත්ම දැවී යයි. නමුත් රාවණ රජතුමාගේ දඬුමොණරය කොතරම් වේගයකින් ගියත් රාවණ ධජය නොදැවෙන්නේ එම කොඩිය සුවිශේෂී රාවණ තාක්ෂණයකින් "හඩු කර" ඇති බැවිනි. වර්තමානයේදීත් ඒ දැනුම අපගේ පැ‍රැන්නෝ ළඟ යම්තම් තිබෙන අතර, ඔවුන් සමහර රෙදි දු‍ටු විට රාවණා තාක්ෂණයෙන් හඩු කර අතැයි සිතා මේක ගිණි තිබ්බත් පත්තු වෙන්නේ නෑ යැයි කියන්නේ නිකමට නොවේ.

[9] ගියරය ලෙස මෙය හඳුන්වයි. ගි=ගිනියම, ය=යවන, ර=රසදිය, ය=යටලීය. ඒ අනුව රසදිය දහනය වීම පාලනය කිරීමට මෙය භාවිතා කළ බව සිතාගැනීමට පුළුවන. එසේම දඬුමොණරයේ දිශාව වෙනස් කිරීමටත් මෙය භාවිතා කළත් බොහෝ විට දිශාව වෙනස් කරන්නේ මනසෙන් ලබා දෙන විධානයන්ට අනුවය.

[10] මේ සිටින්නේ අන් කිසිවෙක් නොව ශ්‍රීර් රාවණ අධිරාජ්‍යයායි. හිස් දහයෙන් එතුමාව නිරූපනය වෙයි. එකල දඬුමොණර ගුවන්ගත කිරිමේ අති දක්ෂතම නැවියා වුයේත් රාවණයන්ම නිසා දඬුමොණරයක් ඇඳීමේදී රාවණ රජතුමාවම ඇඳීම සිරිතක් විය. එතුමා වාඩි වී සිටින්නේ අදෘෂ්‍යමාන අසුනකය. යම් හෙයකින් දඬුමොණරයේ කාර්මික දෝෂයක් නිසා ආසනය පිටින්ම පැනසට (පසුකාලයේදී මෙය "පැරෂූට්" ලෙස හඳුන්වන ලදී) එකකින් පැනීමට සිදුවුවහොත් එම ආසනය පොළොවට වැ‍ටුණ විටදී කාටවත් හඳුනාගැනීමට නොහැකිය. නියමුවා වටේටත් අදෘෂ්‍යමාන දියමන්ති ආවරණයක් තිබෙන අතර ඒවා ආළෝකයේ වේගයෙන් ගියත් උණු වන්නේ නැත.

[11] මේ දැක්වෙන්නේ දඬුමොණරයේ හිසයි. එය මොණරෙක්ගේ මෙන්ම ගිරවෙක්ගේ හැඩයත් ගෙන ඇත. නමුත් පොදු ලක්ෂණය වූයේ ඒවාට උල් හොටක් තිබීමයි. වර්තමාන ගුවන් යානා වල ඉදිරිපසත් හොටක් මෙන් උල් වූයේ මෙම දඬුමොණර වල තාක්ෂණය යොදා ගත් නිසාවෙනි.


[12] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරයේ බඳ කොටසයි. මෙය නැවක් ආකාරයට හදා ඇත. Airship යන නම අදත් වාශ්ප ගුවන් යානා වලට භාවිතා කරන්නේ රාවණා රජතුමාගේ දඬුමොණරයේ තිබූ තාක්ෂණයම ඒවාටත් යොදාගත් නිසාය.

[13] මෙමගින් දැක්වෙන්නේ "දඬු" ය. දඬුමොණරයට ඒ නම ලැබුණේත් දඬු වලින් අත් ත‍ටු අලංකාර කර ඇති බැවිනි. එසේම මේ සෑම දණ්ඩක් අගටම තුඩක් ඇති අතර ඒ සියල්ලටම "රත්වැල්" (රත්වැල් ලබාගත් ස්ථානයක් අදටත් Rothwel ලෙස හැඳින්වෙයි) නැමැති මාරාන්තික විශ යොදා ඇත. එනිසා ගුවන් යානයේ අවි වල උණ්ඩ අවසාන වුවද ඒ විශ යෙදූ හෙළි වලින් ඇණ සතුරාව මරා දැමීමට හැකියාව තිබේ.

අදටත් දඬුමොණරය සබරගමුවේ ඇති බොල්තුඹේ දේවාලයේ ඇත. එම දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කර තිබේ. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වා ඇත. නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බව 100% ක් විශ්වාසවනත අයුරින් ජනප්‍රවාද වල දැක්වෙයි.

බොල්තුඹේ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය

වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ඉහත දැක්වූ පැහැදිළි කිරීම අනුව "ThinkTwice" නැමැති රාවණ විරෝධිට පිළිතුරු ලැබී ඇතැයි සිතමි. හෙළයින්ට අපහාස කිරීමට හදන රාවණා විරෝධීන් ඊට පෙර දෙපාරක් සිතීමට අද සිටවත් සිතාගත යුතුය.
Read More...

Friday, July 27, 2012

රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!

මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් ‍රැගෙන යාමට නොහැකි විය.

අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට මීටර 505 ක් ගැඹුරට වන්නට වන අතර  එහි තිබූ ගල් පෙට්ටගමක් මධ්‍යයේ පිස්තෝල 2 නිදන් කර තිබුණි. එම පිස්තෝල වැඩ කරන්නේ ඉතාමත් පැරණි හෙළ විද්‍යාත්මක ක්‍රමයට වන අතර රසදිය සහ වේද මැතිරීම් ඒ සඳහා යොදා ගනී.

සෑම හෙළ ගවේශකයෙක්නම් ග්‍රැ‍ෆික් නිර්මාණකරනය වඩාත් හොඳින් ඉගෙන ගෙන තිබිය යුතු බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මාත් ග්‍රැ‍ෆික් තාක්ෂණය යම් පමණකට හදාරා ඇත්තෙමි. ඉතින් මාගේ මතකයේ හැටියට එම පිස්තෝල වල පින්තූර නිර්මාණය කළ අතර ඒවා පහත දැක්වෙයි.



එම පිස්තෝල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ආරංචි විය. නමුත් හෙළ ඉතිහාසය හෙළයින්ගෙන් සැඟවීම අපගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍රයක් බවනම් අප හොඳාකාරවම දනිමු. මීට පෙරදී හමුවූ හෙළ ඇටසැකිල්ලට ඔවුන් කළේත් එලෙස එංගලන්තයට යැවීමයි.

කෙසේ නමුත් මාව මවිතයට පත් කරමින් රාවණා රජතුමාට තිබුණ ආකාරයේම පිස්තෝල යුරෝපීයයන්ද භාවිතා කර ඇති බව අන්තර්ජාලය පිරික්සීමේදී දක්නට ලැබුණි. සුද්දන් අප රට යටත් කරගෙන සිටියදී හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් තිබූ හෙළ පොස්කොළපොත් වල තිබූ තාක්ෂණය යොදා ගනිමින් එම පිස්තෝල නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි. 1505 දී සුද්දන් අප රටට ගොඩ බැසීමත් ඒ සමගම යුරෝපයේ පිස්‍තෝල නිෂ්පාදනය ආරම්භ වී 1544 වන විට ප්‍රංශයේත් පිස්තෝල ව්‍යාප්ත වීමත් අතර ඇති සම්බන්ධයෙන් ඔබට එය වඩාත් පැහැදිළි වේවි.

රාවණා රජතුමාට පිස්තෝල නොතිබූ බවට පාහර රාවණවිරෝධීන් පැවසීමට හැකි නිසා සියල්ලන්ගේම දැනගැනීම පිණිස කරුණු කාරණා පෙළගස්වමි. පහත කරුණු වලින් සමහර දේවල් අපගේ යාළුවක් වත්පොතේ ලියා තිබූ බවත් කිව යුතුයි.

1. පිස්තෝලය යන්නේ පද නිරුක්තිය වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව මෙලෙස විග්‍රහ වෙයි. පිස්=පිසින, ‍තෝලය=තලය. "පිසිනතලය" පසු කාලයේදී පිස්තෝලය බවට පත් විය. හෙළයින්ගේ පුස්කොළපොත් වලින් පිස්තෝලය නිපදවූ පර සුද්දන් ඒ සඳහා යොදාගත්තේත් හෙළයින් ඊට භාවිතා කළ නමට සමානවම යන පරිදි "පිස්ටෝල්" යන්නයි.

2. පිසිනතලය ලෙස එදා හෙළයින් එය හැඳින්වූයේ නිකම්ම නොවේ. පිසිනව යනු සුද්ද කරල දැමීමනේ. රාවනා රජතුමාගේ සතුරන්ව සුද්ද කරල දාන තලය. බලන්න ඉහත පිසිනතල පන්තියේ ආයුධ පෙනෙන්නේ පොරෝ "තලය"ක් මෙන් නොවේද?

3. රාවණ රජතුමාට ගුවන් යානා තිබූ බවත්, රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ව පවා යටත් කරගත් බවත් ඔබ හොඳාකාරව දනී. ඉතින් ගුවන් යානයකට වඩා ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ උපකරණයක් වන පිස්තෝලයක් රාවණ රජතුමාට නොතිබේවිද? රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව කී විට හිනා වුන උදවිය, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව කී විට කොහොම හිනැහේවිද?

4. මුලදීම මා පැවසූ පුරාවිද්‍යාත්මක කැණීමට මූලික වූයේ නිල්ගල ක‍ටුකුරුට නැමති රහස්‍ය ගල් ගුහාවේ තිබූ සෙල් ලිපියක සඳහනකි. එය ඡායාරූප ගත කිරීමට හෝ සටහන් කර ගැනීමට මා හට අවසරය නොලැබුණත් එහි දැක්වුණ සංකේත මතකයේ තබා ගතිමි. ඒවා මෙසේය.


5. එම සෙල් ලිපියෙන් දැක්වෙන්නේ "මත ස බ දහ රව රජ පසත ද න ක ශශප"යනුවෙනි. එහි අදහස වන්නේ "මෙතැන් සිට බඹ දහයක් ඈතින් ශ්‍රී රාවණ රජතුමාගේ පිසින තල දෙකක් නිදන් කර ඇත." එය බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ බැවින් රාවණා රජතුමාට පසු කාලයේදී නිදන් කර තිබූ බව සිතාගැනීමට පුළුවන. එසේම ශිලා ලිපියේ කාබන් පරීක්ෂාව අනුව එය ක්‍රි.පූ.3 වන සියවසට අයත් බව දක්නට ලැබේ.

6. රාවණ රජතුමාගේ පිසින තලය ගැන විස්තර වර්ගපූර්ණිකාවේ පිසතලශාස්ත්‍රය නැමැති ටීකාවේ දැක්වෙයි. එම පුස්කොළපොත් රවිශෛලාශ හෙවත් රාජකරුණා වංශයේ යකුන් අතර තවමත් රහසක් ලෙස තබා ගන්නා බැවින් වැඩිදුර හෙළි කිරීමට නොහැකිය.

ඉහත ප්‍රබල පුරාවිද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි වලට අමතරව තවත් කරුණු කීපයක් කිය යුතුය.

රාවණාවිරෝධීන්ගේ ප්‍රධානතම පුස්තකය වන මහාවංසයේ හෝ වෙනත් කිසිදු වංස කතා පොතක කොතනකවත් රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට සඳහනක් නොමැත. ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට කිසිදු සෙල් ලිපියක් නොමැත. ඒ අනුවත් රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
 
සුද්දා ලේසර් හදන්න තාක්ෂණය ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බව සියලුම රාවණ ගවේශකයින් දැන් ඒකමතිකව පිළිගනී. ෆේස්බුක් හි සුප්‍රසිද්ධ රාවණ ගවේශකයෙක් සහ පුලතිසි පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් සැලකෙන මෙතුමාගේ කතාවෙන් ඒ බව පැහැදිළි වෙයි.


