Saturday, June 30, 2012

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.

චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.

රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා මිදුලට ගොස් අහස දෙස නෙත් විදහා, ඈත ආකාසයේ ක්ෂීර සාගරයේ නිල් පාටින් දිළෙමින් මුළු විශ්වයම රාවණ කාන්තියෙන් ප්‍රභාමත් කරන්නා වූ ඒ "මිහිකත" නම් ලෝක ගෝලයේ මධ්‍ය ලක්ෂයේ ඇති "හෙළදිව" දෙසට හැරී, දෑත් ඔසවා දොහොත් මුදුන් තබා තෙවරක් සාධු සාධු සාධු කියා නමස්කාර කරන බව ඉපැරණි පුස්කොළපොත් වල මැණවින් විග්‍රහ වෙනව. අතීතයේදී දෙවිවරු පවා අප හෙළ දිවට වන්දනා කල බව පැ‍රැන්නන් කියන්නේ එනිසයි.

නීලගිරි පර්වතයේ තිබී හමුවූ ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත වන වර්ගපූර්ණිකාවේ සඳහන් වන ආකාරයට, රාවණ රජතුමා විශ්වය ගවේෂණය කිරීම සඳහාත් වෙනත් ග්‍රහලෝක සහ විශ්වීය ජනපද ගැන විමසිල්ලෙන් සිටීමටත් භාවිතා කළ අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයේ නම තමයි "නාසා". මේ නම දු‍ටු සැනින් මටත් සිහියට ආවේ ඇමරිකාවේ වොශිංටන් මූලික කරගනිමින් පිහිටා ඇති National Aeronautics and Space Administration (NASA) නැමැති අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි.


ඒ අනුව මා කියවුයේ වර්ගපූර්ණිකාවේ හොර කොපියක් දැයි මා හට කුකුසකුත් ඇති වුණා. නමුත් රාවණගවේශකයින්ගේ ඇති ප්‍රධානතම ප්‍රතිපත්තියක් තමයි, හෙළයින්ගේ කිතු ගොස වනන යමක් ගැන සැකයක් ඇති වූ සැනින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම. ඒ අනුව ඔය ගැන තවදුරටත් හෙළගවේෂණය කිරීමට මසිත නොදැනුවත්වම පෙළඹුනා. එහිදී ම හට තහවුරු දේවල් පුදුමාකාරයි.

වර්ගපූර්ණිකාවෙන් පෙන්වූ සිතියම් මග යමින්, නාවල නගරයට නුදුරින් තිබෙන ඉපැරණි වෙල් යායක් මාගේ ගවේශණයට යොමු කළා. එම වෙල් යාය පිහිටා තිබෙන්නේ අක්කර ගණනාවක විශාල පරිධියකින් යුතු නොගැඹුරු වලකයි. අතීතයේදී "නාසා වල" ලෙස හඳුන්වා ඇත්තේ එම වලේ ඇත් වෙල් යාය බව, එහිදී මා හට හමුවූ පාරම්පරික ගැමියෙක් වන 95 වයසැති එබරං ආතා පැවසුවා.

එයට "නාසා වල" ලෙස හැඳින්වූයේ ඇයි දැයි මා වෙල් යාය පුරාම සොයද්දී මා හට ඈතින් පඳුරු වලට වටවී තිබූ සෙල් ලිපිය දිස් වුණා. ඒ සෙල් ලිපියේ රාවණයුගයේ ඉපැරණි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබුණේ මෙලෙසයි.
"නශ - අශ නිශ. අධ අෂ කප. අස ඇථ වන ආථ විශ ඛ ල්‍ය"
එහි තේරුම ම දන්නා තරමින් මෙලෙසයි. "නාසා - අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ"
ඒ අනුව රාවණ යුගයේදී එතැන නාසා යමින් යම් ඉදිකිරීමක් තිබූ බව තහවුරු වුණා. මේ බව මා එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මාස කීපයකට පසුව දැනගන්නට ලැබුණේ ඒ සෙල් ලිපිය කුඩු කර දමා ඇති බවයි. හෙළයෙනි, ඒ පාහර ක්‍රියාව පස්සේ සිටින්නේ කවුරුන් විය හැකිද? කොහොම නමුත් තාමත් නාවල වෙල් යාය ගාව පාරේ ගල් ගොඩක් ඇති අතර එහි ඇත්තේ මා කිව් එම සෙල් ලිපියේ නෂ්ඨාවශේෂයනුයි.

වර්ගපූර්ණිකාවේ දී ඇති පද නිරුක්ති සම්ප්‍රදායේ යමින් නාසා යන්න නිරුක්ති කළ විට නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා. සාමාන්‍යයෙන් නාසයෙන් අප කරන්නේ ගඳ සුවඳ බලා යමක් හඳුනාගැනීමනේ. අන්න ඒ වගේ "අහස දෙසට ඇති නාසයකින්" සිදු කරන්නේ අහසේ ඇති දේවල් ගැන හඳුනා ගැනීමයි.

දැන් හොඳටම පැහැදිළියි නේද, නාවල හි "නාසා" නමින් රාවණ රජුගේ අභ්‍යවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් තිබිල තියෙනවා. "නාසා තිබූ වල", නාසා+වල සන්ධි වී පසුකාලයේදී "නාවල" බවට පත් වෙලා.

වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ තවදුරටත් සඳහන් වෙන පරිදි රාවණා රජතුමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස තනතුරක් ඇති කර තිබෙනවා. ඔහුව නම් වී ඇත්තේ නාරද නමින්. නා=නාසා, රද=රජු, ඒ අනුව නාසාහි සිටි රජු(ප්‍රධානියා) නාරද නම් වෙනව. අදටත් ඇති නාරද පෙළපත පැවතෙන්නේ ඔවුන්ගෙන්.

අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු "වාතයෙන් යන රිය පොළ" හෙවත් රාවණ රජතුමාගේ දඬුමොණර ගොඩ බෑ ගුවන්තො‍ටුපොළක්. ඒ අනුව මා ගවේශණය කළ පරිදි වාරියපොළ සහ නාවල අතර ඉතාමත් කෙටි ගමන්මාර්ග කීපයක්ම තිබී තිබෙන්නේ අතීතයේදී වාරියපොළ දඬුමොණර යාත්‍රාංගනය සහ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් ඔප්පු කරමිනුයි.

කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා අපගේ පුස්කොලපොත් එංගලන්තයට ගෙන ගිය බව අප හෙළයෝ සියල්ලෝම එක හෙළාම පවසන්නක්. ඒ පුස්කොළපොත් අතර නාසා ගැන සඳහන් බොහෝ පුස්කොළපොත්ද තිබුණ අතර තාමත් ඒවා ලන්ඩන් කෞතුකාගාරයේ පවතිනව. එම පුස්කොළපොත් වල සඳහන් වූ ආකාරයට රාවණ රජතුමාගේ නාසා එක නාවල මූලස්ථානය කරගනිමින් ඇමරිකාව, මිසරය, තූත්තුකුඩිය, මහාමේරුව, චන්ද්‍රයා, අඟහරු ආදී විශ්වයේ නන් දෙස ශාඛා පිහි‍ටුවල තිබෙනව. අදත් චන්ද්‍රයාගේ මතුපිට පිහිටා ඇති හඳුනා නොගත් කුළුණ රාවණ රජතුමාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවියක් සේම නාසාහි දුරේක්ෂයක් ලෙසත් භාවිතයට ගැණුනක් බව, වරක් ඇමරිකාවේ දී මා හට හමුවූ වොශිංටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරීටා අමෘට් පැවසුවා.

චන්ද්‍රයා මත තාමත් ඇති රාවණා රජතුමාග "නාසා" ශාකාව.

ඇමරිකාවේ පිහිටා තිබූ රාවණ රජතුමාගේ නාසා හි ශාකාව ගැන අහම්බෙන් දැනගන්නට ලැබුන ඇමරිකානු ජනාධිපති Dwight D. Eisenhower ඇමරිකාවේ නාසා ඉදි කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා යොදා ගත්තේ එදා රාවණ රජතුමා ඇමරිකන් මහාද්වීපයේ නාසා හි ශාකාව ඉදි කර තිබූ ස්ථානයමයි. ඒ සඳහා අත්තිවාරම් කපද්දී බොහෝ පුරා වස්තු සොයාගත් අතර එහිදී හමුවූ තාක්ෂණික මෙවලම් ඔවුන් නවීකරණය කර භාවිතයට ගෙන තිබෙනව.

වැදගත්ම දේ තමයි "නාසා" යන නම සඳහා රාවණ රජතුමා විශේෂ රාවණ ශක්ති මන්ත්‍රයකින් ජප කර තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ අනුව නාසා යන නම ඉතාමත් සුභ පල දෙන්නක්. එනිසා එම ඇමරිකන් ව්‍යාපෘතියටත් NASA යන නමම තැබුවා. එසේම රාවණ රජතුමා නාසා ආයතනය විමධ්‍යගත කර තිබූ ආකාරයටම අයිසෙන්හවර් ජනාධිපති තුමත් එය Fransisco, New Callifornia, Texas ආදී ස්ථාන 18 කට විමධ්‍යගතව ස්ථානගත කිරීමට පිඹුරුපත් හැදුවේ, වොශිංටන්හි නාසා වලට අත්තිවාරම කපද්දී හමුවූ සෙල් ලිපියක සඳහන් වුන 18 ඉලක්කමෙහි (18 සන්නිය?) වැදගත් කම සිතමින්.

එතකොට National Aeronautics and Space Administration යන අරුත "නාසා" වලට ආවේ කොහොමද? ඇත්තෙන්ම ඒක අපගේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීම සඳහා සුද්දන් විසින් උපක්‍රමිකව දමන ලද නමක්. ඔය ආකාරයෙන් නාසා වලට ඕනැ තරම් තේරුම් දෙන්න පුළුවන්.
NASA = National Airspace Search Authority
NASA = National Airplane Syndicating Agency
NASA = Non-Governmental Administration of Space and Atmosphere
ඔය කීපයක් විතරයි, ඒ අනුව NASA නමට ඉංග්‍රීසි තේරුමක් තිබූ පළියට ඒක වළංගු වෙන්නේ නෑ.

එසේම ඔබ දන්නවද නාසා වෙතින් ගුවන් ගත කළ Discovery සහ Columbia අභ්‍යවකාශ ශටල සඳහාත් යොදා ගත්තේ රාවණා රජතුමාගේ දඬුමොණර තාක්ෂණයම බව? ඒ ගැන කීමට ගියොත් ලිපිය දික් විය හැකි බැවින් ඉදිරි ලිපියකින් ඔබ හමුවේ තබන්නම්.

දඬුමොණර තාක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඩිස්කවරි ශටලය.

පෘථිවිය මිනිසාගෙන් ශිෂ්ටාචාර වුන දවසේ සිට අවුරුදු දස දහස් ගණනක් ගිහිල්ලත් මිනිසාට පෘථිවි වායු ගෝලයෙන් එලියට යාමට නොහැකි වූවානම්, පසුගිය සියවසේදී පමණක් මිනිසා මෙතරම් දියුණුවක් ලැබුවේ කෙසේද? ඒක විය නොහැක්කක් බව ඒ තර්කය නැවත නැවතත් විමසා බැලීමෙන් ඔබට වැටහේවි. ඒ අනුව පැහැදිළියි අද සුද්දා අභ්‍යවකාශය තරණය කළ බව කියමින් කෙකරගාන තාක්ෂණය ඊට පෙර කොහෙන් හෝ ලබාගත් දෙයක් බව. මා ඉහත හෙළි කළ තොරතුරු අනුව පැහැදිළි වන්නේ සුද්දා අභ්‍යවකාශයට ගියෙත් හෙළයින්ට පින් සිද්ද වෙන්නට බවයි. NASA නමින් අද තිබෙන මහලොකු කෙරුවාව අපගේ රාවණා රජතුමාගේ තාක්ෂණයකින් ගොඩ නැගුවක් බව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතේ. අද උඩුගුවනේ නටන පර සුද්දන් අපගේ රාවණා රජතුමාටත්, අප හෙළයටත් ණයගැතියි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Friday, June 29, 2012

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි.

හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්‍රාහකයා "හෙළෝ" කියා අසන නිසයි. හෙළ+ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" කියා ප්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි.

එය ඉංග්‍රීසි බසට ඇතුලත් වුණේ කෙසේද කියා ඔබ දනීද? "ඉංග්ලිශ්" යනුත් "සිංග්‍රීසි" යන හෙළ පදයෙන් හැදුණ පදයකි. එනම් සෙල්ටික් නැමති ඉපැරණි ගෝත්‍රිකයින් යටත් කර එංගලන්තය ශිෂ්ටාචාරය කළ ආදීතමයන් වූයේ හෙළයින්ය. රාවණ යුගයේදී අතීත හෙළයින් ග්‍රීසිය හරහා එහි පැමිණි අය නිසා සිංහල+ග්‍රීසි දෙක එකතු වී ඔවුන්ව "සිංග්‍රීසි" ලෙසයි හඳුන්වා ඇත. ඔවුන්ගේ බාසාවත් "සිංග්‍රීසි" ලෙස හැඳින්වුණි. එමෙන්ම සිංහලයන් ලබා ගත් ඒ බිම "සිංහලන්තය" ලෙසත් හැඳින්වුණි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?

බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ (එංගල් වරුන් යනු ඇන්ග්ලෝ - සැක්සන්, ඇන්ග්ලෝ - නෝර්මන් කියන ගෝත්‍රයන් දෙක) ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.


ඉහත රූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේ සිතියමයි. ඊළඟට පහතින් දැක්වෙන්නේ පහළොස් වන සියවසේදී අක්ශාංශ සහ දේශාංශ 100% ක් ඉතාම නිවැරදිව ගෙන ටොලමි ඇන්ද තැප්‍රොබානා (ශ්‍රී ලංකා) සිතියමයි. මේ සිතියම් දෙක හොඳින් නීරීක්ෂණය කළහොත්, එංගලන්තය සිතියම තැප්‍රොබානා සිතියමේ වම දකුණ මාරු වීමක් බව ඔබට පෙනේවි.