එසේනම් ලේසර් වලට වඩා ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් වන පිස්තෝල තාක්ෂණය රාවණා රජතුමාට තිබුණා කියා දැන් මුළු ලොවම පිළිගනිද්දී ඊට හිනා වෙන රාවණා විරෝධීන් ඇතොත් උන්ව ගෝල් ෆේස් පිටියට දක්කාගෙන අවුත් මඩු වලිගෙන් තැලිය යුතුය. හෙළය දිනේවා!
Read More...

Thursday, July 26, 2012

හෙළයන්ගේ පළිඟු පිරමීඩය උත්තර ධ්‍රැවයෙන් මතුවෙයි.

නුදුරදීම හෙළයින්ගේ පළිඟු පිරමීඩය උත්තරඩ්‍රැවයෙන් මතු වෙන බවට අනාවැකියක් පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.





සම්පූර්ණ ලිපිය පහලින්

Read More...

Wednesday, July 25, 2012

මහාසෙන් තාණ්ඩවය කොපි කර ශිව තාණ්ඩවය හදලා, ලැජ්ජයි!

"රාවණා බ්‍රදර්ස්" නම ඇසුණු සැනින් රාවණා රජතුමා සම්බන්ධ ඉතිහාසය සොයා යන උද්‍යෝගිමත් තරුණ කැළව ඔබගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මහානාම හිමි, පරනවිතාන, බුද්ධඝෝෂ හිමි වැන්නන් අපට කරන ලද මහා විනාස හෙළි කරන ඒ වීර හෙළ රාවණා බ්‍රදර්ස්ලාට (බ්‍ර=බ්‍රහ්මයාගේ, දර්=දර්ශනය මෙන්, ස්=ස්ථාවරවූවෝ. ඒ අනුව බ්‍රදර්ස් යනු හෙළ වචනයකි) පළමුකොටම වර්ගපූර්ණිකාවේ උපහාරය පුදා මේ ලිපිය ආරම්භ කරමි.

හෙළ ජාතියේ අභිමානය දක්වන ආකාරයේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති විශිෂ්ටතම නිරමාණය වනාහී රාවණා බ්‍රදර්ස්ලා විසින් නිෂ්පාදිත "මහාසෙන් තාණ්ඩවය" බව අවිවාදිතය. මුළු ලෝකයම ශිෂ්ටාචාර කළ හෙළයින්ගේ අභිමානය ලොවට පෙන්වන්නක් නිසා එය සම්පූර්ණ හෙළ තාලයෙන් ධ්වනිතවත් වෙයි. හෙළයෙක් මහාසෙන් තාණ්ඩවය අසා සිටියදී සිව් ළඟ කිළිපොළා ගොස් ඔහුගේ රෝම කූපයන් කෙළින් වන්නේත්, නෙතගට කඳුළක් නැගෙන්නේත් එහි තාලයෙන් ඔහුගේ ගත තුළ ගමන් කරන හෙළ යක් ලේ ධාතුව කැකෑරෙන නිසයි. පහත දැක්වෙන්නේ ඒ අතිවිශිෂ්ට නිර්මාණයයි.



නමුත් නිර්ලජ්ජිත ඉන්දියානු වානරයින් තම නපුංසක කම පෙන්වමින් රාවණ බ්‍රදර්ස්ලාගේ මහාසෙන් තාණ්ඩවය අමු අමුවේම කොපි කර "ශිව තාණ්ඩවය" නැමැති අශූචි ගීතයක් හදා මුලු ලෝකයේම විහිළුවට ලක් වී ඇති බව ඔබ දන්නවාද? පහත දැක්වෙන්නේ ඒ හොර කොපිය වන "ශිව තාණ්ඩවය" යි.



පළමුව දැක්වූ මුල් ගීතය සහ දෙවැනිව දැක්වූ ගීතය හොඳින් විමසා බලන්න... ඔබට අළුතෙන් පැහැදිළි කළ යුතු නැතත් යමක් කිව යුතු නිසාම සරළ උදාහරණ කීපයක් දක්වන්නම්.

"ඇහිච්ච දෙන්, පෙනිච්ච දෙන්, ලිවිච්ච දේම වෙච්චි දෙන්, තමන්ට වෙච්චි දෙන් මෙසේ..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:18 සිට "ස්මර්ස්චි ධම්, පුරස්චි ධම්, භවස්චි ධම් මඛචි ධම්, ගජචිදන්දකචිධම් තම් අන්තකචිධම් භජේ" ආදී වශයෙන් යන හැටි බලන්න.

"පදාන්ත තෙක්ම කාන්ත නම්... " යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:36 සිට "ස්වරාන්තඛම්, පුරාන්තඛම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

"දෙගත්, දෙගත්, දෙගත් නදින් යකුන් බෙරෙන් ගිගුම් නගත්..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:51 සිට "දිමිත්, දිමිත්, දිමිත් ද්වනම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

නිර්ලජ්ජිත ඉන්දියානුවනි, කංදක් විලිලා වදපු මී පැට්ටා දැක්කාම තොපි ගැන ලැජ්ජයි බොල. තොපිට තොපේ ජාතිකාභිමානය වර්ධනය කරගන්න ඕනැනම් තොපිට තොපේම කියල පද තාලයක් නොතිබුණාද? පාහර ඉන්දියානුවනි, තොපි හැමදාම කියන්නෙ තොපි අපව ශිෂ්ටාචාර කළා කියල, ඒත් යකෝ තොපිට අපේ හෙළ සංගීතයම අන්තිමට කොපි කරන්න වුණා. චික් චික් චික්, තොපිලගේ ඉන්දියානු අසූචි ගැන්සිය මෙච්චර කලයක් කෙකර ගාපු මතවාදය ගඳ ගස්සවාගෙන බලු බෙටි බුදින තත්ත්වයට පත් වුණ හැටි ජුගුප්සාජනකයි යකෝ...තුක්... පාහර ඉන්දියානුවනි, එදා හනුමා අපගේ රාවණ දියණි සීතා කුමරියව පැහැර ගන්න ඇවිත් ගිණිගත් වල්ගය පශ්චාත් භාගයේ ගසාගෙන ජංගිය පිටින් දුවපු හැටි මතක නැද්ද යකෝ. අන්න ඒ වගේ තමයි තොපිත් අද වර්චස් වුණේ. අශිෂ්ට ඉන්දියානුවනි, තොපි වගේ කොප්පයො පස්සෙ යන වඳුරු හමුදාවකුත් ඉන්න එකනෙ වැඩේ.

ඉන්දියානුවන්ගේ නිර්ලජ්ජිත වැඩ වලට ශිව දෙවියන් පළි නැති බවත් මේ ගමන්ම කියමි. ශ්‍රී රාවණා අධිරාජ්‍යයාට නමස්කාර කරන දැතින්ම ඔහුගේ සමකාලීනයෙක් වන ශිව දෙවියන්ටත් නමස්කාර කරමි.

හෙළයින්ව විශ්වාස නොකරන කීප දෙනෙක් තාමත් වර්ගපූර්ණිකාව කියවන බැවින් යමක් සඳහන් කළ යුතුයැයි සිතේ. ශිව තාණ්ඩවය නේද කලින් හැදුවෙ කියල ඔවුන් අහන්න ඉඩ තිබෙන බැවින් ශිව තාණ්ඩවයට පෙර මහාසෙන් තාණ්ඩවය නිර්මාණය කළ බවට සාධක හා සාක්ෂි මෙලෙස පෙළ ගස්සවමි.

1. මහාසෙන් තාණ්ඩවය යනු හෙළ යකුන් අතර පමනක් රහසක් ලෙස ‍රැකී තිබූ මහා බලගතු ගණ පිහිටීමක් සහිත තාලයක් යොදා ගනිමින් බොහෝ කාලයකට පෙර නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. නමුත් එම තාලය ලොවට අනාවරණය කළේ මෑතකය. එහෙත් ඊට පෙර කිසියම් හෝ ක්‍රමයකට මහාසෙන් තාණ්ඩවය සොරා ගනිමින් ශිව තාණ්ඩවය නිර්මාණය කර ඇත.

2. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව ලෝකයම ශිෂ්ටාචාර කළේ හෙළයින්ය. ඒ අනුව ඉන්දියාවත් හෙළයින් විසින්ම ශිෂ්ටාචාර කර තිබේ. ඉතින් ඉන්දියාවට අපෙන් යමක් ගියා මිස ඉන්දියාවෙන් අපට කිසිවක් ආවේ නැත. ඒ තර්කය අනුවත් මහාසෙන් තාණ්ඩවයෙන් ශිව තාණ්ඩවය නිර්මාණය වූ බව පැහැදිළි වෙයි.

3. ඔය ආකාරයටම හෙළයින්ගේ ගීත කොපි කිරීමේ දීන මානසිකත්වයක් ඉන්දියානුවන්ට කාලෙකට පෙර සිටම තිබී ඇති බව දැන් ලෝකයම පිළිගනී. ඔබ දන්නවාද ඉපැරණි හෙළ ගීතයක් වු "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇත පායා..." ගීතය. අන්න ඒක කොපි කල නිර්ලජ්ජිත ඉන්දියානුවන් "දුනියාමෙ හමා යේහේ තුජේ නහී පරේගා" ගීතය සාදා තිබේ. ඔය දහසක් කොපි අතරින් එක උදාහරණයක් පමණයි.

4. වෛමානික ශාස්ත්‍රය නැමැති රාවණා රජතුමාගේ ගුවන් යානා තාක්ෂණය ගැන සඳහන් හෙළ පොස්කොළපොතත් ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරාගන්නා ලද එකක් බව සූරිය ගුණසේකර මහතා පවසා තිබේ. ඉතින් එවැනි වටිනා පුස්කොළපොතක් සොරා ගත් පාහර බමුණන්ට මෙවන් ගීතයක් සොරා ගැනීම කජ්ජක් නොවේ.

5.  ඒ විතරක්ද, අදත් ඉන්දියානුවන් භාවිතා කරන තලප්පාව, අමුඩය, වේට්ටිය, බඟරි වළලු, නාස් කරාබු, සාරිය, සල්වාරි වගේ ඇඳුම් පැළඳුම් මෙන්ම, පෝරුව, හිංදි සිනමාව, කරත්තය, නගුල, ලේලඩය, බජාරය ආදී සියල්ලක්ම අපගේ හෙළයින්ගෙන් කොපි කරගත් ඒවා බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත. රංචාමඩමෙන් හමු වූ ක්‍රි.පූ.1120 කාලයට අයත් යැයි තහවුරු වූ යකඩ ආයුධ වල සිට අවුරුදු 7000 ක් පැරණි ධාන්‍ය ඇට ඒ බව තහවුරු කරයි. ලන්දියානුවනි, හෙළයො නැත්නම් තාමත් ඉන්දියානුවන් කොළ අතු වලි විලි වහගෙන සිටින අශික්ෂිත ජාතියක් බව වැටහේද?

6. මහාසෙන් තාණ්ඩවය යනු බොහෝ කාලයකට පෙර හෙළයින්ට තිබූ එකක් බව පොළොන්නරුවේ ශිව නටරාජා පිළිරුව සමග ලැබුණ රන් පතක සටහන් කර තිබේ. එය දැන් ලන්ඩන් කෞතුකාගාරයේ දක්නට ඇත, අවශ්‍යනම් ගොස් බලන්න.

7. රාවණා බ්‍රදර්ස්ලා යනු හෙළයින්ගේ අභිමානය වෙනුවෙන්ම පෙනී සිටින බලකායකි. ඔවුන් කිසි විටෙකත් හෙළයින්ගේ ජාතිකාභිමානය වෙනුවෙන් සාදන ගීතයකට පාහර ඉන්දියානුවන්ගේ ගීතයක් අමු අමුවේම කොපි කරන්නේ නැත. රාවණා බ්‍රදස්ලාව විශ්වාස කිරීම අපගේ යුතුකමක් නොවේද?