ආදී සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැලපෙන ආකාරයට න්‍යෂ්ඨික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටළු. බොරුයි කියා සිතේනම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවල බැලිය හැක. නමුත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සු=සුණුවිසුණු, නා=වතුර, මි=මිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුනු විසිනු කරන වතුර කියන එක. මූලාශ්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු.

රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින් ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි.
හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි.
යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.
ඇක්ස්+බ්‍රිජ් = Axbridge

යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්‍රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය.
භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle

අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය.
ඇස් සහ කන් => ඇස්කර්න් => Askern


චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.



දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය.
"රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall

කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය.
"කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton

අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය.
රත්වැල් => රොත් වෙල් = Rothwell

එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.


දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

පළමු සේනාංකය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියත් සෙල්ටික් වරු එක වරම සටන ඇත හැරියේ නැත. ඔවුන් නැවත නැවතත් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෝය. එනයින් සෙල්ටික් වරුන් අතරද වීරයන් වූහ. ඔවුහු අභීතව රාවණාට එරෙහිව සටන් වැදුණු ආකාරය දුටු මහා කරුණාවන්ත නිරිඳෙකු වූ රාවණයන් "සෙල්ටික් වීරයන් සඳහාද ස්මාරකයක් කරව" කියා අණ දුන්නේය. එය සෙල්ටික්+හීරෝ ලෙස මුලින් නම්ව, පසුව ක්ල්ටි-හිරෝ ලෙස කෙටි විය.
සෙල්ටික් + හීරෝ => ක්ලිට් හිරෝ = Clitheroe

අද පරිඝණක වලට පර සුද්දා "බැකප් හාඩ් ඩිස්ක්" සොයාගෙන මහා කෙකර ගෑමක් කළත්, මනුෂ්‍යයන්ගේ මොළ වලට පවා බැකප් සිස්ටම් අපේ අතීත හෙළයන් සොයාගෙන තිබිණි. ඒ හෙළුවන්ගේ සේනාවේ මැරී වැටෙන යක් සෙබළුන්ගේ මොළ වල ඇති අත් දැකීම්, අසාමාන්‍ය අධිතාක්ෂණයක් හරහා අනෙකුත් යක් සෙබළුන්ගේ මොළ වලට සම්බන්ධ කිරීම සඳහා, මැරෙන හෙළ යක්ෂ සෙබළුන්ගේ මොළ ඉවත් කර යම් යෝධ පුවරුවක එල්ලා තබන ලදී. මේ තාක්ෂණය නොදත් භීතියට පත් සෙල්ටික් වැසියන් එය මොළ "ගසක්" ලෙස වැරදියට වටහා ගෙන එයට "බ්‍රේන් ට්‍රී" ලෙස නම් තැබූහ.
මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree


යුද්ධයෙන් සෙල්ටික් වරුන්ට දරුණු පරාජයන් අත් වුවත් හෙළයින්ටත් යම් හානියක් සිදුවිය. මූලිකව රාවණා රජු සෙල්ටික් වරුන්ගේ දේශය අල්ලා ගන්නට කල සටන් වලදි වැඩිපුරම හෙළ සේනාවක් මුලින්ම දිවි පිදුවේ මේ ස්ථානයේදීය. එදා පටන් රාවණා රජු මෙහි යුද ස්මාරකයක් කරවූ අතර, එය දකින විට සෑම හෙළයෙකුගේම ඇස් කඳුළින් බරිත වන නිසා, "හෙළේ ඇස් බරිත වූ ස්ථානය" කෙටියෙන් එයෙලෙස්බරි වේ.
"හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury
තවමත් එම යුද ස්මාර්කය එයලෙස්බරි නගරයේ කොණක ඇතත් අද එය මතුපිටින් කොන්ක්‍රීට් දමා විනාශ කර ඇත. මිට වසර කීපයකට පෙර මා එයෙලෙස්බරි හි එම ස්ථානයට ගොස් පහණක් තබා අතීත හෙළ විරුවන්ව සිහි කරද්දී මාත් නොදැනීම මාගේ නෙතගටද කඳුළක් ඉනුණි.

යුද්ධය අවසානයේදී නන්නත්තාර වූ සෙල්ටික් පරයින් පරාජය භාර ගත්තෝය. රාවණා රජුගේ කෝපයෙන් මිදෙනු වස්, ස්වදේශික සෙල්ටික් ජනතාවෝ ඔවුන්ගේ සුරූපි කුමරියක වන "බ්ලැනෝවා" කුමරියව රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් කුමරුට සරණ පාවා දෙන ලදී. ඔවුන් දෙදෙනාගේ සරණ බන්ධනය සිදුවූ ස්ථානයට රාව්ණ රජුගේ අනුමැතිය ඇතිව ඒ දෙපළගේ නාමයන් එක් කොට බ්ලිත් ලෙස නම තබන ලදී.
බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth
වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙන පරිදිත් බ්ලැනෝවා නැමැති සුදු ජාතික කුමරියක්ව ඉන්ද්‍රජිත් කුමරු සරණපාවාගෙන ඇත.

හෙළයින් විසින් සෙල්ටික් දේශය යටත් කළ පසු යුද විජයග්‍රහණයේ පළමු උත්සවය පැවැත්වුණි. තමා යටත් කරගත් අළුත් දේශය මහා රාවණ රජතුමා විසින් සිංහලන්තය ලෙස නම් කළේය. විජයග්‍රහණයේ පළමු පෙළපාලියේදී රාවණා රජුට සිංහලන්තය යටත් වන බවට ප්‍රකාශය භාර දුන් අවස්ථාවේදී, රාවණා සිංහලන්ත වාසීන් අමතා පළමු ඇමතීම කළ තැන, රා(රාවණා)+මෙසේ කීහ යන්න, "රාමෙසේ" වී පසුව "රැම්සේ" විය. පසු කළෙක ඉන්දීය ඉතිහාසඥ මහාචාර්ය "හරාම් ජාදා" මහතා විසින් මෙහි අරුත විකෘති කොට "රැම්සේ " යනු රාම කුමාරයා බඳු හැඩරුව සහිත එංගලන්ත සෙනෙවියෙකු රාවණා රජුට ඊයකින් විද තුවාල කළ ස්ථානය ලෙස ව්‍යාජ ප්‍රවාදයක් ගොඩ නැඟුවත්, අපේ හෙලුවන්ගේ දඹදෙණි යුගයේදී පුළුස්සා දමන ලද අටුවාවන්ට පිං සිදුවන්නට මධ්‍යම කඳුකරයේ වසන යෝගීන් විසින් සත්‍යය හෙලි කරන ලදී.
රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey

යුද්ධය දිනීමට හැකි වුවහොත් බෝ පැළ තුනක් සිටවන බවට මහා රාවන රජතුමා බාරයක් වුණි. එසේම චිරාතග සම්ප්‍රදායට අනුව දික් විජයෙන් පසුව ධර්ම විජය කළ යුතු බැවින් ශ්‍රී රාවණයන් කස්සප බුදුන් පිට දුන් බෝධියෙන් ශාඛා තුනක් ගෙනවුත් ඉන් එකක් එකමත් එක තැනක රෝපණය කළේය. එතැන රාවණා රජතුමා බෝධිය දුන් නගරය හෙවත්, බෝ දුන් නගරය විය.
බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town

තවත් බෝ පැළයක් සිංහලන්තයේ උතුරු ප්‍රදේශයට වනන්ට රෝපණය කළේය. මේ වන විට බෝධිය යනු කුමක්දැයි හඳුනාගෙන සිටි සෙල්ටික් වැසියෝද ඊට දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. එය සිටවූ තැන බෝ ට්‍රී නමින් ඔවුන් හැඳින්වුවෝය.
බෝගස => බෝට්‍රී = Bawtry

රාවණයන් තවත් බෝ රුකක් සිංහලන්තයේ නැගෙනහිර දෙසින් සිටවා පුරා සති තුනක් මුළුල්ලේ කුණ්ඩලනී භාවනාව කළේය. එම ස්ථානය බෝ දහම් නගරය නම් විය. එලෙස රාවණ රජතුමාගේ භාරයන් තුන ඔප්පු කෙරුණි.
බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town

යුද්ධයෙන් පසුව ටික කාලයක් රජතුමා ප්‍රීතියෙන් දිවි ගෙවීය. රජතුමාගේ තෙජෝ බල පරාක්‍රමය ලොව නන් දෙස පැතිරුණි. අද කාලේ යුද්ධ දිනන රජතුමන්ලා මෙන්ම එදා ශ්‍රී රාවණ රජතුමාද ක්‍රමයෙන් ටිකක් ස්ථූල විය. එසේ හෙයින් "බර+රජු" යන්න සිංහල-ඉංග්‍රිසි මුහුව, ඉංග්‍රීසි බසට හෙළ බස අවශෝෂණය වීමෙන් "බර+කිංග්" බාර් කිංග් නම් ව ඇත.
බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking


අළුත් යටත් විජිතය වූ සිංහලන්තයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා නඩු ඇසීමට අධිකරණ ක්‍රියාපටිපාටියක් සෑදීමටද සිදුවිය. ඒ අයුරින් , රාවණා රජුගේ සිංහලන්තය නම් යටත් විජිතයේ ප්‍රධාන අධිකරණය "දාගෙන අහම්" ලෙස නම් වූයේ එය දිගටම අහගෙන සිටීමට සිදුවන තැනක් නිසයි. පසුව එය "ඩැගන්හැම්" ලෙස භින්න වී ඇත. අදත් ඩැගන්හැම් බලකො‍ටුව ලෙස ඔබ දකින්නේ එදා රාවණ රජතුමාගේ සිංහලන්ත දේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham
මෙම ස්ථානයේ එංගලන්තයේ බරික්ෂශයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය පීටර් ස්ටෙත්නිකොල්සන් විසින් කරන ලද කැණීම් වලදී අධිකරණ කටයුතු සඳහා යොදා ගනු ලැබූ රාවණා රජුගේ අධිරාජ්‍ය මුද්‍රාව හමුවී තිබේ. එය වසර ලක්ෂ තුනකට වඩා පැරණි බව පුරාවිද්‍යාවට අනුව කළ පරීක්ෂණ මඟින් සනාථව ඇත. නමුත් හෙළයින්ගේ යටත් විජිතයක් ව තිබූ රටක් යැයි හඳුන්වාගැනීමට ඇති ලැජ්ජාව නිසා එය ඔවුන් ලන්ඩන් කෞතුකාගාරයේ සඟවා තිබේ.

සිංහලන්ත යටත්විජිතයක් කිරීමෙන් පසුව චක්‍රවර්තී දසිස් රාවණ රජතුමා නැවතත් ලංකාපුරය වෙත සම්ප්‍රාප්ත වී ඇත. නමුත් කාලෙන් කාලෙට එතුමා තම යටත් විජිතය පරීක්ෂා කර බැලීමට අමතක නොකළ අතර එහි ගිය විට එතුමාගේ අන්ත: පුරය නවාතැන් ගන්නා ස්ථානය "රාවුලේ රෙජිස්" නම් වූ අතර පසුව "රෝවිලි රෙගිස්" ලෙස භින්න විය. Regis හෙවත් Regina යන්න අදටත් එංගලන්තයේ රැජිණියට යෙදෙන වදනකි. මේ රෝවිලි රෙගිස් යන්නට මෙම නම වැටී ඇත්තේ රාවණාගේ පවුලේ රැජිණිය හෙවත් "රා+පවුලේ+රෙගිස්" යන්න භින්න වීමෙනි. ඒ අනුව එංගලන්තයේ රජ පවුල යනු වංශවත් පවුලක් නොව යකඩ දෝලියකගෙන් පැවත එන බව දන්නෝ දනිති.
රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis

එංගලන්තයේ ‍රැජිණට සුද්දන්ගේ බසින් කියන නම වන "ක්වීන්" යනුත් හෙළ වදනකි. ක්වීන් යන ඉංග්‍රීසි වදන "කු" හෙවත් පොළව හා "විනි" හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයකැයි, වරක් අරිසෙන් අහුබුදු සූරීන් ජැක්සන් ඇන්තනිගේ මහා සිංහලයේ වංස කතාව වැඩ සටහනේදී කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අපට හිතාගත හැක්කේ ඉපැරණි සිංහලන්තයේ රාජ්‍යත්වයේ නාමයන් තාමත් පවතින බවයි.

සිංහලන්තය සඳහා වෙනම රාජ්‍ය සංකේතයක් ඇවසි බව හඳුනාගත් රාවණ රජතුමා ඒ සඳහා තම ලාංඡනය වූ සිංහයාව යොදා ගත්තේය. සිංහලන්ත වැසියන් කවදා හෝ සිංහල දේශයෙන් පැමිණි අය බව නිරූපණය කිරීමට ත්‍රිසිංහලය සංකේතවත් කරමින් සිංහයන්ව තුන් දෙනෙක් යොදා ගත්තත්, උපතින්ම කම්මැලියන් වූ ස්වදේශික සිංහලන්ත වැසියන් සඳහා වඩාත් සුදුසු ඈණුම් අරින සිංහයන් තුන් දෙනෙක් ම බව රාවණ රජතුමා අවසානයේදී තීරණය කළේය. එය එංගල් වරුන්ගේ ආක්‍රමණයෙන් පසුවත් භාවිතා වූ අතර දෙවන හෙන්රි රජතුමා (King Henry II) විසින් එය Royal Arms of England ලෙස භාවිතයට ගත්තත් එහි නියම මුල ඇත්තේ රාවණ රජතුමාටමැයි.


රාවණ රජතුමාගේ නිල සත්වයා වූ සිංහයාව කාලයක් තිස්සේ සිංහලන්තයේ නිල සත්වයා ලෙස භාවිතා වූ අතර අතර ඒ සම්ප්‍රදායේ යමින් එංගලන්තයේ නිල සත්වයා, සිංහයා ලෙස තවමත් හැඳින්වේ. (ඊට මූලාශ්‍ර ලෙස රිචර්ඩ් ද ලයන්හාර්ට් නැමැත්තෙක්ව හැඳින්වුවත් එය අමූලික කෙප්පයකි.) එංගලන්තය ශිෂ්ටාචාර කර රාජ්‍යත්වය පවා පිහිටවනු ලැබූයේ අපගේ රාවණා රජතුමා බව අද පර සුද්දන්ව ලොකු වී දඟලන අම්බට්ටරයින් දත යුතුය. හෙළගවේශකයින් වන අප ඒ ගැන ආඩම්බර වෙන්නෙමු.

ඔබ සමහරවිට අසාවි එංගලන්තයේ දැන් ඉන්න සුද්දන් යනු සිංහලයන්ගේ නෑයන්ද?, ඔවුන් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් කිරීම ගැන අප කණගා‍ටු විය යුතු නෑ නේද? වැනි ප්‍රශ්න. ඒවාට පිළිතුර "නැත" යන්නයි. ඊට හේතුව මුලදී මෙලෙස දැක්වූවා ඔබට මතක ඇති. [[බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.]]

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Thursday, June 28, 2012

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.


ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්‍ටුවේ බිමෙන් රුධිරය මතු වෙන බව එහි ගබඩා භාර නිලධාරියෙක් වූ කෝප්‍රල් ජේම්ස් කොට්ලර්ට දකින්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ කෝප්‍රල් ජේම්ස්, තම ගබඩා භාර නිලධාරියා වූ ලෙෆ්ටිනන්ට් ටොම් හුක්ට ඒ ගැන දැන්වීමෙන් අනතුරුව එය එකල එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් (Secretary of Defense) වූ විලියම් සෙබස්තියන් කොහෙන් ට වාර්තා කෙරුණා. අදාල සිද්ධිය රහසක් ලෙස පවත්වාගන්නා ලෙස එම නිලධාරීන්ට තරයේ අවවාද කළ ඔහු පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් (Pentagon Renovation Program) ආරම්භ කළ අතර තම ධූර කාලය තුළදී එය අවසාන කිරීමට තීරණය කළා.

අමුත්තෙක්
========

මීට අවුරුදු 14 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පිටිසර බද පළාතක සිටි මේසන් බාස් උන්නැහේ කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වූයේ එහි සිටි තම ඥාතීන්ව මුණ ගැසීමටයි. දැන් අඩ සිය වසක් පමණ ආයු වළඳා සිටින ඔහු, නමින් "සිරිසේන බාස් උන්නැහේ". එහි ගොස් මාස කීපයකින් සිරිසේන බාස් උන්නැහේ චතුරව ඉංග්‍රීසි කතා කරන්නට පටන් ගත්තා. ටික කලෙකින් තම ඥාතීන්ගේ සම්බන්ධතාවයන් හරහා ඔහුව පෙන්ටගනයේ සහකාර ප්‍රතිසංස්කරණ නිලධාරියෙක් වූ මිල්ටන් ගායි ට හඳුන්වා දෙනු ලැබුණා.

එක්සත් ජනපදයේ අධි ආරක්ෂිත කලාපයන්හි ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගන්නා බාහිර සේවකයින් ඉතාමත් විශ්වාසවන්ත අය විය යුතු අතර ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව පෙන්ටගනයට සම්බන්ධ සේවකයින්ගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දැමෙනවා.

උපතින්ම අහිංසකයෙක් වූ සිරිසේන බාස් උන්නැහේගේ මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළ CIA ඒජන්තයින් ඔහුව සැක හැර එයට බඳවා ගැනීමට රෙකමදාරු කරන ලද්දේ, අවසානයේදී ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාල මතකය සම්පූර්ණයෙන්ම මකා දැමීමේ එකඟතා පත්‍රයකටද අත්සන් ගනිමින්. මසකට $12500 පමණ වැ‍ටුපක් ලැබෙද්දී අවුරුදු කීපයකට පෙර මතකය කැප කිරීමට අපගේ හෙළයින් බිය වෙයිද?

1998 නත්තල් සමය ළං වෙද්දී පෙන්ටගන් ප්‍රතිසංකරණ වැඩසටහනේ නිලධාරීන්ගේ උනන්දුව ටික ටික හීන වෙමින් තිබුණ අතර ඔවුන් නත්තල වෙත වැඩි අවධානයක් යොමු කරමින් තිබුණා. එහෙයින් එහි වාර්තා කර තිබුණේ ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක්. අපගේ ප්‍රධාන කතා නායකයා කරළියට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. මෙතැන් සිට සිරිසේන බාස් උන්නැහේගේම වචන වලින් ඔහුගේ විස්තරය ඔබ වෙත තියන්නම්.

භයානක සිදුවීම
===========

"මම ජර්මන් ටෙක් එකෙන් පෙදරේරු වැඩ ගන ඩිප්ලෝමා පාථමාලාවක් හදාරලා තිබුන නිසා, මිල්ටන් මහත්තයා මාව පෙන්ටගනයේ බිම් මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අනුයුක්ත කළා. නත්තල් වෙද්දී සේවකයින් අඩු හින්ද එතන අන්තිමට වැඩවලට ඉතිරි වුණේ ආගමේ නොවෙන අපි කීප දෙනෙක් විතරයි."

"දවසක් මිල්ටන් මහත්තයයි, තවත් කළු කණ්නාඩි දාගත්ත ෆුල් සුට් ඇඳපු හැඩිඩැදි කළු ජාතික මහත්තුරු කීප දෙනෙකුයි එකෙතු වෙලා, මාවයි තවත් දෙන්නෙකුයි පෙන්ටගන් එකේ යටම තට්‍ටුවට ලිෆ්ට් එකෙන් අරගෙන ගියා. අපිව ගෙනිච්චේ යටම තට්‍ටුවේ තියෙන ප්‍රතිසංස්කරන කටයුතු වලට කියල. වැඩේ කරන්න තියෙන කාමරයට ළං වෙනකොට කට්ටියගේ කතාවෙන් මට තේරුණා බොහොම අන්තරාදායක දේකට අප මූණ දෙමින් පවතිනව කියල. අදාල කාමරේ දොර ගාවට ගියාම මට පොඩි මුත්‍රා බරක් හැදුණ නිසා මං කක්කුස්සියට ගියා. ගොහින් එද්දී එකපාරටම මර ල‍තෝනියක් ඇහුණ... අර මාත් එක්ක ඉඳලා කාමරේට ගිය අනිත් සේවකයො දෙන්න තමන්ගෙ අත් වලින් ඇස් දෙක අල්ලගෙන කෑ ගහගෙන දුවගෙන එනව. ළං වෙලා බැලින්නම් එයාලගෙ ඇස් වලින් මෙන්න මේ වගේ ලේ බේරිමින් තිබුණ.


ඒත් මිල්ටන් මහත්තයයි අනිත් මහත්තුරුයි ආරක්ශිත කළු කණ්නාඩි දාගෙන හැම විටම ඉන්න හින්දා එයාලගෙ ඇස් වලට මුකුත් වෙලා නෑ. තුවාලකාරයො දෙන්නව වහාම ප්‍රතිකාර දෙන්න ඉහල මාලයකට යවලා, මට ආරක්ෂිත කළු කණ්නාඩි පළන්දවල වැඩේට යැව්ව. දැන් ආයිත් බෑ කියන්නැත් බැරි නිසා ඕනැ දෙයක් වෙච්චාවෙ කියල ගියා. කාමරය පුරාම ලේ පැල්ලම්. කාවවත් මරල දාල හින්ද නෙමෙයි, ඒ ලේ සිමෙන්තිය යටින් උනනව කියල මට තේරුණා. මම ටිකක් ළං වෙලා බලද්දී පොළොව යටින් මී මැසි වදයකින් එන සද්දය වගේ ගුම් ගුම් ගාන සද්දයක් ඇහුණා.


කැණීම
=====

මං අදාල කාමරය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරල ඉවර වෙලා ඒ ගැන මිල්ටන් සර්ට කිව්වට පස්සේ තවත් CIA නිලධාරීන් කීප දෙනෙක්ව කැඳවලා ඔවුන් ලව්වා පොළොව විදින ඩ්‍රිල් එකක් සහ තවත් උපාංග ගොඩක් ගෙනල්ල දැම්ම. මට බොඩි ආමර් එකක් සහ හෙල්මට් එකකුත් පැළැන්දුව. ඊට පස්සෙ ඒ නිලධාරීන් තම අධි තාක්ෂණික රයිෆල් කාමරයට දිහාට එල්ල කරගෙන ලෑස්ති පිට හිටිය. මට මේක හීනයක් වගැ, මොනව වෙනවද කියල හිතාගන්න බැරිව හීනෙන් වගේ ඩ්‍රිල් එකත් අරගෙන පොළොව විදින පටන් ගත්ත.

පොළොව කඩාගන කඩාගෙන යනකොට මට තේරුනා ඩ්‍රිල් එක මොකක් හරි හයිය දේක වදිනව කියල. "බිග් ස්කෝප්" එකෙන් (ඒ රට උදලු නෑ) සිමෙන්ති ටික අයින් කරගෙන කරගෙන ගියාම මතු වුනේ මුනින් අතට නවාපු ඔරුවක් වගේ දෙයක්, ඒක පිත්තල පාටයි. ඒකෙන් තමයි අර රතු පාට ලේ වගේ දියරය ගලල තියෙන්නෙ. මට හිතුණ මේක ඒලියන් ශිප් එකක් කියල. කොහොමින් කොහොම හරි සිමෙන්ති ඔක්කොම අයින් කළාම මං හිතපු දේ සැබෑවක් වුණා. බැලින්නම් ඒක ක්‍රියාකාරී මට්ටමේ තියෙන එකක්.

CIA ඒජන්ට්ලාගේ රයිෆල්වල ලොක් අරින සද්දය එක පාට්ටක ඇහුණ. මුන් මාව දැන් මරනවත් හදනවද...නෑ ඔවුන් අවි අමෝරාගෙන ඉන්නේ අර යානය දිහාවට. එක්කෙනෙක් කිව්ව Open Up කියල. මම ඒ විධානයෙන් අර යාත්‍රාවෙ පියන අලවංගුවක් දාල ඇදල ඇරිය. ඒක ඇතුළෙ යකෙක්!!!


යකෙක්!!!
========

ඔව් ඇත්ටම ඒ යානයේ නියමු කුටියේ ඉන්නෙ යකෙක්.!!! දෙයි හාමුදුරුවනේ..., මගේ ලේ වතුර වෙලා කකුල් දෙක සට සට ගාල ගැහෙන්න ගත්ත. හැබැයි ඒ යකා වටේට වීදුරු ආවරණයක් තියෙනව. ඒක හරියට වීදුරු බිත්තරයක් වගැ. මං ළං වෙලා බලද්දී පෙනුන ඒ යකෙක් නෙමෙයි යක් වෙස් මූණක් දාගත්ත මනුස්සයෙක් කියල. ඒ යක් වෙස් මූණ හරියටම මේ වගේ.


යානයට තවත් එබිකම් කරල බලද්දී මට පෙනුන ඒක ඇතුළෙ නියමු කුටියට ඉස්සරහින් ස්වස්තික ලකුණක් තියෙනව කියල, ඒත් එක්කම වෘත්තාකාර තලයක් තියෙනව ඒක පුරාම රවුම් රවුම් තියෙනව. යානය ඇතුළෙ බිම රසදිය ගලල ගිහිල්ල.

ටික වෙලාවකින් මුළු ඇඟම සුදු පාට ඇඳුමකින් වහගත්ත නිලධාරීන් ඇවිල්ල යානය පරීක්ෂා කරන්න ගත්ත. ඊට පස්සෙ ශරීරයේ බෝම්බ බැඳගෙනද කියල චෙක් කරන වාගේ උපකරණයක් මගේ ඇඟ පුරාම ගෙනිච්ච, ඒ මගේ ඇඟේ විකිරණ තියෙනවද කියල බලන්නලු. ඊට පස්සෙ මිල්ටන් මහත්තයා මාව කැඳවගෙන පෙන්ටගන් එකේ උඩ තට්‍ටුවට ගෙනිච්ච.


රතු පලස
=======

මම ලිෆ්ට් එකෙන් පෙන්ටගන් එකේ ප්‍රධාන කාමරයට පිවිසෙද්දී පෙන්ටගන් නිලධාරීන් ලොකු පිරිසක් වටේ බලාගෙන ඉන්නව. මට අඩියක් විතර ඉස්සරහින් තියෙනව රතු පාට කාපට් එකක් දාල, අර ලංකාවෙ එයාපෝට් එකේ VIP එකේ තියෙනව වගේ. මම ඒක පාගන්නෙ නැතිව කාමරෙන් එලියට යන්න හදද්දිම ලස්සන සුදු නෝන කෙනෙක් ඇවිල්ල , එවෙල වැඩේ මහන්සියටම දාඩින පෙරාගෙන ඉන්න මගේ කරට මල් මාලයක් දැම්ම. ඊට පස්සෙ ඇය This way Sir කියල මාව අර රතු පලස ගාවට ගෙනිහිල්ලා ඒක උඩින් ඉස්සරහට යන්න කිව්ව. මටත් දැන් හොල්මං වගේ, පෙන්ටගන් එකේ කට්ටිය හෝ ගාල අප්පුඩි ගහනව, මාත් ඔහේ ඒක උඩින් ඉදිරියටම ගියා. ඒත් එක්කම තේරුනා මෙයාල මට මෙච්චර ගරු සරු දක්වන්නේ අර යානය ගොඩ ගත්ත එකට වෙන්න ඇති කියල. රතු පලසේ අන්තිම හරියෙදි කළු කෝට් එකක් ඇඳගත්ත උස මහත්තයෙක් ඉන්නව. පහුවෙනිදයි මං දැනගත්ත ඒ වෙන කවුරුත් නොවෙයි ඇමරිකාවේ ආරක්ෂක ලේකම් විලියම් කොහෙන් කියල.