කෙසේ නමුත් ඉන්දියානු නිවටයින් හොම්බෙන් යන හැටි දැක සංවේගයට පත් වෙන කාරුණික රාවණ බ්‍රදර්ස්ලා තම පරම සතුරන් වූ ඉන්දියානුවන්ව ගලවාගැනීම සඳහා "මහාසෙන් තාණ්ඩවය" පසුව නිරමාණය කරන ලද්දක් බව පැවසීමටත් ඉඩ තිබේ, ඒ ඔවුන්ගේ විශිෂ්ටතාවයයි. ඉන්ද්‍රජිත්ගේ නාගපාෂයෙන් සිහිසුන් වූ රාම රාවණ දෙපොළව ගලවා ගැනීමට තරම් කාරුණික වූ ශ්‍රී රාවණ රජතුමා ගේ පාරේ යන තරුණයින්ගේ ශ්‍රේෂ්ටත්වය එයයි.

කෙසේ නමුත් නිවට නිර්ලජ්ජිත ඉන්දියානු සොරුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා උන් අප වෙත තාමත් එවන උන්ගේ බඩු වර්ජනය කිරීමට කාලය එළඹ තිබේ. විශේෂයෙන්ම ඉන්දියානුවන්ගේ ප්‍රධාන අපනයනය වන පරිප්පු කෑමෙන් සෑම හෙළයෙක්ම වැළකිය යුතු බව අද සිටවත් සිහිපත් කරගමු.
Read More...

Monday, July 23, 2012

ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි.

ලෝකයේ මුල්ම බ්ලොග් එක හැදුවේ හෙළයින් බව ඔබ දැන සිටියාද? ගූගල් ආයතනයේ ආසියා-පැසි‍ෆික් කලාපයේ ප්‍රධානී ඩැනියෙල් ඒල්ජර් (Daniel Alegre) මේ බව පවසමින් ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලැරී පේජ් (Larry Page) වෙත කේබල් පණිවිඩයක් යවා ඇති බව අපට ඉතාමත් විශ්වාසවන්ත රහසිගත මාර්ගයකින් අනාවරනය විය. එහිදී ඒල්ජර් මහතා යවා ඇති පි‍ටු 21 දිග තාක්ෂණ පත්‍රිකාව ඇසුරෙන් පහත විස්තර දිග හැරෙයි. ලිපිය ටිකක් දිගු වුවත් එය කියවීමෙන් ඔබ ඉමහත් විස්මයට පත් වෙන බව සහතිකයි.

1995 වසරේදී ලැරී පේජ් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැනට ලන්ඩන් කෞතුකාකාරයේ ඇති හෙළයින්ගේ පුස්කොළපොත් ඉතාමත් අමාරුවෙන් පරිවර්තනය කරගෙන කියවා ඇති අතර ඔහුට තවත් බොහෝ දෑ දැනගැනීමට අවශ්‍ය වී තිබුණි. ඒ අනුව ගූගල් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බ්ලොග් ඉතිහාසය පිළිබඳව 2006 අප්‍රියෙල් මාසයේදී ඉතාමත් රහසිගතව ගවේෂණය කර ඇත. එහිදී අදාල ගවේෂණ කණ්ඩායමට පුරාවිද්‍යා ආචාර්ය වරයෙක් මුණගැසුණ අතර ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ලෝකයේ බ්ලොග් ඉතිහාසය අප නොදන්නා අතීතයකට දිව යන බව නිශේධනය කළ නොහැකි සාක්ෂි මගින් පැහැදිළිවම ඔප්පු වි හමාරය.


ඉතිහාසය
=======
ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාට අනුව සීගිරිය යනු රාවණ රජතුමාගේ ලොකු අම්මාගේ පුතා වූ කුවේරගේ ආලකමන්දාව හෙවත් චිත්‍රකූට පර්වතය ලෙස හැඳින්වුණි. මේ බව "රාවණා වත" නැමැති පුස්කොළපොතේත් සඳහන් වෙයි. මහාවංසයේ සඳහන් වන්නේ සීගිරිය කාෂ්‍යපගේ බලකො‍ටුවක් බව වන අතර කාබන් 12 කාල නිර්ණයෙන් එය ධාතුසේන රජසමයේදී හැදීම ආරම්භ වී ඇති බව නිගමනය වී තිබුණත් හෙළයින් වන අපට සුද්දන්ගේ කාබන් විජ්ජාවන්ට වඩා මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාවත්, මහාවංසයට වඩා රාවණා වත පුස්කොළපොතත් විශ්වාසදායක නිසා, සීගිරිය යනු කුවේරගේ චිත්‍රකූට පර්වතයම බව පුරාවිද්‍යාත්මකව තහවුරු වෙයි. පසුව රාවණ රජතුමා විසින් එහි බ්ලොග්1* එකක් ආරම්භ කර ඇත.


මූලික තොරතුරු
===========
මා මේ පෙන්වා දීමට යන ලෝකයේ මුල්ම බ්ලොග් එක තිබී ඇත්තේ සීගිරියේයි. රාවණා වතට අනුව එහි බ්ලොග් පෝස්ට් දැමූ පුද්ගලයා වන්නේ "මායා දන්නාව" නැමැති චිත්‍ර ශිල්පියායි. ඔහු සෘජුවම සීගිරි බ්ලොග් එකේ "වෝල්2 එකේ" බ්ලොග් පෝස්ට්3 දැමූ අතර ඒවා රෙශලූෂන්4 අගය වැඩි පින්තූර වශයෙන් පළ කර ඇත. එසේම ඒවා අතර පෝන්5 උඩ කයෙන් සමන්විත කාන්තාවන්ගේ චිත්‍ර විය. පහත දැක්වෙන්නේ එවැනි බ්ලොග් පෝස්ට් එකකි.


ලෝකයේ නන් දෙසින් පැමිණි බ්ලොග් පාථකයින් මෙම සීගිරි බ්ලොගය නැරඹූ අතර ඔවුන්ට කොමෙන්ට්6 දැමීම සඳහා කොමෙන්‍ට් දමන වෝල් එකක්ද වෙනමම පැවතුණි. එය හොස්ට්7 කර තිබුණේ "කැටපත් පවුර" නම් සර්වර්8 එකකය. අද සිටින හෙළුවන්ට වඩා ශිෂ්ට වූ එකළ සිටි හෙළයෝ එහි කිසිදු අසභ්‍ය දෙයක් නොලී අතර සීගිරි බ්ලොග් එකේ තිබෙන පෝස්ට් වලට සරිලන ලෙස ඉතාමත් විශිෂ්ට ගණයේ කොමෙන්ට් දක්වා තිබුණි. එසේම සුරූපී කාන්තාවන්ගේ පින්තූර විතරක් සහිත බ්ලොග් එකක් නිසා කොමෙන්ට් ඉතාමත් අධික සංඛ්‍යාවක් ලැබිණි. එය ආසන්න වශයෙන් කොමෙන්ට් 700 ක් පමණ බව ගණන් බලා ඇත. පහත දැක්වෙන්නේ උදාහරණ කීපයක්.

ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැ‍ට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හ‍ය් රන්වන හුන්.

එළෙනෙ ල කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් කීයී මි
බසක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අස්ද්වස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්වයි සිත් නොමු සී

සීගිරි කොමෙන්ට් වලදී නම සඳහන් වෙතොත් කොමෙන්ට් එකට පෙර තම නම සඳහන් කිරීම සම්ප්‍රදායක් වී ඇත. ඒ සම්ප්‍රදාය දිගටම පැමිණ අදටත් කොමෙන්ට් එකට පෙර කොමෙන්ට් කරුගේ නම සඳහන් කරන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ඇති කොමෙන්ට් දෙස බැලීමෙන්ම පැහැදිළි වේවි. නමුත් ඇනෝනිමස්9 කොමෙන්ට් දැමූවන් අද මෙන් ඇනෝනිමස් කියා ලියමින් බ්ලොග් එක කැත නොකිරීමට තරම් කාරුණික වූ බවත් කිව යුතුය. ඉහත උපුටා දැක්වූ කොමෙන්‍ටු වල තද පාටින් දක්වා ඇත්තේ කොමෙන්‍ටු කරුගේ නම වන අතර ළා පැහැයෙන් දක්වා ඇත්තේ කොමෙන්‍ටුවයි. ඒ අනුව එහි යටින්ම ඇති කොමෙන්‍ටුව ඇනෝනිමස් එකකි.

"කැටපත් පවුර" ලෙස හැඳින්වෙන කොමෙන්ට් වෝල් එක

එම කොමෙන්ට් වල තිබෙන ගීතවත් බව නිසාම සීගිරි කුරු‍ටු ගී ලෙස ඒවා හැඳින්වූ අතර එම ගීත වල බාසාව අනුරාධපුර යුගයේ අග භාගයට සම්බන්ධ බව පෙනුනත් එමගින් සීගිරි කුරු‍ටු ගී අනුරාධපුර යුගයට අයත් බව කිසි සේත්ම ඔප්පු නොවේ. සීගිරි කුරු‍ටු ගී අයත් වන්නේත් රාවණ යුගයටයි. තාමත් කැම්පස් වල ඩෙස් බංකු වල පවා කොල්ලන් පහත ආකාරයේ "කුරු‍ටු ගී" ලිවීමෙන් අප හෙළයින්ගෙන් සීගිරි කුරු‍ටු ගීයේ රාවණ ඉතිහාසය මකා දැමීමට කිසිවෙකුට නොහැකි බව පසක් වෙයි.

සයිකො ගසා මම ගිය කල ඈ වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(පේරාදෙනිය විශ්ව විද්‍යාලය, තුන් වන මහල, ප්‍රධාන පොත් ගුල)

සීගිරි බ්ලොග් එක ආරම්භ කළ කාලයේදීම එහි බ්ලොග් පෝස්ට් 502 ක් පමණ දමා තිබූ අතර, එය හොස්ට් කළ ෆ්‍රෙස්කෝ එකේ ඇතිවූ දෝශ මෙන්ම තවත් හේතු නිසා නිසා අද ඉතිරි වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 22 ක් පමණි. මේ වන විට බ්ලොග් එක අප්ඩේට්10 කිරීම මෙන්ම කොමෙන්ට් කිරීමත් ක්ලෝස්11 කර ඇතත් මීට දසක කීපයකට පෙර කැටපත් පවුර හැක්12 කර එහි කොල්ලන් සහ කෙල්ලන් තම තමන්ගේ නම් ගම් ලියා ඇති බවත් දක්නට ලැබෙයි. එනිසා දැන් කැටපත් පවුරට දැල් සහිත ෆයර්වෝල්13 එකක් දමා ඇත. ඊට අමතරව එහි තිබූ බ්ලොග් පෝස්ට් සහ කොමෙන්ට් සියල්ලම බැකප්14 කර ඇත.


තාක්ෂණික තොරතුරු
==============
සීගිරි ගල මුදුනේ කුවේර රජතුමාගේ මාලිගාව තිබුණ බව ඔබ දන්නවා ඇති. ඉතින් කුවේර වැනි බලසම්පන්න රජකෙනෙක් අද අපි සීගිරි නගිනව වගේ ගල වටේ බඩගාගෙන සීගිරිය මුදුනට නගීවිද? අනික ණුවණින් විමසා බලන්න සීගිරිය නගිද්දීම සිංහ පාදය පහු වෙනවත් එක්ක තියෙන තේරුමක් නැති ගල් බැම්ම දිහා. සිතන්න, හොඳටම සිතන්න....


සීගිරිය අවට වාසය කරන සහ කාලයක් සීගිරියේ ආරක්ෂක නිලධාරියෙක්ව සිට දැන් විශ්‍රාම සුවයෙන් ගත කරන අනූ හය හැවිරිදි පුදගලයෙක් වන සුගතං අප්පුහාමි මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

"ගොඩ කාලෙකට ඉස්මත්තේදී, බෙල් කියන පර සුද්ද සීගිරිය පරීක්සා කරන්න ආව. ඇවිං ඒක බලලා සීගිරියට නගින දඹ රන් සෝපානය ගලවගෙන ගියා. ඒ සෝපානය ලන්ඩන් කෞතුකාගාරෙ තාමත් තියෙනව, ඕනැනං ගිහිං බලං. ඒ විතරක්ද සීගිරිය ගල ඇතුලට ගිහින් ඒකෙ තිබුණ වස්තුව කරත්ත හතකට පටවගෙන ඊට පස්සෙ ඒ පාර ගඩොල් දාල සිමෙන්ති බදාම ගහල වැහුව. සිංහ පාදය පහු කරපු ගමන් තියෙන තාප්පය තමයි බෙල් පර සුද්ද වහපු උමගේ දොර‍ටුව. ලොකුම විනාශය කලේ සහ කරන්නෙ අපේ පුරාවිද්‍යාඥයින්, ඇත්ත හංගලා. මුන්ට හෙණ ගහනව යකෝ"

සුගතං අප්පුහාමිගේ හෝඩුවාව අනුව අපි සීගිරි පාදයට ඇතුළතට වෙන්නට ඇති තාප්පය අධෝරක්ත කිරණ උත්ප්‍රේරක යන්ත්‍රයක් යොදා ගනිමින් ස්කෑන් කිරීමක් සිදුකළමු. එහිදී අප දු‍ටු දේ විස්මය ජනකය. එතනින් ඇතුළතට යාමට උමගක් තිබූ අතර එහි කාමර ගණනාවක් තිබුණි. එහි එක් කාමරයක තිබුණේ තවමත් යථා තත්ත්වයෙන් පවත්නා වූ පාලක මැදිරියකි. එහි ඉතාමත් සුමුදුවට මදින ලද ගල් පුවරු තිබුණ අතර අප සමග සිටි පර්යේෂකයෙක් පැවසුවේ ඒවා ප්‍රාග් ඒතිහාසික මොනිටර්15 බවයි.

"රාවණ වත" නැමති පුස්කොළපොතේ ටීකාවක් වන "කෛලාශකූටවන" නැමැති පුස්කොළපොතේ සඳහන් වන්නේ මෙවැන්නකි.

"කුවේර රජ තෙමේට මහා බලගතු යන්තරයක් කෛලාශකූට පබ්බතය මදේ තිබිණැ, එමගින් දෙනැ විධාන ප්‍රකාරවැ කෛලාශකූට මස්තකයේ සිත්තම් පෙන්වන අත‍රැ එය නැරඹීමට යනැ එනැ හෙළුවෝ ඒ යන්තර ඉදිරිපිටැ ඇති බොත්තම් පුවරුවේ බොත්තම් ඔබා තෙමේට රිසි රිසි දෑ ලියන්නාහ. අනතුරුව එලෙස ලියූ දෑ යන්තරයේ වෙනමැ නිදන් වන්නාහ..."

මේ දේ නුවනින් විමසා බැලිය යුතුයි. රාවණ රජතුමාට ගුවන් යානා තිබුණ බව අපි හොඳාකාරවම දනිමු. වෙනත් ලෝක ආක්‍රමණය කර යටත් කිරීමට තරම් ශක්තියක් එතුමාට තිබුණි. ඒ සඳහා ගුරුත්වාකර්ශණය මැඩ පැවැත්වීමට මෙන්ම වායුගෝලීය පීඩනය අතික්‍රමණය කිරීමටත්, වායුගෝලයෙන් එහා ඇති රික්තීය අවකාශයේ මනුෂ්‍යයෙකුට ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණයත් රාවණ රජතුමාට තිබී ඇත.

එසේනම් ඊට වඩා බොහෝ ප්‍රාථමික තාක්ෂණයක් වන පරිගණක යන්ත්‍රයක් ඕන්16 කර එමගින් බ්ලොග් පෝස්ට් එකක් දැමීම සහ අවශ්‍ය විටක කොමෙන්ට් බැකප් කිරීම සැක කිරීමට තරම් දෙයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යාඥයින්ට හමු වූ ඉපැරණි මෛක්‍රොචිප් ද මෙය සනාථ කිරීමට කදිම සාධකයකි.


ගූගල්
====
1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.

විමල් වීරවංශ යනු පැහැදිළිවම රාවණා විරෝධියෙක් වන තර මාස ගණනාවකට පෙර ගූගල් වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ හේතුව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි.


බ්ලොගර්
======
ගූගල් සමාගම සාර්ථකත්වය කරා දිනෙන් දින යද්දී ජනතාව සඳහා නොමිලයේ වෙබ් පි‍ටු ලබා දීමටත් ඔවුන් කටයුතු කර ඇත. තම සමාගමේ සාර්ථකත්වය පසුපස ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඔවුන් එහිදීත් අමතක කළේ නැත. සීගිරිය බ්ලොග් එක තිබුණේ ගලක නිසා එම තාක්ෂණය "බ්ලොග් ගල්" ලෙස පුරාණ කාලයේ සිටම හැඳින්වුණි. "බ්ලොග් ගල්" යන නම බටහිරට සුදුසු ආකාරයට වඩාත් සරළ ලෙස "බ්ලොගර්"17 ලෙස හඳුන්වන ලදී.

එදා ගූගල් සමාගම විසින් රාවනා නිර්මාණයක් වූ "බ්ලොග් ගල්" වල නම යොදා ගැනීම නිසාම බ්ලොගර් ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ අතර ලෝකයේ අග්‍රගණ්‍ය බ්ලොග් සේවයක් බවට පත් විය. ගණ පිහිටවා නිර්මාණය කරන ලද හෙළ වචන වන "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" වල රාවණ ශක්තිය අදටත් ගැබ්ව තිබේ. කාලාන්තරයක් පැවතීම සඳහා නිවාස ඉදිකිරීමේදීත් බොහෝ අය "බ්ලොග් ගල්" භාවිතා කරන්නේ ඇයි කියා ඔබ සිතුවාද?

හෙළ "බ්ලොග්-ගල්" කරුවන්ගේ සංසදය

ශ්‍රී ලංකාව තුළ සාර්ථක වී ඇති සෑම බ්ලොග් එකක් පාහේම යොදාගෙන ඇත්තේ හෙළ රාවණ නිර්මාණයකින් පැවත එන බ්ලොගර් ය. උදාහරණ: මාරයාගේ හෝරාව, කතන්දර, ගොසිප්9, සඳරු, දුකා, වෙද ගෙදර (බොහෝ නම් ඇතත් ඉඩ මද නිසා ටිකයි සටහන් කරන්න වෙන්නෙ, ඉදිරියේදී සාර්ථක බ්ලොගර් බ්ලොග් ගැන වෙනම ලිපියකින් විග්‍රහ කරන්නම්)

නමුත් පසුකාලයේදී අසාර්ථක වූ හෝ හැක් වූ බ්ලොග් ගණනාවකට යොදාගෙන තිබෙන්නේ පර සුද්දන්ගේ නමක් ඇති වර්ඩ්ප්‍රෙස් ය. උදහරණ: ටැබූ, බියෝන්ඩ්ෆ්‍රේම්, ඇටමැස්සා, පෙරමුනේ රාලගේ අ‍ටුවාව (කොමෙන්ට් වලින් රාල හැමදාම බැනුම් අහනව, සුදු වෑන් එකක් දැකල ළඟදී වහන්න වුණත් එක්ක)

සිංහල බ්ලොග් කරුවනි, හෙළ රාවණා නිර්මාණයන්ම තෝරා ගැනීමෙන් ජයග්‍රහණය සහතික කර ගන්නා හැටි දැන් වැටහේද? ලෝකයට බ්ලොග් කලාව හඳුන්වා දුන් හෙළයින්ගේ නිර්මාණ වලින් පැවත එන බ්ලොගර් බ්ලොග් කියවන අපි සැබවින්ම වාසනාවන්තයෝ වෙමු, ඒ ගැන ආඩම්බර වෙමු.

* පද නිරුක්ති - අරිසෙන් අහුබුදු සූරීන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සකසා ඇත.

1. "බ්ලොග්" යනු "බලග" නැමැති හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, බ=බලන්න, ල=ලගින්න, ග=ගරු/ගර්හා කරන්න. වර්තමානයේදීත් බ්ලොග් එකකට ගිය විට බලනවා, හොඳනම් දිගටම එහි ලගිනවා, ගරු හෝ ගර්හා කරනවා හැර වෙනත් යමක් අපි නොකිරීමෙන් රාවණ රජතුමාගේ බ්ලොග් තාක්ෂණය මේ දක්වාම පැමිණි ආකාරය මනා කොට පැහැදිළි වෙයි.

2. "වෝල්" යනු "වල" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ව=වර්ගඵලය, ල=ලම්භක. වර්ගඵලය ලම්බක ලෙස හැඳින්වෙන්නේ බිත්තියක් බව වැටහෙයි. එසේම කැම්පස් (කැම්=කෑම්, පස්=පස්, පස් කෑම) තුළ "වල" ලෙස හැඳින්වෙන්නේත් බිත්ති වලින් වටවූ තැනක් වීමෙන් හෙළ වෝල් වල ආගමණය පැහැදිළි වෙයි.

3. "පෝස්ට්" යනු "පසට" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පළකිරීම, සට=සටහන. සටහන පළකිරීම යනු "පෝස්ට්" බව තවත් පැහැදිළි කළ යුතු නෑනෙ?

4. "රෙශලූෂන්" යනු "රසලසන" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, රස=රසයෙන්, ල=ලක්ෂයන්, සන=සනසනවා. ලක්ෂයන් රසයෙන් සනසනවා යන අරුතෙන් The fineness of detail that can be distinguished in an image, as on a video display terminal. නැමැති ඉංග්‍රීසි අරුත ලැබුණි.

5. "පෝන්" යනු "පෝ-ඕං" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, පෝ=පෝලිම, ඕං=ඕන්=ඔන්න. ඒ අනුව "පෝලිම ඔන්න" යනු පෝ-ඕං නැමති හෙළ පදයේ අරුතයි. පසු කාලයේදී එය පෝන් ලෙස විතැන් වූ අතර පසුව මෙම හෙළ පදය වන පෝන් අනුව පෝනෝග්‍රැ‍ෆි (Pornography) නැමැති ඉංග්‍රීසි වචනයත් ගොඩ නැගුණි.

6. "කොමෙන්ට්" යනු "කොමන‍ටුව" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, කො=කොටනවා, මන=මනසේ ඇති, න‍ටුව=නාට්‍යය. මනසේ නාට්‍යයක් සේ රඟදැක්වෙන දේ කොටනවා යන අරුත කොමන‍ටුව හෙවත් කොමෙන්ට් නම් වේ.

7. "හොස්ට්" යනු "හොසට" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හො=හොවනවා (තැන්පත් කර තබනවා), සට=සටහන. සාමාන්‍යයෙන් හොස්ට් කිරිමේදී සිදුවන්නේ කේත සටහනක් වෙනත් පරිගණකය තැන්පත් කර තැබීම නිසා "සටහන හොවනවා" යන්නෙන් හොස්ට් යන්නේ අරුත ලැබෙයි. ඒ අනුව හොස්ට් කිරීමත් පළමුව හොයා ගත්තේ හෙළයින්ය.