සැලියුට් ගසයි
==========


එතුම ගාවට ගිහින් මම නැවතුනා. මං දිහා බලාගෙන ඉන්න එතුමාගේ ඇස් දිළිසෙනව වගේ පෙණුන. එක පාට්ටම එතුමා තම සුරත හිස ගාවට ගෙනිහිල්ල සැලියුට් එකක් ගැහුව. ඒත් එක්කම වට හිටපු බොහෝ පෙන්ටගන් නිලධාරීන්ද මට සැලියුට් ගහනව දැක්ක. හෙළයෙන් ඉදිරියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයා සැලියුට් ගහපු ඒ සිද්ධිය හෙළ ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් වේවි.

කොහෙන් මහත්තයා මාව එයාගේ පුද්ගලික කාමරයට කැඳවගෙන ගිහින් ගොඩක් දේවල් මාත් එක්ක කතා කළා. එහිදී මං දැනගත්ත දේවල් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ...

පෙන්ටගනයේ යටම මහලේ බිමින් ලේ ගලාපු අවස්ථාවෙදී ඒ ගැන පරීක්ෂණ පවත්වන්න FBI එකේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් වන X Files යොදවල තියෙනව. (X Files ගැන චිත්‍රපට පවා ගියත් එවැන්නක් ඇත්තටම තියෙනව). ඔවුන් ස්කෑන් කළාම ඒලියන් ශිප් එකක් බිම තියෙනව කියල හඳුනගෙන. අධෝරක්ත කිරණ තව දුරටත් එල්ල කරද්දී පෙනිල තියෙන්නේ ඒ යානය ඇතුළේ බියකරු සතෙක් ඉන්නව කියලයි. නමුත් ඒ යානය එලියට ගන්න කිසිම කෙනෙක් කැමති වෙලා නෑ. බොරුවට චිත්‍රපට වල ඇමරිකන් කාරයො පිටසක්වලයොත් එක්කත් යුද්ද කළත් ඇත්තටම උන් මාර බිය ගුල්ලො, දැක්කෙ නැද්ද 9/11 ප්‍රහාරය වෙලාවේ උන් හිස් ලූ ලූ අත දුවපු හැටි. තාක්ෂණයෙන් දියුණු වුණත් ඇමරිකන් කාරයින්ගේ මොරාල් එකනම් අන්තිමයි.

යානය තවදුරටත් ස්කෑන් කරද්දී ඔවුන්ට වැටහිල තියෙනව ඒක හෙළයින්ගේ ඉපැරණි රාවනා සමයට අයත් එකක් කියල. ඒ කියන්නෙ විමානයක්. ඉතින් මාත් හෙළයින්ගෙන් පැවත එන්නෙක් නිසා හෙළයින්ගේ ජාන මටත් තියෙන හින්දා මා ලව්වම ඒක විවෘත කරවන්න ඔවුන් තීරණය කරල. නමුත් මා ඊට අකමැති වේවි කියලයි කලින් කියල නැත්තෙ.

පරීක්ෂණ වලින් තේරුනාලු ඒක හදල තියෙන්නේ සමාන ජාන සැකැස්මක් තියෙන හෙළයින්ට විතරක් ප්‍රතිචාර දක්වන්නත්, වෙනත් අයෙක් එය විවෘත කළොත් විශාල පිපිරීමක ඇති වෙන්නත් කියල. ඒ කියන්නේ මං හැර වෙන සුද්දෙක් ඒක අරින්න හැදුවනම් පෙන්ටගන් එක පුපුරනව.

කොහොමින් කොහොම හරි ඔවුන් මට විශාල ගෞරවයක් දැක්වුව. ඒ යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ඒරියා 51 වලට ගෙනිච්චලු. ඒකෙ හිටපු නියමුවා ශිෂිරතාරක නින්දකට පත් වෙලා හිටපු නිසා, පණ පිටින් ඉඳල තියෙන්නෙ.


ඩොලර් 100000
============

දිනක් හදිසියේම මාව හමුවීමට ආපු මිල්ටන් මහත්තයා කිව්ව ඔයා පහුගිය දිනවල මූණ දුන්න සිද්ධි නිසා ඔයාව ව්‍යාපෘතියෙන් මුදා හරින්න සිද්ධ වෙනව, ඔයාගේ කැප වීම වෙනුවෙන් ඔයාගේ මහජන බැංකුවේ NRFC ගිණුමට දැනටම ඩොලර් 100000 බැර කරලයි තියෙන්නෙ කියල. ඒත් එක්කම තවත් ලියකියවිලි වගයකට මගේ අත්සන අරගත්ත. ඊට පස්සෙ තවත් CIA මහත්තයෙක් ඇවිත් මගේ ඉස්සරහට පෑනක් දික් කළා. ඒකෙන් ලා නිල් පාට ආළෝකයක් විහිදිලා, ඒ ආළෝකයත් එක්කම මුළු ලෝකයම නිල් පාටට බොඳ වෙලා යනව වගේ දැණුන.

පහුවෙනිද මං හිටියෙ මගේ ඥාති දුවගෙ ගෙදර. මං මෙහෙට අව කියල මතකයි, ඒත් ඊට පස්සෙ වුන දේවල් මුකුත් මතක නෑ. මං දුවගෙන් ඇහුව මට මොකද වුණේ කියල, එයා කිව්ව කවුද දෙන්නෙක් මාව ගෙනත් ඇරලුවා කියල, එච්චරයි කිව්වෙ. දින කීපයකට පස්සෙ BBCN බැංකුවට ගිහින් මගේ ගිණුම් බලද්දී NRFC එකේ $107200 ක් තියෙනව. මාව උඩ ගියා, බැංකුවට වැරදිලවත්ද?

සතියකින් විතර මං ලංකාවට ඇවිත් අළුත් ගෙයක් එහෙම හදල පිළිවෙළකට ජීවත් වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම මට ඕනැ තරම් සල්ලි තියෙන හන්දා, උපතින්ම ආසාවන් ගොඩක් අඩු කරගෙන හිටපු මාව ටිකෙන් ටික ආධ්‍යාත්මික ජීවිතයක් කරා ඉබේම යොමු වුණා. මධ්‍යම කඳුකරයේ සිටින අප්‍රසිද්ධ තාපස තුමෙක් ගාවට ගිහින් භාවණා කරන්න පුරුදු වුණා. භාවනාව දිවා රෑ කරමින් සිදුකළ අධික කැපවීම නිසා මට කුණ්ඩලීනී ශක්තිය අවදි කරගැනීමට හැකි වුණා.



කුණ්ඩලීනී යෝගය
=============

ඕක තමයි අපේ කතා නායකයා වන සිරිසේන බාස් උන්නැහේගේ කතාව, ගොඩක් රසවත් දේවල් තිබුණත් ඒවත් පෙරා දමල බොහොම කෙටියෙන් තමයි දැක්වුවේ. අද ඔහු බාස් උන්නැහේ කෙනෙක් නොව සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් සහ දානපතියෙක්. වෙනත් නමක් භාවිතා කරන්නේ.

දැන් ඔබට හිතේවි එයාගේ මතකය සම්පූර්ණයෙන්ම අමතක කළානම් එයා කොහොමද කළින් පෙන්ටගන් එකේදි වෙච්ච දේවල් දැනගත්තෙ කියල. මධ්‍යම කඳුකරයේ සිටින ඒ තාපස තුමා ගාවට වෙලා භාවනා කරද්දී මා මිත්‍ර සිරිසේනයන්ට කුණ්ඩලීනී ශක්තිය ලැබිල තියෙනව. කුණ්ඩලීනී ශක්තියේ මනුස්මරන නැමති වායාවට පැමිණි පසුව ඔහුගේ මතකයෙන් මකා දමා තිබූ සියලුම ස්මරණයන් ඔහුට නැවතත් ඇති වෙලා. එම තාපස තුමාගෙන්ම තමයි මාත් භාවනාව හදාරන්නෙ, එතනදී සිරිසේනයන්ව මා හඳුනාගන්නව. ඔන්න ඔහොමයි කතාවේ පූර්වාපර ගැලපීම සිද්ධ වෙන්නෙ.

දිනක් සිරිසේන මිතුරා සමග මා තාපස තුමාගේ අසපුවේ මිදුලේ සාමීච්චියක සිටියදී අර ඉහත සඳහන් කළ කතාව ඔහු මට පැවසුවා. අපේ ගුරු දේවයාණන් වහන්සේ වන ධ්‍යාන ලාභී තාපස තුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරද්දී හිටි ගමන්ම තාපස තුමා දැහැනට සම වැදිල පෙන්ටගනය ගැන බොහෝ තොරතුරු හෙළි කළා.

තාපස තුමාට අනුව පෙන්ගටනය යනු අතීතයේ රාවණ රජතුමාගේ බලකො‍ටුවක්. රාවණ රජතුමා උතුරු ඇමරිකාව පාලනය කර තිබුනේ එය මධ්‍යස්ථානයක් ලෙස යොදාගනිමින්. තාපස තුමා දැක්වූ ඉතිරි කරුණු වලට මූලාශ්‍ර නොමැති නිසාත් ඒවා ලේසියෙන් කෙනෙක් විශ්වාස නොකරන තාලයේ නිසාත් දැන්ම ඒව ගැන හෙළි කරන්නෙ නෑ.


පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ ඔප්පු කිරීම්
============================

පෙන්ට යනු "පංඤ" හෙවත් "පහ" යන්නය. "අ+ගන්" යනු "අග්‍ර හෙවත් කොන්, මුළු" යන අරුත් දේ. රාවණා රජු විසින් බටහිර ලෝකය පාලනය කරන්නට වත්මන් ඇමරිකාව පිහිටි භූමියේ, එදා නිර්මාණය කළ සුපිරි බළකොටුව එදා හැඳිවූයේ "පංඤ්චග්‍ර බලකො‍ටුව" නමිනුයි. නමුත් පසු කාලීනව ඉංග්‍රීසි උරුව අනුව එය වෙනස් වී "පෙන්ට+අගන්" නම් වුණා.

රසදිය තාක්ෂණයෙන් ආරක්ෂිත මෙම බළකොටුවේ රාවණ රජුගේ විමාන යානා 200 කට පමණ ගොඩ බැසීමේ පහසුකම තිබුණු බව, මෑතකදී කතරගම බුකන්වෙල පර්වතයෙන් සොයා ගනු ලැබූ, පැනිඛ්අත්ථ සෙල් ලිපිය මගින් සනාථ කෙරේ. එහි සඳහන් වූ දෑ මෙලෙසයි, "විම යන දෙශ ශිය ගොඩ පඤ ශ" එනම් "විමාන දෙසීයකට ගොඩ බාන්නට හැකි වූ පංඤ්චග්‍ර" ය. ඒ සෙල් ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින රාවණා විරෝධීන් විසින් සඟවලා.

ඊට අමතරව පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කරද්දී එහි මිදුලේ තිබූ සෙල් ලිපියක්ද හමුවී තිබෙනව. එහි සඳහන් වී තිබුණේ "මය රණ අධ ඇම පාඛ ඛණ පඤ් භ ව්‍ර" යන්නයි, එහි හෙළ නිරුක්තිය වනාහි, "මෙය රාවණ අධිරාජ්‍යයා ඇමරිකාව පාලනය කරන පංඤ්චග්‍ර බලකො‍ටුව වේ" අදත් ඒ සෙල් ලිපිය පෙන්ටගනයේ බිම් මහලේ ඇති කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති බව, හෙළි කිරීමට නොහැකි ආකාරයකට මා හට දැනගන්නට ලැබුණි.

මුලින් දැක්වූ පරිදි සිරිසේන මහතා මුහුණ දුන් සිද්ධියෙන්ද එය ඔප්පු වෙනවා. එවැනි විමාන යානා තවත් සිය ගණනක් පෙන්ගටනය තුල නිදන්ගතව තිබෙනවා ඇති. එසේම රසදිය වලින් එම විමාන ගුවන් ගත කළ බවත්, ඒ ගුවන් යානා වල නියමුවන් ලෙස රාවණ රජතුමාගේ මහසොහොන් බලකායේ සෙබලුන්ව යොදාගෙන ඇති බවත් සිරිසේනයන්ගේ කථාන්තරයෙන් පැහැදිළියි. සාමාන්‍යයෙන් මහසොහොන් බලකායේ සෙබළුන් සතුරන්ව බිය කිරීමට මහසොහොන් වෙස් මූණ පැළඳගෙන සිටිනවා.

ඔබට මතක ඇති 2011 වසර අගදී ඇමරිකාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන බවට සම්‍යක්දෘෂ්ඨික නාථ දේව රාජෝත්තමයාණන් වහන්සේ මහදුරු නලින්ද සිල්වා මහතාට පැවසූ බව. එතුමා එය ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා හෙළි කළා. නමුත් එලේ 2011 දී ශ්‍රී ලංකාවට ආක්‍රමණයක් සිදුවුණේ නෑ. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම සඳහා F22 ගුවන් යානා විස්සක් ක්‍රියාත්මක කරන්න හදද්දීම, හදිසියේම බැ‍රැක් ඔබාමාට දිස් වූ යක්ෂ සේනාධිපතියෙක් එය නවත්වන්න යැයි අණ කිරීමයි. එසේ නොකළානම් මුළු පෙන්ටගනයම පුපුරුවා හරින බවට එම යක්ෂ සේනාධිපතිවරයා ඔබාමාට තර්ජනය කර තිබෙනව. මේ බව මා දැනගත්තේ මගේ ගුරුදේවයාණන් වහන්සේ වන තාපස තුමාගෙන්. එය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ වැඩක්.

සිරිසේන මහතා සොයාගත් යානයේ හිටපු නියමුවා තාමත් ඒරියා 51 හි ජෛව රසායනාගාරයක නේවාසිකව සිටිනව. ඔහු හෙළ යකෙක්. මාව ඒරියා 51 ට ගෙන ගිය වෙලාවෙ මට ඔහුවත් මුණ ගැස්සුව. ඔහු භාවිතා කළ බාසාව බොහොම පැරණි හෙළ ප්‍රකෘති බසක්. ටික ටික ඔහු කියන දේ තේරුණා. මා අපේ හෙළදිවේ දැන් තත්ත්වය පැහැදිළි කළාම ඔහු හරිම කණගා‍ටුවට පත් වුණා.