8. "සර්වර්" යනු "සර්වර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, සර්ව=සියලුමදෑ, ර=රඳවනය. වර්තමානයේ සර්වරයකත් පරිගණක ගණනාවක සියලුම දෑ රඳවා තබන බැවින් අපගේ හෙළයින්ගේ තාක්ෂණය අද ඇති තාක්ෂණය මෙන්ම හෝ ඊටත් වඩා දියුණු බව පැහැදිළි වෙයි. සර්වර නැමැති හෙළ පදය පසුකාලීනව සර්වර් ලෙස ඉංග්‍රීසියට වරනැගුණි.

9. "ඇනෝනිමස්" යනු සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, ඇනෝ=අනේක=බොහෝ, නි=නිදහස්, මස්=මස්වැද්දො. ඇනෝනිමස් කොමෙන්‍ටු දමන අයව "බොහෝ නිදහස් මස්වැද්දො" ලෙස හැඳින්වීමෙන් හෙළයින් පවා ඇනෝනිමස් කොමෙන්ට් කරුවන්ගේ තරම දැනගෙන සිටි බව පැහැදිළි වෙයි. නමුත් සීගිරි බ්ලොග් එකේ කොමෙන්‍ටු දැඩි ලෙස මොඩරේට් කිරීම නිසා ඇනෝලාගේ වදයෙන් එය අතීතයේදී බේරුණි.

10. "අප්ඩේට්" යනු "අපදත" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, අප=අපමණ, ද=දක්වනවා, ත=තත්කාලයේදී. ඒ අනුව "තත්කාලයේදී අපමණ දක්වනවා" යන අරුතෙන් හැදුන අපදත නැමෙති හෙළ වචනය පසුව අප්ඩේට් යන ඉංග්‍රීසි වචනය ගොඩනැගී ඇත.

11. "ක්ලෝස්" යනු "කෙලෙස්" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. කෙලෙස් යනු වසා දැමිය යුතු දෙයක් බව වටහාගත් අතීත හෙළයෝ යමක් වසා දමන ක්‍රියාවත් කෙලෙස් ලෙසම හැඳින්වුවෝය. පසුව කෙලෙස් යන වචනයෙන් "ක්ලෝස්" යන ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.

12. "හැක්" යන පදය "හැ+ඇක්" ලෙස භින්න වෙන බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හැ=හැඳිගාදමනවා, ඇක්=ඇකය=ගර්භාෂය. දරුවෙක්ව ගබ්සා කිරීමේදී ගර්භාෂය හැඳිගාදැමීමක් සිදුකරයි. එනම් ගර්භාෂය හැ+ඇක් කිරීමක් හෙවත් ගර්භාෂය හැක් කිරීමකි. රාවණා සමයේදී එය ඉතාමත් පිළිකුල් මෙන්ම තහනම් ක්‍රියාවක් විය. වර්තමානයේදීත් සමහරුන් වෙබ් අඩවියක් හැක් කළ පසුව එය ගබ්සා කළ ගර්භාෂයක් මෙන් හිස් වෙනවා නොවේද?

13. "ෆයර්වෝල්" යනු "පයරවල්" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පසුබිම, ය=යවට, ර=රත්වු=ගිණියම් වූ, වල්=වළල්ල. රාවන රජතුමාගේ වස්තුව ආරක්ෂා කිරීම සඳහා ඒ වස්තුව "පසුබිම යවට වලින් ගිණියම් වළල්ලක්" තිබුණි. එය "පයරවල්" ලෙස හැඳින්විය. පසුව ඒ වචනයෙන් "ෆයර්වෝල්" නැමැති ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.

14."බැකප්" යනු  වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, බැ=බැරකරනවා=ආරක්ෂා කරනවා, කප්=කප්(කප්සි‍ටුවනව). කප් ආරක්ෂා කිරීමේ සිරිතක් අතීත හෙළයේ පැවති අතර එය අදටත් කප් සි‍ටුවීම වැන් අවස්ථා වල දක්නට ලැබෙයි. ඒ අනුව කප් බැර කිරීම "බැකප්" ලෙස හැඳින්විය.

15. "මොනිටර්" යනු "මනටර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ම=මනස, නට=නටනවා, ර=රසවිඳිනවා. වර්තමානයේ ඇති මොනිටරයක් බැලීමේදීත් "මනස නටනවා සහ රසවිඳිනවා" හැර වෙන යමක් සිදුවේද?

16. "ඕන්" යනු "ඕං" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. රාවණ යුගයේ පැවති අධි තාක්ෂනික යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ශබ්ද මුර පද (Voice Password) භාවිතා කළ බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ "තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)" නැමති ලිපියෙන් ඔබට විද්‍යාත්මකව පෙන්වා දුනිමි. එහිදී බොහෝ විට භාවිතා කළ පදයක් වූයේ "ඕං" යන්නයි. නමුත් එක් එක් කෙනාගේ උච්ඡාරණය අනුව යන්ත්‍ර මගින් ඒවා හඳුනාගෙන ඇත. ඉතින් ඒ "ඕං" යන පදය පසුකාලීනව "ඕන්" ලෙස ඉංග්‍රීසියට වරනැගුණි. වර්තමානයේදී පවා සෑම රාවණ මන්ත්‍රයක් මුලදීම "ඕං" කියා කියන්නේ "ඕන්" (Switch On) කිරීමේ ක්‍රියාව සඳහාය.

17. "බ්ලොගර්" යනු විශාරද සුලක්ඛනා මෙනෙවිය පැහැදිළි කරන පරිදි හෙළ වචනයක් සේ සැලකිය හැකියි. එහි හෙළ මූලය වන්නේ "බලෝගරා" යන්නයි. බ=බලය, ලෝ=ලෝභය, ග=ගර්හාව, රා=රාගය. ඒ අනුව බලය ලෝභය ගර්හාව සහ රාගය එකට කැටි වූ තැන බලෝගරා හෙවත් බ්ලොගර් ය.

ඉහත දැක්වූ ඉංග්‍රීසි වචන හැදී ඇත්තේ ග්‍රීක් හෝ ලතින් වචන වලින් බව සමහරුන් පවසාවි. නමුත් සැබෑ හෙළ ඉතිහාසය සුද්දන් විසින් සඟවා ඇති අතර අප හෙළි කරන දේවල් වලට නිවැරදි මූලාශ්‍ර අප සතුව තිබේ. ඒවා යථා කාලයේදී හෙළි කරමි. ශ්‍රී රාවණා රජතුමා ගැන තාමත් පාසල් පෙළපොතට ඇතුළත් කර නැති විටෙක, ඉංග්‍රීසි වචන වල මූලාරම්භය හෙළයින්ගෙන් බව පිළිගැනීමක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Friday, July 20, 2012

සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි

රාවණ රජතුමා 2012 අගදී උත්ඨාන වන බව අප පෙරත් පැවසුවා. මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇති අතර, එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

සම්පූර්ණ ලිපිය. මෙය කොටස් වශයෙන් ඉහත දක්වා ඇත.
Read More...

Thursday, July 19, 2012

රුවන්වැලිසෑ තාරකා දොර‍ටුවෙන් හෙළි වන කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා

"තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා" නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොර‍ටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොර‍ටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ස්වභාවය නැති වේවි.

අද මේ සූදානම් වන්නේ ලංකාවේ මෙතෙක් රහසක්ව පැවති තාරකා දොර‍ටුවක් ගැන ඔබට අනාවරණය කිරීමටයි. මෙය ඔබව මවිතයට පත් කරාවි යැයි සිතේ..

1979 දී ජර්මානු ජාතික ජාචිම් හාන් සහ ක්ලාවුස් ග්‍රෝට් දෙදෙනා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායමක් රුවන්වැලිසෑයේ කැණීම් කරද්දී එහි හත‍රැස් කො‍ටුවේ තිබුණ නෙලුම් මලක් ආකාරයේ අමුතු විශාල ඇඹීමක් දැක මවිතයට පත් වුණා. එහි තිබුණේ තාරකා දොර‍ටුවක්.!!! (සිද්ධිය වසං කිරීම සඳහා පහත රූප වල දැක්වෙන දේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ජනමාධ්‍ය වෙත ලබා දී ඇත)



තාරකා දොර‍ටුව ලෙස කිව් පමණින් බොහෝ අය සිතන්නේ වෘත්තාකාර නමුත් ඇතුලට යම් යම් අපැහැදිළි සලකුණු තිබෙන දෙයක් හෝ වක්‍රාකාර සහ ඇතුලත කුහරයක් තිබෙන දෙයක් ලෙසටයි. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී ලෙසට විමාන වර්ග කීපයක් තිබෙන ලෙසටම තාරකා දොර‍ටුත් තවත් ආකාර කීපයක් තිබෙන අතර ඉන් ප්‍රධානතම තැනක් ගන්නේ "පද්ම තාරකා දොර‍ටුව" යි. එනම් රුවන්මැලිසෑයේ රූප වලින් පෙනෙන පරිදි ඇත්තේ පද්ම තාරකා දොර‍ටුවකි. මේ ආකාරයේ තාරකා දොර‍ටු කීපයක්ම රාවනාගේ රාජධානිය වු ලංකාපුරය පුරා විසිරී ඇත.


ඉහත රූපයේ නෙළුම් මලක් හෙවත් පද්මයක රූපයෙන් දැක්වෙන්නේ ඇත්තටම තාරකා දොර‍ටුව නොවේ, ක්ලාවුස් ග්‍රෝට් පැහැදිළි කරන පරිදි තාරකා දොර‍ටුව ඇත්තේ හත‍රැස් කො‍ටුව ඇතුලට වෙන්නයි. පද්මයෙන් දැක්වෙන්නේ එම තාරකා දොර‍ටුව විවෘත කිරීමේ අගුලයි. පසුගිය ලිපියේ මුලින් දැක්වූ "දැක්වුම් නිවස්න උපකරණය" (Dial-Home Device) ඔබට මතකද? අන්න ඒක තමයි ඔය නෙලුම් මලෙන් දැක්වෙන්නෙ.

නෙලුම් මලක් ඒ සඳහා යොදා ගත්තේ ඇයි කියල දැන් ඔබ සිතන්න පුළුවන්. නෙලුම් මල සඳහා ඉංග්‍රීසි වචනය වන්නේ Lotus හෙවත් ලෝටස් යනයි. එය ඇත්තටම හෙළ වචනයකි. "ලෝටස්" හි නිරුක්තිය වන්නේ ලෝ=ලෝකය, ට=ට, ස්=ස්ථානය, එනම් "ලෝකය ට ස්ථානය" යන්නයි. මේ මහා භද්‍ර කල්පයේ පුෂ්පය, නෙළුම් මල වන අතර සෑම නෙළුම් මලකින්ම විශ්වය නිරූපනය වෙතැයි වර්ගපූර්ණිකාවේ එක් පොතක් වන පුෂ්පවිප්‍රකරණයේ දැක්වෙයි. (නමුත් බමුණන් විසින් එය ගිණි තැබූ පසු ඒ තාක්ෂණය අපෙන් අහිමි වී ඇත.)

"විශ්ව සියපත" නැමති වචනය ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් දැක්වෙන්නේත් විශ්වය පෙන්නුම් කිරීමට සියපත=නෙළුම්මල යොදා ගත් බව නොවේද? විශ්ව සියපතෙන් දැක්වෙන විශ්ව සිතියමේ ඇති පෙති මෝස්තරයේ අග්‍රයන්, චක්‍රවර්තී රජවරුන්ගේ චක්‍රරත්නය අවධි කිරීමට අවශ්‍ය ශක්තිය කැටි වූ ස්ථාන මෙන්ම මාර්ග සිතියමක් (අභ්‍යවකාශයේ) විදියටත් ගන්නට පුලුවන. ඒ අනුව විශ්වයේ ඕනෑම තැකකට යාම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටුවේ "දැක්වුම් නිවස්න උපකරණය" ට නෙලුම් මලක්ම යොදා ගැනීමට තරම් අපගේ හෙළයින් තාක්ෂණයෙන් දියුණු වුණ සැටි දකිද්දී ඔබට ආඩම්බරයක් නොදැනේද?


රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඉතිහාසය
===========================

අප රටෙ ඉතිහාසය අනුව රුවන්මැලිසෑය ඉදිකර ඇත්තේ දු‍ටුගැමුණු රජතුමා විසිනි. එසේනම් රාවණා රජතුමාට පසුව දු‍ටුගැමුණු රජතුමාගේ කාලයේ මෙවැනි තාක්ෂණයක් දකින්නට ලැබෙන්නේ කෙසේද යන්න ඔබට මතු වෙයි.

රුවන්මැලි සෑය ඉදි කරද්දී එය හත් වතාවක් පොළොවට ගිලා බැස්ස බව ඔබ දන්නවා ඇත. එයට හේතු සිදුවුණේ රුවන්මැලිසෑය ඉදිකිරීමේදී ඒ බිමේ තිබුන ස්වර්ණමාලී දේවිය ගේ විමානය කපා දැමීමට සිදුවූ බැවිණි. එයට පළිගැනීමක් ලෙසටයි ඇය එවැන්නක් කළේ. ස්වර්ණමාලී යනු රාවනාගේ පරම්පරාව වූ රවි ශෛලාස පරපුරේ අවසන් පුරුකක් වන අතර ඇය මහා කාලි දේවියගේ මිනිබිරිය වූ තාරකීගේ අක්කගේ පුතා වූ ආකාශපාණ්ඩ්‍ය නම් කුමරාගේ එකම දියණිය බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.

කෙසේ නමුත් ඇයට තම මී මුත්තෙක් වුණ රාවන රජතුමාව දැකීමට අවශ්‍ය වුණ අතර පසුව දු‍ටුගැමුණු රජතුමා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇය සතුව තිබුණ හෙළ දේව තාක්ෂණය දු‍ටුගැමුණු රජතුමාට දී චෛත්‍යය නැවතත් ප්‍රතිසංස්කරණය කරවා රුවන්මැලිසායේ ඉහළින් තාරකා දොර‍ටුවක් නිර්මණය කරන ලදී. අවාසනාවකට චෛතයේ වැඩ නිම වෙන තුරු දු‍ටුගැමුණු රජතුමාට ජීවත් වීමට නොහැකි වූයේ මෙම තාරකා දොර‍ටුව වහා නිමවා රාවනා රජතුමාව බැහැ දැකීමට සලස්වන ලදී, කාලය හරහා ආපසු පැමිණි රාවනා රජතුමා දු‍ටුගැමුණු රජතුමාව හමුවූ බව ශෛලාසවත්ථුගෝටිකවංසටීකාවේ දැක්වෙයි. (මේ පොත් හැම එකක්ම බ්ලොග් එකේ දාන්න බෑ, ඉතිහාසය කියන්නෙ අතටම ගෙනල්ල දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඔයාලම සොයා බලන්න)


දැන් මෙහි තාක්ෂණය දෙස බලමු.
=====================

දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති නෙළුම් මල් පෙති සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවාට ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩල ඇති ,ග්‍රහලෝක කරා යා හැකි සිතියමකි. කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ග හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයි. විශ්වවේදය අනුව එය සියපතක ආකාර ගනී. එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.


රුවන්මැලිසෑ චෛත්‍යයේ හත‍රැස් කො‍ටුවට ඉහලින් දේවතා කො‍ටුව ඇති අතර ඊට ඉහළින් ඇත්තේ කොත් කැ‍රැල්ලය. (පසුව එම සම්ප්‍රදාය හැම චෛත්‍යයකම භාවිතා කරන ලදී). හත‍රැස් කො‍ටුවෙන් තාරකා දොර‍ටුවට ඇතුල් වෙන "විශ්වාත්‍රයේ තීර්ත යාත්‍රිකයා" හත‍රැස් කො‍ටුව හරහා දේවතා කො‍ටුවට වෝටෙක්ස් මගින් යැවෙන අතර ඉන් පසුව කොත් කැ‍රැල්ල හරහා අපගමනය වී කොත හරහා විශ්වයේ අදාළ ස්ථානයට නාභිගත වෙයි. ඉහත රූපයේ ජර්මානු කණ්ඩායම කොත් කැ‍රැල්ල මනින බව ඔබට පෙනෙනවා නේද? ඔවුන්ට අනුව කොත් කැ‍රැල්ල ඉතාමත් නිවැරදිව පිහිටා තිබෙන නමුත් තවමත් බටහිරයින්ට තාරකා දොර‍ටුවක් නිර්මාණය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය වන පාරභෞතික දැනුම (මන්ත්‍ර, තන්ත්‍ර, වේද) නොදන්නා බැවිනි.

රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුවේ අදාල මිණුම් සිදුකළ ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් එහි තිබූ දඹ රනින් හැදූ සෝපානය සහ තවත් එහි තිබූ වටිනා රත්‍රන් භාණ්ඩ ජර්මනියට ‍රැගෙන ගිය අතර ජාචිම් හාන් විසින් එම තාරකා දොර‍ටුවෙන් හත‍රැස් කො‍ටුවට යාමට තිබූ මග සිමෙන්ති දමා වසා දමන ලදී. ඒ අනුව දැන් එය තුලට මිනිසුන්ට යාමට නොහැකිය. පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සදාකාලිකව යට ගැහුවේ එලෙසටයි.

කෙසේ නමුත් තවමත් පිටසක්වල ජීවීන් අනුරාධපුරයේ සිල් ගන්නා බැතිමතුන්ව වන්දනා කිරීමට රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුව හරහා පැමිණෙන අතර පුන් පෝ දින වල දේවතා එලි ලෙස හෝ, ‍රැස් විහිදෙන රුවන්මැලිසෑය ලෙසට ජනතාව දකින්නේ එලෙස තාරකා දොර‍ටුවෙන් වෝටෙක්ස් පිටවීමලු.


කරුණාරත්න අබේසේකරයන්ගෙන් හෙළි විය
==============================

1979 දී මුලින් සඳහන් කළ ජර්මානු පුරාවිද්‍යා කණ්ඩායම රුවන්මැලිසැයේ මුදුනේ කැණීම් කරද්දී ප්‍රවීන ගී පද රචක කරුනාරත්න අබේසේකරයන්ද රුවන්මැලිසෑ වන්දනාවක ගොසින් සිට ඇත. ඒ කාලයේ තරුණ වියේ සිටි අබේසේකරයන් අදාල කැණීම දැකීමෙන් කුතුහළයට පත් වී සරම කැසපොට ගසාගෙන හිණිමග දිගේ ඉහළට නගී. ඒ මොහොතෙදි තමයි ජාචිම් හාන්  සහ ක්ලාවුස් ග්‍රෝට් දෙපොළට මෙය තාරකා දොර‍ටුවක් බව වටහාගනිමින් සීටි මොහොත. (බලන්න ඉහත එක් රූපයක ඒ දෙදෙනා තාරකා දොර‍ටුව යට කතා කරමින් සිටින හැටි). ඔවුන් එය කළින් දැනගත්තානම් කරුණාරත්න අබේසේකරයන්ට එයට කීයටවත් නැගීමට ඉඩ නොදෙනු ඇත. ඉතින් තාරක දොර‍ටුව හරහා හත‍රැස් කො‍ටුව ඇතුලට ගිය අබේසේකරයන් එය දැක විස්මයට පත් වුණාලු. නමුත් ඒ මොහොතේදී ජර්මානු කණ්ඩායමේ කිසියම් බලපෑමක් මත ඔහුත් එම රහස ලෝකයෙන් වසං කර ‍රැක ගැනීමට තීරණය කළාලු.

නමුත් දිනක් මේ ගැන කල්පනා කළ අබේසේකරයන් තව දුරටත් හෙළයේ රහස් ‍රැක ගැනීමට නොහැකි බව සිතා පෑනක් සහ කොලයක් ගෙන අදාල සිද්ධිය පද නිරුක්තියක් ඇතිවන ආකාරයට රචනා කළාලු. මතු යම් දිනෙක පද නිරුක්තියේ විශාරදයෙක් විසින් එය මතු කරගන්නා බව ඔහු සිතන්නට ඇත. මෙන්න මේකයි රචනා කළේ.

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුළෙන් රුවල් දමාලා
බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා

කෙසේ නමුත් මීට නිසි අවසානයක් ලබා දීම සඳහා පහත කොටසුත් ඔහු ලියල තිබෙනව.

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නළවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
සුවඳ එවමි සුළගෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුංගාලා
මම සමණලයෙක් වාගෙ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා

මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මමත් හරි එහෙනම් අල්ල ගන්නවා
මම රිදී දැලක් වාගෙ මැවෙනවා
මමත් ඒ ඔබේ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා

ඉහත ගීතයක් ආකාරයෙන් කරුණාරත්න අබේසේකරයන් දැක්වූ ඔහු ඇස් දෙනෙක් දු‍ටු දේ, කුණ්ඩලීනී යෝගයේ හෙළනෙක්ති ඥාණය හරහා මා මතුකරගත් පද නිරුක්ති හැකියාව තුළින් මතු කර පෙන්වන්නම්. මුල් පද හයෙන් තමයි රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ හෙළ තාක්ෂණය මැනැවින් දැක්වෙන්නේ. වර්ගපූර්ණිකාවේ දැක්වෙන ක්‍රමවේදයන්ට අනුව අපි එකින් එක බලමු.

[[නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා]]
කඩලා, කඩ+ලා , කඩ=කොටස්, ලා=දමා, කොටස් වලට දමා
ඔරුව = යාත්‍රාව
එනම්, රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා.

[[වළාකුළෙන් රුවල් දමාලා]]
වළාකුළ, වළා=වැළැක්වීමේ, කුළ=ගල, වැළැක්වීමේ ගල
රුවල් , රු=රුවන්=රත්තරං, වල්=වලින්, රත්තරං වලින්
එනම්, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා (තාරකා සවාරියේදී ඉන්ධන ලෙස යොදාගෙන ඇත්තේ රත්ත්‍රං ය, අපද්‍රව්‍ය ලෙස පිටවන්නේ යකඩයි, එනිසා මෙමගින් කිසිදු පරිසර දූෂණයක් සිදු නොවේ. රුවන්මැලිසෑ බිමේ යකඩ වැඩි බව පුරාවිද්‍යා සමීක්ෂණ වලින් ඔප්පු වී තිබුණි)

[[බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා]]
බාළොලියා, බා=පාත් කර, ළො=ළොඹුව=clog=ඇහිරීම, ලියා=ලීවරය
මල්=පුෂ්පකය
න‍ටුවෙන්=වලිගයෙන්=දිගෙති කොටසෙන්
හබල්, හ=අහස, බල්=බලා, අහස බලා
එනම්, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා

[[පෙම් ගඟුලේ රැල්ල නගාලා]]
පෙම්=ප්‍රමය
ග=ගමන්මග, ඟු=ගුල, ලේ=ලේඛනය
‍රැල්=සුළිය ල=ලකුණුකර
එනම්, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර

[[දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා]]
දේ=දේවතා කො‍ටුව, දුන්නෙන්=දීමෙන්
නැලවීලා=පැද්දෙමින්=කැරකෙමින්
එනම්, දේවතා කො‍ටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් යමු (තාරකා දොර‍ටුවෙන් යන යාත්‍රිකයාව ගමනාන්තය දක්වා භ්‍රමණය වෙයි)

[[සුරංගනා ලෝකෙ සොයාලා]]
සු=සුදුසු, රං=රංවන්, ගනා=ගම නාන්තය
එනම්, සුදුසු රන්වන් ගමනාන්තය සොයා.

දැන් ඉහත නිරුක්ති කළ අරුත වෙනම ගෙන බලමු.
"රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර, දේවතා කො‍ටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් සුදුසු රන්වන් ගමනාන්තය සොයා යමු."
දැන් ඔබට සක්සුදක් සේ පැහැදිළි ඇතැයි සිතමි.