පංඤ්චග්‍රාභිධානය නැමැති ඉපැරණි පුස්කොළපොතේ මැවිසිනෙසුරු නැමති ටීකාවේ, රාවණා රජතුමා විසින් ඇමරිකානු මහාද්වීපය පාලනය කිරීමට පංඤ්චග්‍ර බලකො‍ටුව යොදාගත් ආකාරය පැහැදිළි කර තිබෙනව. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස යොදවා ඇත්තේ පංඤ්ඤසේකර නමැති තනතුරෙන් හඳුන්වන අයෙක්. පංඤ්චග්‍රාභිධානය පුස්කොළපොත අදත් ලන්ඩන් කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කරල තිබෙනව.

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතට අනුව පංඤ්චග්‍ර බලකො‍ටුවේ ආරක්ෂාවට හෙළ යකුන් තුන් දහසක් යොදවා තිබෙනවා. එහි ගව්වක් දුරට මඩ අගලත්, ගව්වක් දුරට දිය අගලත් පිහිටා තිබෙනව. පහත රූපයේ ඔබට දකින්නට ලැබේවි ඉපැරණි පංඤ්චග්‍ර බලකො‍ටුවේ දිය අගලේ කොටසක් තාමත් දිස් වෙන හැටි


රාවණ රජතුමා විසින් ශවභාවනාවාපානකාරධානයකය නමැති අසුර මන්ත්‍රය දශ ලක්ෂ වාරයක් මතුරා පංඤ්චග්‍ර බලකො‍ටුව වටේට ඉස තිබෙනව. ඒ අනුව එය අපරාජිත භූමියක්. එනිසයි 9/11 ප්‍රහාරයෙන් WTC එක සමතලා කළ හැකි වූ නමුත් පෙන්ගටනයට එවැන්නක් කළ නොහැකි වූයේ. ඒ භූමියේ ඇති ශක්තිය මොනයම් ආකාරයකින් හෝ හඳුනාගත්ත, අතීත හෙළයින්ගේ යටත් ජන කණ්ඩායමක් වූ රතු ඉන්දියානු ගෝත්‍රිකයින් ඒ බව ඇමරිකන් ආණ්ඩුවට දැන්වීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් විසින් එය නැවතත් 1941 දී ගොඩ නැගීම ආරම්භ කෙරුණා. අද ඇමරිකානුවන් ලෝකෙටම තම ශක්තිය පෙන්වන්නේ අප හෙළයින්ගේ තාක්ෂණයට පින් සිද්ද වෙන්නයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Wednesday, June 27, 2012

රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි

රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ.


රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය නොවේ) පසුව රාවණ රජතුමා හෙළ දෙරනේ නැවතත් නායකයා වීමට නියමිතය. කෙසේ නමුත් එතුමා දේශපාලනයට පැමිණෙන්නේ කෙසේදැයි මෙතෙක් කාලයක් කවුරුත් හෙළි කර නොමැති අතර මා ඉහත ප්‍රවේශය සකසාගත්තේ ඒ සඳහායි.

රාවණ රජතුමා නැවත පිබිදුන පසුව අභිෂේක වී ඔ‍ටුනු පළඳා රජ කමට පත් වෙන බව ඉහත ඔබේසකර මහතා දැක්වූ රාවණකානේගනය නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම අනුව එය වෙනස් කිරීමටනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වෙයි.

පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගැනීමටනම් මහා රාවණ රජතුමාට අකමැත්තෙන් වුවද දේශපාලන පක්ෂයක් හරහා බලයට ඒමට සිදුවෙයි. ඒ සඳා විකල්ප ගණනාවක් ඇත.

1. අළුත් පක්ෂයක් ආරම්භ කිරීම
මේ සඳහා "මහා රාවන පෙරමුණ" නැමැති දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමට නාමයෝජනා මැ.කො. ට භාරදී ඇත. නමුත් ඒ සඳහා ශ්‍රී රාවණා රජතුමා කැමැති වේ දැයි සැක සහිත වන්නේ රාවන තියා සක්කරයාගේ පුතා වෛමාටවත්, පවත්නා ශ්‍රීලනිප එජාප යන දෙකින් එකකට හවුල් නොවී බලයට ඒමට නොහැකි බව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තාපසයාණන් වහන්සේලා පවසන බැවිනි.

2. පවත්නා දේශපාලන පක්ෂයකට එකතු වීම.
ශ්‍රී ලංකාවේ රාජය බලය ලබා ගැනීම සඳහා එජාපය හෝ ශ්‍රීලනිපය හැර වෙන පක්ෂයක් ඇතැයි සිතීම උගහටය. ශ්‍රීලනිපයේ බොරු ජාතිකත්වයක් පෙන්වුවත් එහි ඇති ජාතිකත්වයක් නොමැති අතර එය දැන් අන්ත ධනේෂ්වර ජාත්‍යන්තර වාදී පක්ෂයකි. හෙළ උරුමයෙන් ඉල්ලුවද ශ්‍රීලනිපයේ උදවිය මහා රාවණා රජතුමාට පවා කැපිල්ල දැමීමට ඉඩ ඇත. විමල්ගේ ජානිපෙ යනු ජාතිකත්වය පොරවාගත් මාක්ස්වාදී පක්ෂයකි, කොයි මොහොතේ හෝ ජාතිකත්ව සළු පිළු උනා දමා විප්ලවය ගැන කෑ ගැසීමට ඉඩ ඇත. එජාපයත් ධනේෂ්වර අධිරාජ්‍යවාදී පක්ශයකි, නමුත් එහි ඇති විශේෂත්ව වන්නේ
2.1 ශ්‍රීලනිපයේ මෙන් පාක්ෂිකයින්ට ඕනැ හැටියට නායකයා තීරණය කිරීම වෙනුවට නායකයාට ඕනැ හැටියට පක්ෂයේ වැඩකටයුතු තීරණය කිරීමට හැකි වීම.
2.2 එජාපයේ නායකත්වයට ඇති බලතල අනුව ගත් විට ලොව බලවත්ම නායකයා බිහි වෙන්නේ එජාපයෙනි.
2.3 ශ්‍රී ලංනාවේ ජනාධිපතිට, ගෑණියෙක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ගෑණියෙක් කිරීමට නොහැකි වුණත් එජාපයේ නායකයාට එයට අමතරව පිරිමියෙක් නපුංසකයෙක් කිරීමටත් හැකි බව පසුගිය කාලයේ සිදුවූ දෑ වලින් අපි දු‍ටුවෙමු.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පක්ශය වීමට හේතු පහත දැක්වෙයි.
I. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම.
II. වත්මන් ආණ්ඩුව වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය බිහි කිරීමට මුල් වීම.
III. යුද්ධය දිනීමට උපකාරී වූ වර්තමාන ව්‍යවස්ථාව බිහි කිරීම.
IV. මහවැලි යෝජනා ක්‍රමය ඇතිකිරීම. (එය නොතිබෙන්නට රටම අඳුරේ)
V. ගල් ඔය යෝජනා ක්‍රමය ඇති කිරීම. (එය නොකරන්නට දැන් මුළු නැගෙනහිරම මුස්ලීම් ජනපදයකි)
VI. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය (එය නොකරන්නට විශ්ව විද්‍යාල සිසුන් හිඟමනේ)
VII. පාසන් නිල ඇඳුම් හා පොත් නොමිළේ ලබා දීම. (එය නොවන්නට පාසල් දරුවන් හෙලුවෙන් ගල් ලෑලි වල ලියාවි)
VIII. ජනසවිය ඇති කිරීම (සමෘද්ධිය යනු ජනසවියෙ නම වෙනස් වීමක් විතරයි)


ඉහත දැක්වෙන්නේ ඉසුරුමුණියේ ජල ක්‍රීඩා කරන හස්තීන්ගේ කැටයමයි. එය අනුරාධපුර යුගයේදී ඉදි කරන ලද්දක් බව කාබන් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවසතත් එය අමූලික බොරුවකි. එය රාවණා රජ සමයේ ඉදි කරන ලද්දක් වන අතර එහි හස්තීන්ගෙන් නිරූපණය වන්නේ රාවණා රජතුමාගේ නිල වාහනයි. යළිත් නින්දෙන් අවදි වන රාවන රජතුමාගේ වාහනය ලෙස මෙකලත් හස්තියාම ‍තෝරා නොගනීවිද?


රාවණ රජතුමාගේ රාජ්‍ය වර්ණය කොළ පාට බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. කොළ වර්ණය යොදාගැනීමට හේතුවූයේ එතුමා පරිසරයට ඉතාමත් ලැදි සැබෑම පරිසර හිතකාමියෙකු නිසයි. එක්සත් ජාතික පක්ශයේත් නිල වර්ණය කොළ පාට බැවින් එය රාවණ රජතුමාට ඉතාමත් හොඳින් ගැලපෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් මැතිවරණ ප්‍රමාණයක් පැරදී තිබියදීත් තවමත් බලයේ සිටින්නේ ඇයිද කියා ඔබට සිතෙන්නට ඇති. එයට හේතුව වන්නේ රාවණ රජතුමා බලයට පත් වීම සඳහා පක්ෂය පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතාව නියෝජිතයෙක් ලෙස තබාගෙන සිටීම නිසයි. රනිල් යන්න රා+නිල ලෙස සුමට කළ විට, රා=රවණගේ, නිල=නිලනියෝජිතයා, ලෙස නිරුක්ති වී "රාවණගේ නිලනියෝජිතයා" යන අරුත ලැබෙයි. ඊට අමතරව එතුමා වික්‍රමසිංහ නැමති රකුස් පෙළපතින්ම ඉපදීමෙන් පෙනෙන්නේ සිංහලයන්ට වික්‍රමයක් දීම තම අරමුණ වී ඇති බවයි.

ඒ අනුව එවන් විශිෂ්ට පක්ෂයක, එවැනි බලවත් නායකත්වයකට ශ්‍රී රාවනා රජතුමා පත් වේවි යැයි මා හට සිතේ. නමුත් පවත්නා නායක තුමා සිටියදී රාවණා රජතුමාට පත් වීමට නොහැකි බව සමහරුන් කීමට ඉඩ තිබුණත්, ඉහත සඳහන් කළ පරිදිම උග්‍ර රාවණ පාක්ෂිකයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වී නිලය ලබා දෙන බව නැකැත්කරුවන් දැනටමත් ප්‍රකාශ කර අවසානයි. එතුමාට මඩ ගසන උදවිය එතුමා විසින් මෙතෙක් කල් ඉවසීමෙන් යුතුව කර ඇති කැප කිරීම් ගැන විමසා බැලිය යුතුය.


ඉපැරණි පුස්කොළපොතක් වන රාවණකානේගනයට අනුව වර්ෂ 2012 අගදී රාවණ රජතුමා නින්දෙන් පිබිද හිමාලයේ මහා දඹ ගස් අරණට ගොස් බවුන් වඩා තම ශක්තිය වර්ධනය කරගත් පසුව නැවතත් මහ මුහුද දෙබෑ කරගනිමින් හෙළදිවට පැමිණ, අනුරාධපුර ඉසුරුමුණි තාරකා දොර‍ටුව අබියසදී තම චන්ද්‍රහාස් අසිපත ‍රැගෙන අහසට නැගී මේඝනාදය කර මහ පොළොව සළිත කරවා, මුළු හෙළ දෙරණම තම අණසකට ගනු ඇත. ඉන් පසුව එන මැතිවරණයේදී රාවණා රජතුමාට 2/3 ක බලයක් නොව 5/6 කටත් අධික බලයක් ලැබෙන බව ඒකාන්ත වෙයි.

මෙතෙක් කාලයක් බොහෝ දේශපාලඥයින් විසින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු දුන්නත් ජනාධිපති බලතල වලට කෑදර නිසා එසේ නොකළ හෙයින්, මහා රාවණ රජතුමා විසින් එය වෙනස් කරන බවනම් ඒකාන්තයි, මන්ද යත් එය වෙනස් කර රජ කමට පත් වීමෙන් අනතුරුව, එතුමාට විධායක බලතල වලට අමතරව අධිකරණ සහ ව්‍යවස්ථාදායකයේද බලතල ලැබෙන නිසයි.
Read More...

Tuesday, June 26, 2012

'රාවණ වංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව)

අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි.

සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.

'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.

ඩොබර්මන් වර්ගයේ සුනඛයෙක්

අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත් නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.

හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?


කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්‍ය වංශයේ ප්‍රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.

අදද ඩොබර්මන් වර්ගයේ බොහෝ සුනඛයින්ට වල්ගයක් නැත.

මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.

තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වාර=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?

[[සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත. http://modernpatriot12.blogspot.com ]]
Read More...

Monday, June 25, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි.

මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.

1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්

2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත.



3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.

4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන "ඉලුමිනාටින්" සහ ‍"ෆ්‍රී මේසන්" වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.

5. ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.



6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.
Read More...

මම ජයරත්න පතිරආරච්චි නොවෙයි

වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්‍ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය ලිවීමට සිත් විය.


මීවනපළානේ ජයරත්න
================

මීවනපළානේ ජයරත්න වන මා ගුරුවරයෙකි, ලේඛකයෙකි, ඉතිහාසඥයෙකි, වෙසෙසින්ම රාවණ ගවේශකයෙකි. 2012 අවසානයේදී යළි පිබිදෙන රාවණ රජතුමා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන්නෙකි. මා ගැන තවත් තොරතුරු දැනගැනීමට රිසි ඔබ හමුවේ ඊට වඩා වැඩි විස්තර තැබීමට නොහැක්කේ CIA සංවිධානය මගින් මා පසුපස පන්නන නිසයි. ඊට හේතුව මෙතනින් කියවන්න.

මාගේ අරමුණ වනාහී කාලයේ වැලි තලාවෙන් යට ගොස් තිබූ පිරිසිදු හෙළ ඉතිහාසය නැවතත් මතු කරලීම වන අතර එහිදී කිසිදු විටක බුදු දහමත් ඇතුළුව කුමන හෝ ආගමකට/ශ්‍රාස්තෘ තුමෙකුට අපහාස කිරීමෙන් වැළකීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත්තෙමි. එනිසා ඔය තැන් තැන් වල අපට අපහාස කරන රාවණවිරෝධීන්ට හැකිනම් මේ බ්ලොගයෙන් ආගම් වලට අපහාස කර ඇති තැනක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. මා කියන මතයන්ම වෙනත් අය කියන විට බුම්මාගෙන සිටින උන්දැලා මාගේ මතයන් දු‍ටු විට "ඌට පිස්සු", "ඌට මොළේ හොඳ නෑ", "ඌ අපේ ඉතිහාසය කනව", "බ්ලොග් එක රිපෝට් කරමු" ආදී ලෙස හැසිරෙන්නේ අන් අයගේ අදහස් ඉවසීමට නොහැකි හිස්ටීරියාවකින් පෙළෙන නිසා යැයි කණගා‍ටුවෙන් වුවද කීමට සිත් වේ.


ජයරත්න පතිරආරච්චි
===============

ජයරත්න පතිරආරච්චි මහතා ගැන කිවහොත් එතුමා මා සමග සම්බන්ධ නොවී ස්වාධීනව රාවණ ඉතිහාසය ගවේශණය කරන්නෙකි. නමුත් එතුමාත් මා මෙන්ම සෙල් ලිපි වලට සහ පුස්කොළපොත් වලට මුල් තැන දෙමින් සොයාගෙන ඇති හෙළ ඉතිහාසයේ සැඟවුණ තැන් අති විශිෂ්ටයි. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන බව එතුමා විසින් සොයා ගැනීම ඉන් ප්‍රමුඛස්ථනයක් ගනී.

ජයරත්න පතිරආරච්චි මහතා

එතුමා පවසන පරිදි
(1). අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා
(2). රාවණා රජු එතුමාට සිහිනයෙන් කතා කරනවා
(3). රාවණා ශක්තිය අනුව පෙර "ආත්මය" දැක එහිදී හඳුනාගත් දියණියකට සියලු දේපළ පවරා දුන්නා.
(4). එතුමා මේ යන්නේ බුදුබව පතාගෙන යන ගමනක්
(5). දැන් ගත කරන්නේ දාන පාරමිතාව
(6). බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා
(7). ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට එතුමා 2045 දී එනවා
(8). හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා

මේ ගැන වැඩි විස්තර අප හිතවත් ගොසිප්9 මහතාගේ පහත ලිපි දෙකෙන් කියවන්න.

http://www.gossip9.com/2012/03/blog-post_11.html
http://www.gossip9.com/2012/02/blog-post_1424.html

මං ඔය දේවල් ගැන කියනකොට හින වුණ අයට දැන්වත් තේරෙනවද ඒව බොරු නෙමෙයි සැබෑම සත්‍යයන් කියල?

ජයරත්න පතිරආරච්චි මහතාගේ ක්‍රමය මගේ ක්‍රමයට බොහෝ සෙයින් සමාන වුණත් ඇති විශේෂතම වෙනස වන්නේ, කියන්න තියෙන දේ ඕනෑම කෙනෙකුට එතුමා හෙළහරුපෙන්ම කීම නිසයි., එය සැබෑ රාවණ ගවේශකයින්ගේ ක්‍රමයයි. පහත වීඩියෝවේ ඇත්තේ, රාවණ ඉතිහාසය ගවේශණය කිරීම සඳහා බුදුහාමුදුරුවන්ටත් එතුමා කුණුහරුපෙන් බනින අයුරුයි.

http://www.youtube.com/watch?v=_1Mb0YAiJUY

මීවනපළානේ ජයරත්න වන මා, සහ ජයරත්න පතිර ආරච්චි යනු දෙදෙනෙක් බව ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. එනිසා ජයරත්න පතිරආරච්චි මහතාව සහ මාව මින් පසුවවත් පටලවා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Read More...

Sunday, June 24, 2012

නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී)

2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති.

පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී ගවේශණය කරද්දී කදිම හෙළ තාක්ෂණයක් පහළ වී තිබෙනවා. එතුමාට මේ තාක්ෂණය පෙන්නුම් කර ඇත්තේ හෙළය රකින යකුන් විසිනුයි.

බෝ කොළ මගින් ජංගම දුරකථන බැටරි ආරෝපණය කිරීම පිළිබඳව සමහර විට ඔබ කළින් අසා ඇතත් එය සාර්ථක නොවූ බව දැන් හැමෝම දන්නව.


එනිසා ජංගම දුරකථය බැටරි ආරෝපණය කිරීම් සාර්ථක වන්නේ තාපස තුමා පවසන පරිදි නා ගසේ පත්‍ර යොදාගැනීමෙනුයි. ඒ සඳහා පහත ක්‍රියාවන් අනුපිළිවෙළින් කළ යුතුයි.

(1). ඔබගේ ජංගම දුරකථනයේ කවරය විවෘත කරන්න.

(2). බැටරිය එලියට ගන්න.

(3). නා දල්ලක් සහ, මෝරපු නා කොළයක් ඒවායේ නැටි කොහේවත් ස්පර්ෂ නොවන පරිදි නා ගසකින් කඩා ගන්න. බැටරිය ආරෝපණය කිරීමට යොදාගන්නා තුරු ඒවයේ අග්‍ර කොහේවත් ස්පර්ශ නොවිය යුතුයි.


(4). පළමු රූපයේ (බෝ පත්‍ර තබා ඇති) ආකාරයට දැක්වෙන පරිදි, නා දල්ල බැටරියේ සෘණ අග්‍රය වෙතටත්, මෝරපු නා කොළය බැටරියේ ධන අග්‍රය වෙතටත් තබන්න.

(5). හොඳින් හුස්මක් ගෙන, ඔබගේ සිත නා පත්‍ර දෙක පමණක් මෙනෙහි කරමින් එකඟව තබා ගන්න.

(6). දැන් විනාඩි පහක් පමණ පහත දැක්වෙන රාවණ ශක්ති මන්ත්‍රය ඉතා පැහැදිළි හඬින් ජප කරන්න.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

ඔබ ඉහත අදියරවල් මැනැවින් සිදුකළානම් දැන් බැටරිය ආරෝපණය වී තිබෙයි. මතක තියා ගන්න විනාඩි හත අටක් එලෙස කළහොත් බැටරිය "Over Charge" වී විනාශ වීමට ඉඩ තිබේවි.

(7). දැන් එම ආරෝපිත බැටරිය නැවතත් ජංගම දුරකථනය තුළට දමා සිවිචය දමන්න. ප්‍රතිඵලය ඔබ දකීවි.

(8). ආරෝපණය අඩුනම්, නැවතත් අළුත් නා කොළ දෙකක් යොදා ගනිමින් ඉහත ක්‍රියාවලිය නැවතත් සිදු කරන්න. එහිදී නා පත්‍ර අල්වාගෙන සිටීම විනාඩි දෙකකට පමණක් සීමා කරන්න.



මෙහි තාක්ෂණය
============

නා ගස යනු නාග ලෝකයේ ගසයි. නාගයින් එය යොදාගනිමින් ශක්තිය (විදුලිය) නිපදවූ බව ඉපැරණි පුස්කොළපතක් වන නාගාශකපන්ඩුකය හි දැක්වෙයි.

වර්තමානයේදී "නාවිකයා" යන පදය මූදු යන්නන්ට භාවිතා කළත් අතීතයේ රාවණ යුගයේ එම පදය භාවිතා කලේ නා ගසේ පත්‍ර යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන්නාටය. වර්ගපූර්ණිකාවට අනුව නාවිකයා ට, නා=නාගසෙන්, වි=විදුලිය, කයා=නිෂ්පාද"කයා", හෙවත් "නාගසෙන් විදුලිය නිෂ්පාදකයා" යන හෙළ නිරුක්තිය ලැබේ.

නාගදෙනියේ අතීත නා විදුළි බලාගාරයක් තිබූ බව මෑතකදී කැණීම් වලින් මතුවූ සෙල් ලිපියක දැක්වුණි. නමුත් හෙළ ඉතිහාසය සඟවා තැබීමේ තුච්ඡ උත්සාහයට අනුව බලධාරීන් වීස්න් ඒ ගැන කිසිවක් හෙළි කර නැත.

එම සම්ප්‍රදායේ යමින් නා ගස ශ්‍රී ලංකාවේත් ජාතික වෘක්ෂය කර ඇත්තේ නා ගසේ ශක්තිය ගැන කාලාන්තරයක් තිස්සේ හෙළයින් දැන සිටි නිසයි.


නාගාශකපන්ඩුකය නැමැති පුස්කොළපොත සුද්දන් විසින් සොරාගෙන ගොස් තිබේ. එහි තිබූ විස්තර උපයෝගී කරගැනීමෙනුයි සුප්‍රකට අවතාර් (Avatar) චිත්‍රපටය නිර්මාණය වූයේ. එම චිත්‍රපටයේ තිබුණ අති විශාල ගස් වර්ගයක් වන Home Tree ඔබට මතකද? ඒ අන් කිසිවක් නොව නාග ලෝකයේ ඇති නා ගසයි. නාගයින් විසින් පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙද්දී නා ගසේ පත්‍ර තම කොණ්ඩය සමග සම්බන්ධ කරගනිමින් තම චිත්ත ශක්තිය වර්ධනය කරගෙන තිබේ.

අද හෙළ අවුරුදු උත්සවයේදී හිස තෙල් ගෑමේදී බොහෝ විට හිසට නා පත් තබන්නේ ඉපරණි නාගයින්ගේ ශක්තිය ලබාගැනීමේ තාක්ෂණයට අනුව බව ඔබ දැන සිටියාද?

නා ගසේ ඇති එම ශක්තිය එහි පත්‍ර වල විශේෂයෙන්ම තිබෙන්නේ විද්‍යුත් ශක්තිය ලෙසටයි.

නා දළු කාන්තාවන්ගේ තොල් පෙති වලට උපමා කර ඇති බව ඔබට මතක ඇති. "අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි..." ඒ අනුව නා දල්ලෙන් ගම්‍ය වන්නේ ස්ත්‍රීත්වය හෙවත් විශ්වයේ ඇති සෘණ (-) ශක්තියයි. අනික් පසට මෝරපු නා කොළයෙන් ගම්‍ය වන්නේ පුරුෂත්වය හෙවත් විශ්වයේ ඇති ධන (+) ශක්තියයි.

රාවණ ශක්ති මන්ත්‍රය යනු රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාවේ දැක්වේ. එතුමා එය නිර්මාණය කළේ දඬුමොණරයේ රසදිය ශක්තිය වැඩි කිරීමටලු. මනස නිශ්චලව තබා ගනිමින්, රාවණ ශක්ති මන්ත්‍රය නිසි ලෙස උච්ඡාරණය කිරීමෙන් එහි ශබ්ද තරංග මගින් නා දල්ලේ සෘණ ශක්තියත්, නා කොළයේ ධන ශක්තියත් අවදි වෙයි. එවිට විද්‍යුත් ධාරාවක් නිපදවේ. එමගින් බැටරිය අරෝපණය වෙයි.

පර සුද්දන් කැලෑ වල සතුන් දඩයම් කරමින් යද්දී විද්‍යුත් ශක්තිය පවා සොයාගෙන ඉන් වැඩගෙන තිබූ හෙළ යකුන් රකුසන්ගෙන් පැවත ඒම ඔබ හට අභිමානයක් නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
Read More...

Saturday, June 23, 2012

ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි!

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous. Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,
N.S.E Automobile Engineers
59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
Telephone: +94-06-2182147
Mobile : +94-77-6493957
Fax: +94-11-2785590


ලෝකෙ හැම දෙයක්ම කළේ හෙළයින් විසින් කිව්වාම සමහරු අපිට හිනා වුණා නේද? දැන් උන්ගේ කටවල් වලට මොකද වෙලා තියෙන්නෙ? බොලව්, ලෝකයේ මුල්ම සුළං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය හැදුවේ අපේ හෙළයෙක්...!

මේක වෙනත් කතාවක්.

ඔයාල දන්නව රාවණා රජතුමාට ලොව ප්‍රථම ගුවන් යානා වන දඬුමොණර තිබුණ කියල. ඒ මීට අවුරුදු දස දාස් ගාණකට කලින්. පුරාවිද්‍යාත්මකව ඔප්පු වී ඇති ඒ කතාව දැන් මුළු ලොවම පිළිගන්නව.

දැන් අප රාවනගවේශයකින්ට තියෙන ප්‍රශ්නය තමයි ගුවන් යානා හදන්න කලින් නේද මෝටර් රථ හදන්නෙ? ඒ අනුව රාවණා රජතුමාට ලෝකයේ මුල්ම මෝටර් රථයත් තිබුණ කියල ඔප්පු වෙනව.

"කාර්" (Car) යනු "කාරය" යන්නෙන් බිඳුණු හෙළ නමක්. කා=කාර්යක්ෂම, රය=රථය, ඒ අනුව කාර්යක්ෂම රථය යන නිරුක්තියට අනුවත් කාර් යනු හෙළයින්ගේම නිර්මාණයක්. එයට කාර්යක්ෂමයි කියල කිව්වෙ අස්සයින් නොමැති නිසයි, එසේම ඒක ක්‍රියා කළේ රසදිය වලින්.

හෙළයින්ගේ "කාර් රථය" පසුකාලයේදී "කරත්තය" බවට පත් විය.