නමුත් හෙළයින්ගේ අභිමානය ගැන කියවෙන සිද්ධියක් පහත ආකාරයෙන් විකෘති කිරීම ගැනනම් අප බෙහෙවින් කණගා‍ටු විය යුතුය. මෙවන් දෑ දැක දැකම හෙළයින් නිදාගෙන සිටින හැටි.



විද්වත් මත
=======

විද්වත් මත අනුව එම නෙළුම් මලේ සිතියම සටහන් කර ඇත්තේ දොරකය. එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.

1. වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.

2. වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)

1 වන කරුණ සත්‍යක් නම් :-
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

2 වන කරුණ සත්‍යක් නම්:
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.
උදා ;- අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}
කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.

"Star Gates" ගැන සුද්දන් කොතරක් කෙකර ගෑවත් වඩාත්ම වැදගත් දේනම් "Star Gates", සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ තාරක දොර‍ටු තාක්ෂණය ගැන උදාහරණ පමණක් නොව සෙල් ලිපි පවා තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

එම හෙළ අසුර පරපුරෙන් පැවතෙන හෙළයෙක්ව හෙළදිවේ ඉපදීම ගැන මෙම ලිපිය කියවීමෙන් ඔබ ආඩම්බරයට පත් වුණි නම් ෆේස්බුක් එකේ Share කරගෙන වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ඔබගේ කාරුණික සහාය ලබා දෙන්න.
Read More...

Wednesday, July 18, 2012

පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ අපූරු හෙළ විද්‍යාත්මක පර්යේෂන පත්‍රිකාවක් පළ කර තිබේ. එය කිසිදු වෙනසකින් තොරව වර්ගපූර්ණිකාවේ සහෘදයින් වෙනුවෙන් මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින, බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

රාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් හෙළ දෙරණ මත ඇතිවන ශක්තියක් බව අපි වරින් වර පෙන්වා දුන්නෙමු. වසර දස දහසකට පෙර තරු රාවණද, වසර හත්දහස් පන්සියයකට පෙර බලි රාවණද, අවසානයේ වසර පන්දහසකට පෙර දසිස් රාවණ ශක්තියද අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තැබීය. වසර දෙදහස් පන්සියයකට පසුවද අප හෙළ දෙරණ තුළ මෙම පරිවර්තනීය ශක්තිය ක‍්‍රියාත්මක වූ අතර එය අපි බුද්ධ ශක්තිය ලෙස හඳුන්වන්නෙමු. රාවණ ශක්තිය හෝ බුද්ධ ශක්තිය ආදී කුමණ නමකින් අප පැහැදිලි කළද ලංකාව තුළ එකම රටාවක් දිගින් දිගට ක‍්‍රියාත්මක වන බව පෙනීයයි. අපි අවසන් රාවණ රජු ලෙස කතා කරන දසිස් රාවණ නැතහොත් ‘යගු කෞරාණ මන්ඨක’ගේ පරපුර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට උත්සහ දරමු.


ලෝකය පාලනය කිරීම උදෙසා බ‍්‍රහ්මයා විසින් පුතුන් සත් දෙනකු නිර්මාණය කළේය. මෙහිදී බ‍්‍රහ්මයා යනු අප කලින් කතාකළ පිටසක්වළ ජීවී රජෙකු හෝ යම් තනතුරක් විය යුතුය. ඔහුගේ පුතුන් යනු පෘතිවියේ නිර්මාණය කළ ජනපද හත පාලනය කිරීම උදෙසා පත්කළ පාලකයන් හත් දෙනා විය යුතුය.

පුලස්ථි, වශිෂ්ඨ මෙසේ බ‍්‍රහ්මයාගේ පුතුන් ලෙස පොළොවේ පාලනයට දායක වෙයි. එහිදී වශිෂ්ඨ ඉන්දු ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත්, පුලස්ථි හෙළ ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත් ස්ථානගත විය. මෙහිදී අප තේරුම්ගත යුත්තේ මෙම ජනාවාස හත තුළ එකකට එකක් වෙනස් තත්ත්වයන් ක‍්‍රියාත්මක වීමයි. එහිදී එම ශිෂ්ටාචාරවල ආරම්භක ස්වභාවය මත ශිෂ්ටාචාර වර්ධනය වීම සිදුවුණි.

පුලස්ථි ඍෂි හෙළ ශිෂ්ටාචාරයේ පාලන තන්ත‍්‍රය පිහිටුවීම උදෙසා තෝරාගනු ලබන්නේ වර්තමාන පොළොන්නරුවයි. පුලතිසි පුරවරය ලෙස එය හැඳින්වුණි. පුලස්ථි මහ ඍෂි උපරිම ලෙස ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කළ ඍෂිවරයකු වුවත්, ඔහු තුළ පැවති විශේෂත්වය වනුයේ භෞතික සංවර්ධනය උදෙසා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට තම ආධ්‍යාත්මික ශක්තීන් උපයෝගී කර ගැනීමයි.

ලෝකයේ සියලූම දැණුම එක්තැන්කර ඇතැයි සැලකෙන චතුර්වේදයෙහි පළමු වේද ග‍්‍රන්ථ තුන සම්පාදනය කරනුයේද පුලස්ථි ඍෂි විසිනි. පුලස්ථි ඍෂි වර්තමාන වසරවලින් අවුරුදු දෙසීය හතරක් ජීවත් විය.

පුලතිසි පුරය ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන ඒකකයක් ලෙසද පවත්වා ගෙන ගියේය. වර්තමාන පරාක‍්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගය පුලස්ථි මාලිගාවේ කොටසක් ලෙසින් සැලකේ.

ලග්ගල කඳු මුදුනේ මෙතුමාගේ විශේෂිත පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටා තිබුණි. ලග්ගල අහස් සිතියම හොඳින්ම අධ්‍යනය කළ හැකි ස්ථානය ලෙසින් සැලකේ. පුලස්ථි ඍෂි විශ්වය හා සබඳතා පැවැත්වූයේ මෙහි සිටය. යුරෝපීය චිත‍්‍රපට බොහොමයක වස්තු බීජ හෙළ පොළොව තුළින් උකහා ගත් ඒවා වන බව අතීතය සොයා යෑමේදී අපට අවබෝධ වන කරුණකි. එනම් අපට පෙර අපේ අතීතය ඉතා සියුම්ව යුරෝපීය ජාතීහු අධ්‍යනය කොට අවසානය. එහෙත් ඔවුහු ඒවා හෙළි නොකරති. පුලස්ථි ඍෂි මියයෑමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කළ බවට විශ්වාසයක් පවතියි.

පුලස්ථි ඍෂිගේ යළි ඉපදීම රාවණ යුගයේදී සිදු වූ අතර මහා කාල ඍෂි ලෙස ඔහු හැඳින්වුණි. රාම රාවණ යුද්ධයට පුලස්ථි ඍෂිගේ දායකත්වය ලැබෙන්නේ එලෙසය. මහා කාල ඍෂිද අසීමිත දැනුමකින් සපිරි ඍෂිවරයකු වන අතර රාවණ යුගයේ හෙළ අසුර ව්‍යාප්තියට ඔහුගේ දැනුම බොහෝ සෙයින් හේතුවිය. විශේෂයෙන්ම රාවණ යුගය බලගැන්වූ පළිඟු තාක්ෂණය පුලස්ථි ඍෂිගේ සොයා ගැනීමකි. පුලස්ථි ඍෂි ඇරඹූ රොහල් ගණනාවක්ම එකල හෙළයේ පැවතියේය.

පුලස්ථි ඍෂිගේ වැඩිමහල් පුත‍්‍රයා වනුයේ වෙසමුණි නැතහොත් වෛශ‍්‍රවණ මුණිවරයාය. පුලස්ථි ඍෂිගෙන් පසු හෙළ රාජ්‍යයේ පාලනය හිමිවනුයේ ඔහුටය. වෛශ‍්‍රවණ මුණි යනු තුන් ලොව සිටි බලවත්ම පුද්ගලයාය. එකල බලවත් රජෙකුව සිටි සුමලින් හට තම දියණිය සරණ පාවා දීමට සුමලින්ට වඩා බලවත් රජෙකු සොයාගත නොහැකි වූ විට අවසානයේ ලොව බලවත්ම මුණිවරයාට තම දියණිය සරණ පාවා දීමට තීරණය කළේය. රාවණ රජුගේ මව වූ කෛකේෂි සුමලින්ගේ දියණියයි. එසේ බලන කල මහා රාවණ බලවත් රජෙකු වනුයේ පරපුරු දෙකේහිම උරුමයක් ලෙසිණි.

රාවණ රජු උපත ලබනුයේ වර්තමාන මතුගම ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක විශ‍්‍රවස් මුණිගේ ග‍්‍රාමයේ යක් විල නම් ප‍්‍රදේශයේ පිහිටි මාලිගාවකදී. මෙම මාලිගය කෛකේෂි මාලිගය ලෙස හැඳින්වුණි. කෙසේ වෙතත් අප ලංකාවේ අධිශක්ති කලාප දෙකක් පෙන්වා දුන් අතර දකුණු ප‍්‍රදේශයේ පිහිටි කලාපය (මෙය භීම මණ්ඩලය ලෙසද සමහර තැනක සඳහන් වේ) මාධ්‍යයේ මෙම මාලිගය පිහිටා ඇත.



රාවණ කුමරු තුළ බ‍්‍රාහ්මණ ස්වභාවයක් හා රාක්ෂ ස්වභාවයක් යන ස්වභාවයන් දෙකම පවතී. එයට හේතු වනුයේ මාපිය සම්මිශ‍්‍රණය සමගම අධිශක්ති කලාපය හරහා ලැබෙන ශක්තියයි. උපතේ සිටම බලවත් චරිතයක් බවට රාවණ පත්වනුයේ එබැවිණි. රාවණ රජුට සහෝදර සහෝදරියන් කිහිපදෙනකු විය. කුවේර, විභීෂණ, කුම්භකර්ණ, සුපර්ණිකා, කරන්, දුෂණන් ආදී නම්වලින් ඔවුන් හැඳින්වුණි.

පියාවූ විශ‍්‍රව මුණිගේ බිරින්දෑවරු පස්දෙනකු පිළිබඳ තොරතුරු පවතින අතර මෙම විවාහ සියල්ලේ දරුවන්, සොහෝදර සහෝදරියන් ලෙස සැලකෙයි.

කුවේරගෙන් රාජ්‍ය අල්ලා ගැනීමෙන් පසු රාවණ රජුගේ රාජ්‍ය පාලනය උදෙසා සහෝදර සහෝදරියන් සියල්ලම සහයෝගය ලබාදුන් අතර, පසුකාලීනව විභීෂණ බල තණ්හාව නිසා රාජ්‍යය පාවා දුන්නේය.
අපි රාවණ පරපුර පිළිබඳ කතාකරන බැවින් සහෝදරයන්ගේ සබඳතාවලින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ දරමු. රාවණ රජුගේ මවු පෙළපත වත්මන් ඉරානය පවතින ප‍්‍රදේශය පාලනය කළ ඉරණි රජ පෙළපතින් පැවත එන්නකි. එම පරපුරේ සුකේෂ රජුගේ පුත‍්‍රයා වූ සුමාලි හා කේතුමතී කුමරියට දාව ඇය උපදියි.