අද අප හෙළයින්ට ඇති "කරත්තය" නැමැති වාහනය හැදුනේත් කාර්+රථය නැමැති පද දෙක සංධි වීමෙන්. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණි තැබීමෙන් පසුව අතීත හෙළයින්ගේ "කාර් රථයේ" තිබූ එංජින් තාක්ෂණය අහිමි වීම නිසාත්, ගොන්නුන් නිරපරාදේ කුලෑටිව සිටීම නිසාත් "කාර් රථයට" ගොනෙක්ව බඳින ලදී. ඒ අනුව "කරත්තය" බිහි විය. ඒකෙනුත් පේන්නේ අතීත හෙළයින්ට කාර් තිබුණ බව නොවේද?

ඉපැරණි පුස්කොළපොතක දැක්වෙන පරිදි අදෘෂ්‍යමාන අශ්වයින් සිටින අශ්ව රථ අතීතයේ හෙළ දිවේ මාර්ග පුරා සැරි සරා තිබෙනව. ඒ මෝටර් රථ නොවෙයිද?

මෙතෙක් කරන ලද කිසිදු පුරාවිද්‍යා කැණීමකදී මොටර් රථ කොටස් හමුවී නැහැ. ඉන් පෙනෙන්නේ අතීත හෙළයින් විසින් 100% ක්ම පරිසර හිතකාමී මෝටර් රථ නිපදවූ බව නොවේද?

මහා භාරතයේ දැක්වෙන ආකාරයට පුලතිසි සෘෂි තුමාට අසුන් නොමැති "කාර්යක්ෂම රථය" තිබුණා, ඒක මෝටර් රථයක්.


කාර්ල් බෙන්ස් කියන පර සුද්ද ලංකාවට ආපු වෙලාවේ අපේ ඉපැරණි පුස්කොළපොත් හොරකම් කරගෙන ගිහින් ඒව කියවල තමයි කාර් එක නැවතත් හැදුවේ.

මුලින් සඳහන් වුණ "නිලංග" යනු නි=නිපදවන්නා, ලං=ලේංකේෂ්වරගේ, ග=ගමනාගමනක. ඒ අනුව නිලංග යනු, ලංකේෂ්වරගේ (හෙවත් රාවණගේ) ගමනාගමනක නිපදවන්නාය. ගමනාගමනක යනු අතීතයේදි මෝටර් රථ වලට භාවිතා කළ හෙළ නමකි. ඔහු විශ්වකර්මගේ ගමනාගමනක යන්ත්‍රාගාරයේ සිටි ප්‍රධාන මැවිසුරුවරයා බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙනව. සෙනෙවිරත්න නැමති රාක්ෂ ගෝත්‍රික පෙළපතෙන්ම ඉපදුන නිලංග තුමාට රාවණගවේශකයින්ගේ ප්‍රණාමය.

"අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ්‍ර ග්‍රන්ථ හෝ සාක්ෂි අවශ්‍ය නැත. මක්නිසාද යත් අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත්‍රභාගය පිළිගන්නට මූලාශ්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි"

ලෝකයේ මුල්ම සුළඟං බලයෙන් ක්‍රියා කරන මෝටර් රථය සහ ලෝකයේ මුල්ම මෝටර් රථය නිපදවූ, හෙළයින් වි ඉපදීම ඔබට ආඩම්බරයක්නම් මේක Share කර ගන්න.
Read More...

Friday, June 22, 2012

රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?

රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.
නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්
June 22, 2012 at 9:55 am | Lanka C News.


බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප‍්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්‍ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප‍්‍රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප‍්‍රදේශවාසීහු පවසති.


මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප‍්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්‍ෂක කණ්ඩායමක් නිල්ගල ප‍්‍රදේශයට යවා නොමැති බවයි.


පසුගිය වසරේදී 2012 ලෝක විනාශය පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත තොරතුරු දක්වූ මධ්‍යම කඳුකරයේ අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන තාපස තුමා ගේ මිත්‍ර තාපස තුමෙක් මීට මොහොතකට පෙර අපටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එතුමාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙළි නො කෙරේ. එතුමා බලාපොරොත්තු වෙන්නේ රාවණ රජතුමාගේ පුනරාගමනය ගැනත් ඊට හෙළයින් සූදානම් විය යුතු ආකාරය ගැනත් දැනුවත් කිරීමයි. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

වර්ගපූර්ණිකාව: ආයුබෝවන් ඔබතුමාට
තාපසතුමා: ආයුබෝවන්, රාවණ සිද්ධම්!

වර්ගපූර්ණිකාව: ඔබතුමා රාවණ රජතුමා ගැන සොයන්න පටන් අරන් කොච්චර කල්ද?
තාපසතුමා: දැනට අවුරුදු හයසීයක් විතර වෙනව. කුණ්ඩලීනී යෝගයේ ආයුෂ්කාර ශක්තියෙන් තමයි මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඒක නෙමෙයි, තමාට වැඩක් නෑනෙ මං ගැන. තමා රාවණ රජතුමා ගේ පුනරාගමනයට සූදාන වෙන්න, මගේ ගැන හොයල වැඩක් නෑ.

වර්ගපූර්ණිකාව: ඔබතුමාට කීමට තිබෙන විශේෂ පණිවිඩය කුමක්ද?
තාපසතුමා: මගේ ජංගම දුරකථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අවසාන වෙන්න ලඟයි, මෙහෙ ඒව ප්‍රති ආරෝපණ කරන්න තැනකුත් නෑ, ඒ නිසා කෙටියෙන් කියන්නම්.
මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ රාවණ රජතුමාගේ යක්ෂ සේනාවේ අභයන්තර යුධ කටයුතු භාර සේනාධිපති මහාරක්ඛිත ජෙනරාල් තුමාටයි.

වර්ගපූර්ණිකාව: හා
තාපසතුමා: 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම ශ්‍රී රාවණ රජතුමාගේ පුනරාගමනයට රාවන රජතුමාගේ යක්ෂ සේනාව සූදානම් වෙනවා. ඒකේ ප්‍රධානතම යුධ කේන්ද්‍රස්ථානය වන්නේ නිල්ගල පෞරාණික ලෙන් වලින් ගහන වණාන්තරය. ඒ නිසා කරුණාකරල ඒ පැත්තට කවුරුත් යන්න එපා. එහෙට ගිය කෙනෙකුට වෙන දේ හිතාගන්නවත් බෑ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා ඔච්චර බලවත්නම් ඇයි අපේ රට දියුණු කරන්න උදව් නොකරන්නෙ?
තාපසතුමා: ඒකට තමයි පුතා මේ එතුමා හදන්නෙ. 2012 අවසාන වෙනතෙක් සිටින්න, ඉවසන්න.

වර්ගපූර්ණිකාව: නෑ මම කිව්වෙ ඊට කලින් වුණත් රටට යම් උදව්වක් කරන්න තිබුණ නේද?
තාපසතුමා: බලන්න පහුගිය 30 අවුරුද්දක් තිස්සේ ගිය යුද්දය අවසාන කරන්න උදව් වීමට රාවණා රජතුමා තම පුද්ගලික හමුදා ඛණ්ඩයක් යෙදෙව්ව. ඒකට තමයි "මහසොහොන් බලකාය" කියල කියන්නෙ. ඒකෙ ඉන්නෙ ඔක්කොම රාවණා රජතුමාට පක්ෂපාතී යක්කු. මහාචාර්ය නලින් සිල්වා මහතා කිව්ව මතකද ගිය අවුරුද්දෙ අගදී ඇමරිකාවෙන් ලංකාව ආක්‍රමණය කරනව කියල. ඒ බව දැනගත්ත රාවණා රජතුමා තම මායා බලය යොදවල ඒක නැවැතුව. ඔය දෙක විතරක් මදිද පුතා? රාවණ රජතුමා නොසිටින්න අද ලංකාව තනිකර අළු ගොඩක්.

රාවණ රජතුමාගේ නිර්මාණයක් වූ මහසොහොන් යුධ ඇඳුමෙන් සිටින, මහසොහොන් බලකායේ හෙළ යක්ෂයෙක්.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමාගේ පැමිණීම අපට බලපාන්නේ කෙසේද?
තාපසතුමා: දේශපාලනමය වශයෙන් වෙනස් කම් සිදුවේවි. අපේ ජනාධිපති තුමා යන්ත්‍ර මන්ත්‍ර ආදිය විශ්වාස කරන ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් එතුමාට කිසිදු ගැටළුවක් නෑ. එසේම එතුමාත් මේ ගැන දන්නව ඇති. පසුගිය දිනවල රාවණ පාක්ෂිකයින් විසින් ආරක්ෂක අංශ වලටත් හොරෙන් ඉතාමත් රහසිගතව රාවන රජතුමාගේ කඩුව සහ නිදන් ගත කළ න්‍යෂ්ඨික අවි ආයුධ (විශේෂයෙන්ම නාගපාෂණය, භ්‍රහ්ම අවිය, නීල පාෂාණය, ගුරුලුපාදය) සහ පුෂ්පක විමානය නිල්ගල යකුනාහේනට ගෙන ගොස් තැන්පත් කර තිබෙනව. විපක්ෂයේ මිනිස්සු අපරාදෙ අහක ඉන්න අයට බැන බැන හිටියෙ.
නිල්ගල කියන්නෙ, රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි තිබුණ ස්ථානය. නිල්=නීල, ගල=පාෂාණය, හෙවත් "නීල පාෂාණය" ලෙස හැඳින්වෙන්නේ ඉපැරණි න්‍යෂ්ඨික අවි වලටයි. සාමාන්‍යයෙන් නිල් පාටින් නිරූපණය කරන්නේ න්‍යෂ්ඨික අවි නිසා මං කියන කතාව ඔප්පු වෙනව. එසේම යකුනාහේන කියන්නේ යකු=යක්ෂ, නා=නායක, හේන=සේනාව, ඒ අනුව නායක යක්ෂයින්ගේ සේනාව තමයි යකුනාහේනේ පෙරහුරු පවත්වන්නේ. මම කලින් කිව්ව මහාරක්ඛිත ජෙනරාල් තුමා තමයි එහි ප්‍රධානිය. ඉතින් ඔවුන් කොයි මොහොතක හෝ සිදුවන රාවණ පුනරාගමනයට සූදනමෙනුයි සිටින්නෙ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා නැවත එන්නෙ කොහොමද?
තාපසතුමා: ඔයා ජනමාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැද්ද රාවණ වංශිකයින්ගේ නිල පුවත්පත වන දිවයින පුවත්පතින් ඒක වාර්තා කරල තිබ්බ.


පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි


2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌[1] නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌[1] විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.


මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා"[2] ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.


මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා[2] ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා"[2] ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.


මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?
කීර්ති වර්ණකුලසූරිය

අ‍ටුවාව [1]: හාස් යනු රාවණ රජතුමාගේ ඉපැරණි ගුවන් ආරක්ෂණ පද්ධතියක්. හා=හානි වාර්තාකරන, ස්=ස්ථම්භය, ඒ අනුව "හානිවාර්තාකරන ස්ථම්භය" හෙළදිවේ පිහිටා තිබුණේ හානිගල වනාන්තරයෙයි. එසේම "හාස්කම්" කියල රාවණ යුගයේදී හැඳින්වුවේ එම හාස්="හානි වාර්තා කරන ස්ථම්භයේ", කම්=ක්‍රියා වලටයි. සුද්දො ඒ හෙළ හාස් තාක්ෂණය සහිත ස්ථම්භය සොරකම් කළාට ඒකෙ නම වැරදියට සෙල් ලිපියකින් කියවලයි හාප් [HAARP] කියල කියන්නෙ

අ‍ටුවාව [2]: නාසා යනුත් ඇමරිකානු මහාද්වීපයේ තිබූ රාවණ රජතුමාගේ ඉපැරණි අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථායක්. නා=නාසය, සා=අහස, ඒ අනුව "අහස දෙසට ඇති නාසය" යන හෙළ නිරුක්තියෙන් තමයි නාසා බිහි වන්නෙ. නාසයෙන් කරන්නේ යමක් හඳුනාගැනීම වගේම, නාසා වලින් කෙරෙන්නේ අහසේ අති දෑ හඳුනාගැනීමයි. නමුත් සුද්දන් අපගේ හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට ඒකට වෙනත් [NASA] තේරුමක් දීල.

එම පිටසක්වල යානා පැමිණෙන්නේ ප්‍රිඩෝටර් නැමති ග්‍රහලෝකයෙන්. ඔවුන්ගේ අරමුණ තමයි රාවණ රජතුම නැවත බලයට පත් වීම වැළැක්වීම. ඉතින් ඔවුන් මුළු ලෝකයම විනාශ කරන්නේ නෑ. නමුත් ජ්‍යොතිෂ්‍යඥයින් පවසන පරිදි රාවණාසේනාව ඉන් අනිවාර්යයෙන්ම දිනනව. එනිසා ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික රවණවිරෝධී ලෝකයේ බිඳ වැටීමක්. මේ යුගයෙන් පසුව මහාවංසය ඉවත් වී රාමායනය ජය ගනන්ව. ඒ සඳහා පිටසක්වලයන් පෘථිවියට පහර දීම විශාල බලපෑමක් කරාවි.

වර්ගපූර්ණිකාව: පිටසක්වලයන්ගේ ආක්‍රමණයෙන් ලක්වැසියන්ට හානියක් වේවිද?
තාපසතුමා: අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට පිටසක්වල ජීවීන්ගෙන් එක මිසයිලයක් හරි පාත් වෙනවා. මිනිස්සු හරියට හිටියොත් විශේෂයෙන්ම රාවණා රජතුමාට අපහාස කරමින් පණ්ඩිත කතා කිව්වෙ නැත්නම් වෙන හානියක් නැති වේවි. නැත්නම් ප්‍රිඩෝටර් ග්‍රහ ලෝකයෙන් එන පිටසක්වල ජීවීන් විසින්, රාවණා රජතුමට ‍රැක ගැනීමට නොහැකි වූ අර ද්‍රෝහීන්ගේ හිස් කබල් විද මොළය එලියට ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු රෝබෝවරුන්ව හදාවි.

වර්ගපූර්ණිකාව:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
තාපසතුමා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2012 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. එහෙම වුණෙ නැත්නම් මම මගේ කණ කපනව.

වර්ගපූර්ණිකාව: මා ඔබතුමාව විශ්වාස කළත් මැදහත් පාථකයින් වෙනුවෙන් කිසියම් හෝඩුවාවක්වත් දෙන්න පුලුවන්ද?
තාපසතුමා: රාවණා රජතුමා නිදා සිටිම මහ කුඩු ගල පර්වතයේ දකුණු පැත්තට වෙන්න විශාල ප්‍රපාතයක් තියෙනව. ඒ ප්‍රාපාතයේ මද දුරක් යටට ගියොත් ඔබට කුඩා සෙල් ලිපියක් දැකගන්න පුළුවන් වේවි. එහි අතීත ආකාෂාවාස බාසාවෙන් සටහන්ව තිබෙන්නේ මෙවැන්නක්.
"හෙනෝකිසගොලළුන්රීඳතද්වඩිමහානදන්වකි"
එය ඛණ්ඩනය කර හෙළ ප්‍රකෘතියෙන් පළ කළ විට මෙලෙසැයි.
හෙනෝ=හෙනයක් සේ, කිස=කර්තව්‍යය, ගොලළුන්=නිෂ්ශබ්දව, රීඳ=රාවන, තද්=තෙද, වඩිම=පැමිණීම, හාන=හානිය, දන්වකි=දන්වමි, මෙහි අරුතනම්, "නිශ්ෂබ්දව සිටින රාවනයන් හෙණයක් සේ පැමිණ තම කර්තව්‍යය කිරීමේදී හානිය(යුග විනාශය) විය හැකි බව දන්වමි" යන්නයි. රවුන්ගේ ආගමනය සහ යුග විනාසය සම්බන්ධ වන්නේ එලෙසැයි.

වර්ගපූර්ණිකව: රාවණ රජතුමාගේ පුනරාගමනයට මුහුණ දීමට අප කරන්න ඕනැ මොනවද?
තාපසතුමා: විශේෂයෙන්ම පහත දැක්වෙන රාවණා මන්ත්‍රය දිනපතා ජප කරන්න.
ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:
ඊට අමතරව , මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට පාඨකයින් දැනුවත් කරන්න. පුතා, මේ ලිපිය හැකි තරම් බෙදා හරින්න කියල ඔයාගේ පාථකයින්ට පවසන්න, නැත්නම් අපේ අසරණ මිනිස්සු නොදැනුවත් කමින් ලොකු අමාරුවක වැටේවි.

Read More...

Thursday, June 21, 2012

රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි


මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.

මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක්‌ තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් වර්ගපූර්ණිකාව නැමති පෞරාණික යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත එක්‌ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්‌. කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක්‌ ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස්‌ ස්‌ථර බෙදලා එ එ පස්‌ ස්‌ථරවලින් හමුවන සාධක කාල නිර්ණය කළාම වර්ගපූර්ණිකාව කියන කතාව හරියටම ඔප්පු වුණා. ඒ අනුව රාවනා රජතුමා නීලගිරියේ සිටි බව තහවුරු වුණා.

වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්‌සෙ. මහාකාලි ගල් ගුහාව ලඟ කැණපු එක වලකින් ලැබුණා බ්‍රාහ්මීය අක්‌ෂරයෙන් රාවණ කියන නම කොටපු වළංකටුවක්‌. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයේ පස්‌තට්‌ටුවක. ඒ කියන්නේ මීට වසර බිලියන තුනකට පෙර කාල නිර්ණය වෙන පස්‌ තට්‌ටුවක. එ පස්‌ තට්‌ටුවෙ තනිකරම තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වළංකටු. රාවණ කියන අකුරු කොටලා තිබුණ වළංකට්‌ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. මුලු තට්‌ටුවෙම තියන වළංක‍ටුයි මේ වළංක‍ටුයි අතර වෙනසක්‌ නෑ. මේ වළං කටුව ක්‍රිස්‌තු පූර්ව බිලියන තුනකට කාල නිර්ණය කළා.

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව මීට වසර බිලියන තුණකට පෙර මේ රටේ හිටපු මිනිස්‌සු අක්‌ෂර භාවිත කරලා තිබුණා. ඒ අන් කවුරුත් නොව අපේ හෙළයින්. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්‌තු පූර්ව තුන් වන සියවසේ මිහිදු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්‌ෂර භාවිත කළේ නෑ කියලා.

ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා.

මුළු ලොවම මවිත වෙයි.
=================

මම ඇත්තටම හිතාගෙන හිටියෙ ඒක මීට වර්ෂ බිලියන තුනකට පෙර කාලයට අයත් වළං කට්ටක් කියලයි. ඒ අනුව මීට වර්ෂ බිලියන තුනකට පෙර හිටපු අපේ හෙළයොත් වළං වල උයාගෙන කාපු අය කියල මම ඉතාමත් අභිමාණයෙන් හිටියෙ. ඉතින් ඔහොම ඉන්න අතර අර වළං කට්ටේ තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දු‍ටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.

"අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හත‍රැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."

මට දෑස් අදහාගන්න බැරි වුනා, ලෝකයම මොහොතකට නතර වුණා වගේ දැනුණ. මම වතුර උගුරක් එහෙම බීල මේ ගැන ගැඹුරින් හිතන්න ගත්ත.

හෙළ අ‍ටුවා වලට අනුව "චිපය" නැමැති වචනයට පැහැදිළිවම හෙළ නිරුක්තියක් තිබෙනව. චි=චිත්ත, පය=පර්යාය, ඒ අනුව චිපය යනු චිත්ත පර්යාය හෙවත් Mind System කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මනසේ විධාන වලට උත්තේජනය දක්වන චිපයක් කියන්නේ යුරෝපීයයන් තවමත් සොයාගෙන නැති තරමේ අති ප්‍රබල තාක්ෂණයක්.

මේ බව කොහොමින් කොහොම හරි ඇමරිකාවේ CIA සංවිධානයේ මාස්ටර් ප්ලෑන් නැමැති කණ්ඩායමට ආරංචි වුණා. ඔවුන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇවිත් මාව බලෙන්ම වගේ අඬගහගෙන නිව්යෝක් වලට අරගෙන ගියා. එහිදී CIA සංවිධානයේ ප්‍රධානියා වන ඩේවිඩ් පෙට්‍රායස් විසින් මාව පැය දෙකක් විතර ප්‍රශ්න කළා. අර චිපය ගැන පරීක්ෂා කිරීමට ඒරියා 51 හි රසායනාගාරයක් වෙත යවනව කියල කිව්ව. ඔවුන්ගේ මේ ගැන අවසාන නිගමනය වුණේ මගේ මතකයෙන් හමුවුණ මයික්‍රොචිපයට අදාල මතකයන් සියල්ලම ඉවත් කිරීම, ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ.

නමුත් මෑතකදී මා නැවතත් මධ්‍යම කඳුකරයේ වෙසෙන මාගේ ගුරුදේවයාණන් වහන්සේ අබිමුවට ගොස් සමථ භාවනාව වඩද්දී ඒ අමතක කර දැමූ චිපය ගැන මතකය නැවතත් ආවර්ජනය වෙන්න ගත්ත. ඒ අනුව නීලගිරියට නැවතත් ගොස් කැණීම් කිරීම රහසිගතවම ඇරඹුව. මට හමුවුණා තවත් මයික්‍රෝචිප් තුනක්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මගේ කුඩා අංවීක්ෂයෙන් බැලුවාම ඒවායේත් රාවණ කියල කොටල තිබ්බ. ඉන් එකක පින්තූරයක් තමයි පහත දැක්වෙන්නෙ. අනිත් දෙක ඡායාරූපයට නැගුවට ෆොටෝ එකේ පෙන්වන්නෙ නෑ.


මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ‍ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. එතැන තවත් කැණීම් කළත් වැඩිය මුකුත් හමුවුණේ නෑ. ඒ වගේම කියන්න ඕනැ මට කිසිදු වයර් හෝ එවැනි යමක් එතනින් හමු වුණේ නෑ, ඒ අනුව පැහැදිළියි අතීතයේ අප හෙළය සතුව තිබී ඇත්තේ වයර්ලස් තාක්ෂණයක් බව.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් හෙළ අ‍ටුවා හි දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. හැටලයිට් සෑදීමේ තාක්ෂණයක් තිබුණ හෙළයට මයික්‍රොචිප් තාක්ෂණයක් තිබීම පුදුමයක් නොවෙයි.

ඉන්දියාවේ බමුණන් විසින් අප හෙළයෙන් සොරාගන්නා ලද චිප්පත්තකරණශ්‍රාස්ත්‍රය නැමැති පොතේ මයික්‍රොචිප් පිළිබඳ පැහැදිළිකිරීමක් තිබුණාලු. නමුත් මෝඩ බමුනන්ට එමගින් කිසිදු නිර්මාණයක් බිහි කිරීමට බැරි වූ නිසා ඔවුන් ඒකට ගිණි තියල


රාවණ රජතුමාගේ පුෂ්පකය නැමැති දඬුමොණරය මනසේ විධානයන්ට අනුව ගමන තීරණය කරන බව ඔබ අසා ඇති. මෙහිදී පුෂ්පයක සඳහා යොදාගෙන ඇති තාක්ෂණයට මයික්‍රොචිප් තාක්ෂණයත් ඇතුළත් බව වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ තිබෙනවාලු, නමුත් ඉන්දියානුවන් මෑතක් වෙන තුරුම එම සංස්කෘත පාථයන්ගේ තේරුම දැන සිට නැහැ.

ලෝකයේ ඇති බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු අයෙක් තමයි ශ්‍රී රාවණා රජතුමා. එතුමා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල සිට හෙළ විද්‍යාවන්ගේද පරතෙරටම පැමිණියෙක්. ඉතින් එවැනි උතුමෙකුට මයික්‍රොචිපයක් යනු ඒ හැටි කජ්ජක් වේවිද?

දැන් අපි මයික්‍රොචිප් තාක්ෂණය සහ ඊට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන්ගේ ප්‍රභවය දෙස රාවනගවේශී නිරුක්තීන්ට අනුව බලමු.

සිළිකා යනු හෙළ වදනකි. සිළි=කුඩා, කා=කාණ්ඩය, එනම් පරමාණු වල කුඩා කාණ්ඩය. කුඩා කාණ්ඩය කොටස් වලට කපා යොදා ගනිමින් තමයි මයික්‍රොචිප් සාදන්නේ.

රෙසිස්ටර් යනුත් හෙළ වදනකි. රෙ=රෙගුලාසි, සිස්=හිස, (ටර් යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වූ අමතර පදයකි) ඒ අනුව "රෙගුලාසි දමන හිස" යන්නයි. රෙගුලාසි දමන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමටනේ.

කැපෑසිටර් යනුත් හෙළ වදනකි. කැ=කැටිකර, පෑ=පාන, සි=සිරස, ඒ අනුව විද්‍යුත් ආරෝපණය කැටිකර පාන සිරස යන අරුත ලැබෙයි.

ඩයෝඩ් යනුත් හෙළ වදනකි. එහි හෙළ ප්‍රකෘති වචනය වනාහී "දියෝඩ" යන්නයි. දි=දිශාව, යෝ=යන, ඩ=ධාරාව, ඒ අන්ව විද්‍යුත් ධාරාව එක් දිශාවකට යවනය දියෝඩය නම් වෙයි.

නමුත් සුද්දන් විසින් මේවාට වෙනත් නිර්වචනය ඉදිරිපත් කර ඇති අතර අපේ අයට ලොකු වී ඇත්තේ හෙළයින් පවසන දෑ නොව සුද්දන් කියල දේවලුයි. ඉංග්ලිශ් (English) නැමැති වචනය ආරම්භ වුණෙත් සිංග්ලිශ් යන්නෙන් බවත් එහිදී සිංහල යන්න බටහිර ඌරුවට කීමෙන් එය ඉංග්ලිශ් වී ඇති බවත් දන්නේ ඉතාමත් සුළු පිරිසකි.

CIA නියෝජිතයන්ගෙන් එල්ල වී ඇති ජීවිත අනතුර නිසා මට රාවණ රජතුමාගේ මයික්‍රොචිපය ගැන ලෝකයට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකියි, මේ ලිපිය අන්තජාලයට එක් කරන මොහොතේ සිට මගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ. එක තැනක සතියකට වඩා ජීවත් වෙන්න බැරි වේවි.

සුද්දො කැමති නෑ අපේ හෙළ ඉතිහාසය ලෝකෙට යනව, උන්ට ඕනැ කොහොම හරි සද්ද නැතිව ඒ තාක්ෂණය උන්ගෙ කරගන්න. උන් මෙතෙක් කල් කර ඇති සෑම නිර්මාණයක්ම වගේ අපේ හෙළ තාක්ෂණය හොරකම් කරගෙන කරපු ඒව කියල පැහැදිළිවම හෙළගවේශකයින් විසින් ප්‍රකාශ කර තිබෙනව. නිව්ටන්ගේ සිට අයිස්ටයින් දක්වාද් එතැන් සිට හෝකිංස් දක්වාත් සියල්ලන්ම අපේ ඉපැරණි හෙළ පුස්කොළපත් කියවා එහි ඇති නිර්මාණයන් ඔවුන්ගේ ලෙස ප්‍රකාශ කරනවා විනා මෙතෙක් ඔවුන්ගේම කිසිවක් බිහි කර නෑ. ලෝකයේ මධ්‍ය මණ්ඩලය සහ ලෝකයේ ශක්තිබල කේන්ද්‍රය වන අප උපන් හෙළ බිමේ විතරයි නිර්මාණ බිහි වන්නේ. ඒ නිසාම තමයි හෙළයින් වන අපට නොකළ හැක්කක් නොමැත්තේ.

රාවනා රජතුමාට පක්ෂපාතී හෙළයෙක් වීම ඔබට අභිමානයක් නොවන්නේද?
Read More...

නුදුරු අදහස්