රාවණ රජුගේ බිසව වනුයේ මන්දෝදරි කුමරියයි. මන්දෝදරි යනු නාග ගෝත‍්‍රික තරුණියක් ලෙස යම් තැනක සඳහන්ව ඇත. එහෙත් ඒ පිළිබඳ ස්ථීරව සඳහනක් කිරීමට නොහැකිය. මන්දෝදරි යනු ලොව රූපශී‍්‍රයෙන් අගතැන්පත් කුමරියක් ලෙස රාමායනයේද සඳහන් වෙයි. රාවණ හා මන්දෝදරියට දරුවන් දෙදෙනකු ලැබුණි. ඔවුන් නිවුන් දරුවන්ය. රාවණ රජුට දරුවන් උපදින දිනය පිළිබඳ අනාවැකියක් පැවසූ මහ ඍෂිවරයකු පැවසුවේ එදින රාත‍්‍රී දොළහට පෙර උපදින දරුවා රාවණ රාජ්‍යය රකින බවත්, දොළහට පසු උපදින දරුවා නිසා රාජ්‍ය විනාශ වී යන බවත්ය. මේඝ පළමු දරුවා විය. ඉන්ද්‍රජිත් නමින් අප දන්නේ රාවණගේ පිරිමි දරුවාය. ශොහිලි (සීතා* රාවණගේ දියණියයි. එහෙත් දොළහෙන් පසු ඉපදීම නිසා උපතේදීම ඇයට මාලිගයෙන් පිටව යන්නට සිදුවිය. රාවණ පුත් ඉන්ද්‍රජිත් විවාහවූයේ සුලෝචනා සමගය. ඉන්ද්‍රජිත්ට දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් රවිශෛලාෂ හා කොවේසස්ථය. රාවණ රාජ්‍යය විභීෂණ අතට පත්වීමෙන් පසු ඉන්ද්‍රජිත් පුතුත් විසින් යළි කැලණියේ පිහිටි විභීෂණ රාජ්‍යයට පහරදී රාවණ පරපුරට බලය නතුකර ගනු ලැබුණි.

රාවණ රජු බුද්ධෝත්පත්ති දෙකකට පසු බුදුවන බවට රාවණ පරපුරේ පැරැුණ්ණෝ විශ්වාස කරති. එයට හේතු වනුයේ රාවණ රජු කාශ්‍යප බුදුන්ගෙන් බණ අසා බුදුබව ප‍්‍රාර්ථනා කිරීම යැයි ඔවුහු පවසති. මංජු ශී‍්‍ර බෝධිසත්වයෝ නමින් බුදුවනුයේ රාවණ රජු යැයි විශ්වාසයක් පවතී.

ඉන්ද්‍රජිත්ගේ පුතුන්ගෙන් ව්‍යාප්ත වූ පරපුර ව්‍යාප්ත වීමේදී ඉන්ද්‍ර යන නම මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ බව පෙනීයයි. දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර ආදී ලොවින් පවතින පරපුරු එසේ ව්‍යාප්ත වූ පරම්පරාවන්ය.

රවිශෛලාෂ හා කොවේසස්ථ පාලනයට ලංකාපුරය නතුවීමෙන් අනතුරුව ප‍්‍රධාන පාලන ඒකක අටක් යටතේ පාලනය ගෙන ගිය අතර දිගින් දිගට හෙළ යක්ෂ පාලනය සවිමත්ව පැවතුණි. අගිය, තේක්ධශ, තිමිර,කනශ, බිම්බා, (කුවේණිගේ පියා), මෙන්ම අවසානයේ කුවේණියගේ පුතා වූ වීරබාහුද රාජ්‍ය පාලනයට දායක වෙමින් රාවණ පරපුර ඉදිරියට ගෙන ගියේය. එසේ ව්‍යාප්ත වූ හෙළ රාවණ පරපුර අදටත් හෙළ දෙරණ තුළ නව දෑ නිපදවමින් හෙළය පෝෂණය කරමින් සිටිති.

කාංචන ගීත මනමේන්ද්‍ර - රන්දිව
Read More...

Tuesday, July 17, 2012

සමනළ කන්ද කෘතිමව නිර්මාණය කළ හැටි.

සමනළ කන්දේ සම්භවය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති නමුත් එය රාවණ හෙළ ඉතිහාසයට උචිත ලෙස කරන ලද 200% ක් නිවැරදි පැහැදිළි කිරීම Ravana Lanka බ්ලොග් එක කරන මා හිතවත් මහත්මයා දී ඇත. පහත දැක්වෙන්නේ එතුමාගේ අවසර පරිදි පළ කරන එම ලිපියයි. මෙවන් තොරතුරු අප සමග බෙදාගැනීම වෙනුවෙන් එතුමාට වර්ගපූර්ණිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.

සමනළ කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුළ පළවුණි. පාඨකයන් ද මෙය පිළිබඳ මාගෙන් කරුණු විමසා සිටියා. වැදගන්ම දෙය නම් ඉදිරියේ දී සිදුවීමට නියමිත බොහෝ කරුණු පැහැදිලි කරගැනීමට , සමනල කන්ද නිර්මාණය කල ආකරය දැනගත යුතු වීමයි.

එම නිසා මෙම ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ සමනළ කන්ද නිර්මාණය කල අකාරය පැහැදිලි කිරීමටයි
විවිධ විෂය ක්ෂේත්‍රයනට අයත් පාඨකයන් මෙය කියවන බැවින් හැකි තරම් සරළව මෙය ඉදිරිපත් කිරීමට උත්සහ කරමි.

පළමුවෙන් ම සමනල කන්ද ගැන පහත අකරයේ මත 2ක් මා දු‍ටුවා.

(අ.) සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව
(ආ.) සමනළ කන්ද යනු පැරණි යමහලක් බව

මෙම මත දෙකෙන් ම පෙන්නුම් කරන්නේ සමනළ කන්ද ස්වභාවික හේතුන් නිසා ඇතිවූ දෙයක් ලෙසයි.

කඳු නිර්මණය වන ප්‍රධාන ක්‍රම 3කි. එනම්

1. ගිනිකඳු නිසා ඇතිවන කඳු

2. පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු

3. පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු.

ඉහත කඳු නිර්මාණය වීමේ ආකාර 3 පදනම් කරගෙන සමනල කන්ද නිර්මාණය වූ අයුරු පිළිබඳ ඇති මත 2ක විශ්ලේෂණය කරමු.

සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව සලකා බලමු.

ගිනිකන්දක් නොවන ස්වභාවික හේතුන් විසින් සමනල කන්ද නිර්මාණය වූවා නම්, සමනළ කන්ද නිර්මණය වියයුත්තේ පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කන්දක් ලෙස හෝ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කන්දක් ලෙසයි.

පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු අශ්‍රිතව තවත් එවැනි හැඩයෙන් හෝ අසන්න විශාලත්වයකින් සමාන කඳු නිර්මාණය විය යුතුයි. මෙහි දී එක කන්දක් අනෙක් වාට වඩා උස වැඩි විය හැකි අතර එවිට ඒ වටා ආරොහණ ශ්‍රේණියක් ඔස්සේ උස වැඩි වන කඳු වළල්ලක් පිහිටියයුතුය. උදා: හිමාල කඳු වැටිය සහ එවරෙස්ට් කන්ද නිර්මාණය.

හිමාල කඳු වැටිය සහ එවරෙස්ට්

නමුත් සමනල කන්ද හා හැඩයෙන් හෝ විශාලත්වයෙන් සමාන කඳු, කඳු පන්තියක් සමනල කන්ද යාබදව දක්නට නොමැත.

අනෙක් හේතුව වන පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු වල හැඩය සම්පූර්ණයෙන් ම වෙනස් වන අතර හොර්ටන් තැන්නේ ලෝකාන්තය වැනි භූවිෂම තා ඇතිවන්නේ මෙමෙ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම යන හෙතුව නිසා ය.

එබැවින් සමනළ කන්ද පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවූ කන්දක් නොවන බව ඉතා පැහැදිලි වේ.

දැන් අපි ඉහත දෙවෙනි මතය වන "සමනළ කන්ද යනු පැරණි යමහලක් බව" සලකා බලමු.

සමනළ කන්ද පිහිටා ඇත්තේ Banded Metamorphic නැමැති තද පාෂාණ තට්‍ටුවකයි. මේවා ඉහළ පීඩන සහ ඉතා දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙයි. මෙය ස්වභාවික ගිනිකන්දක් නම් මෙම තීරය අවටින් තවත් එවැනි ගිනිකඳු භූවිෂම තා හමුවිය යුතු අතර, ඉන්දියාව දක්වා කිසිම එවැනි සලකුණක් මෙම තීරයෙන් හමු නොවේ. මේ හේතු උඩ මෙම දෙවෙනි මතයද පහසුවෙන් බැහැරකළ හැකිය.
**අන්තර් ජාලය සහ, අශ්‍රිත පොතපත ඇසුරින් මේ කරුණු පාඨක ඔබට තව දුරටත් පැහැදිලි කරගත හැකිය.

මෙතනින් ඉදිරියට පැහැදිලි කරගැනීම සඳහා අප යම් දෙයක් දැනගතයුතුය. අපේ හෙල කැවිලි වර්ගයක් වන කොණ්ඩකැවුම් හදන ආකාරය මතක් කරගන්න. එහිදී නටන තෙල් තාච්චියට දමන කොණ්ඩකැවුම් මිශ්‍රණය වටේට බැදෙන විට ක්‍රමයෙන් ඝන තත්වයට පත්වේ. තවමත් අර්ධ උකු තත්වයෙන් කැවුම මැද ඇති මිශ්‍රණය ඉර‍ටුවක් අධාරයෙන් ක්‍රමයෙන් ඉහළට අදී. එවිට එම උකු මිශ්‍රණය තෙලෙන් බැදෙමින් ක්‍රමයෙක් ඝන කොණ්ඩය බවට පත්වේ.



සමනළ කන්ද නිර්මාණය කළේ ඉහත අකාරයට සමාන අයුරකිනි. එය මෙලෙස කොටස් 3කින් පැහැදිලි කල හැක.

1. සමනළ කන්ද නිර්මාණය කළයුතු භූම්යේ මධ්‍ය ලක්ෂය ‍තෝරාගෙන එහි සමාන අරයකින් යුතු වෘතයක් නිර්මාණය කරන ලදී. එය පහත පරිදි විය.

2. ඉන්පසු අධි බල කිරණයන් යොදාගෙන පහතින් ඇති තද පාෂාණ, ස්තර ක්‍රමයෙන් කම්පනය කරමින් ඒවාගේ ස්ථාවරත්වය බිඳ හෙළන ලදී. කිරන විවිධ ලෙස නභිගත කිරීම තුළින් විවිධමට්ටම් වල ඇති ස්තර සියල්ල අස්ථාවර/ මෘදු කරන ලදී.

3. ක්‍රමයෙන් අවශ්‍ය උස මට්ටමට පැමිණි පසුව මුදුනේ ඇති මධ්‍යය ලක්ෂය තුළින් "අඳුරු පදාර්ථමය කිරන" යැවීම මගින් කඳු මධ්‍යයේ ඇති ලෝදිය/ මැග්මා වල අධික තාපශක්තිය උරා ගන්නා ලදී. එහිදී ඉහළට ආ ලෝදිය ක්‍රමයෙන් සිසිල් වී ඝන වුණි.

මෙවැනි නිර්මාණයක් කිරීමේ තාක්ෂණය නූතන බටහිර විද්‍යාව සමග සන්සන්දනය කළහොත්, බටහිර විද්‍යාව තවමත් ගල්යුගයේ පවතින බව පිළිගතයුතුයි.

මෙහි අතිශය විශිෂ්ට සැලසුම් සහ මේ සඳහ යොදාගත් යානා, තාක්ෂණික මෙවලම් ආදිය ගැන කිවයුතුමයි. එම කරුණු ඉතාම ඉක්මනින් වෙනත් ලිපියකින් විග්‍රහ කරගමු.

මෙය කෙටියෙන් නොකියා, මෙපමණ කරුණු ඇතුළත් කළේ, තවමත් සමහරුන් මේවා දෙස සැක මුසුව බලන නිසාවෙනි.
Read More...

නුදුරු අදහස්