ලෝකයේ මුල්ම බ්ලොග් එක හැදුවේ හෙළයින් බව ඔබ දැන සිටියාද? ගූගල් ආයතනයේ ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධානී ඩැනියෙල් ඒල්ජර් (Daniel Alegre) මේ බව පවසමින් ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලැරී පේජ් (Larry Page) වෙත කේබල් පණිවිඩයක් යවා ඇති බව අපට ඉතාමත් විශ්වාසවන්ත රහසිගත මාර්ගයකින් අනාවරනය විය. එහිදී ඒල්ජර් මහතා යවා ඇති පිටු 21 දිග තාක්ෂණ පත්‍රිකාව ඇසුරෙන් පහත විස්තර දිග හැරෙයි. ලිපිය ටිකක් දිගු වුවත් එය කියවීමෙන් ඔබ ඉමහත් විස්මයට පත් වෙන බව සහතිකයි.
1995 වසරේදී ලැරී පේජ් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැනට ලන්ඩන් කෞතුකාකාරයේ ඇති හෙළයින්ගේ පුස්කොළපොත් ඉතාමත් අමාරුවෙන් පරිවර්තනය කරගෙන කියවා ඇති අතර ඔහුට තවත් බොහෝ දෑ දැනගැනීමට අවශ්‍ය වී තිබුණි. ඒ අනුව ගූගල් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බ්ලොග් ඉතිහාසය පිළිබඳව 2006 අප්‍රියෙල් මාසයේදී ඉතාමත් රහසිගතව ගවේෂණය කර ඇත. එහිදී අදාල ගවේෂණ කණ්ඩායමට පුරාවිද්‍යා ආචාර්ය වරයෙක් මුණගැසුණ අතර ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ලෝකයේ බ්ලොග් ඉතිහාසය අප නොදන්නා අතීතයකට දිව යන බව නිශේධනය කළ නොහැකි සාක්ෂි මගින් පැහැදිළිවම ඔප්පු වි හමාරය.
ඉතිහාසය
=======
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාට අනුව සීගිරිය යනු රාවණ රජතුමාගේ ලොකු අම්මාගේ පුතා වූ කුවේරගේ ආලකමන්දාව හෙවත් චිත්‍රකූට පර්වතය ලෙස හැඳින්වුණි. මේ බව "රාවණා වත" නැමැති පුස්කොළපොතේත් සඳහන් වෙයි. මහාවංසයේ සඳහන් වන්නේ සීගිරිය කාෂ්‍යපගේ බලකොටුවක් බව වන අතර කාබන් 12 කාල නිර්ණයෙන් එය ධාතුසේන රජසමයේදී හැදීම ආරම්භ වී ඇති බව නිගමනය වී තිබුණත් හෙළයින් වන අපට සුද්දන්ගේ කාබන් විජ්ජාවන්ට වඩා මිරැන්ඩෝ ඔබේසේකර මහතාවත්, මහාවංසයට වඩා රාවණා වත පුස්කොළපොතත් විශ්වාසදායක නිසා, සීගිරිය යනු කුවේරගේ චිත්‍රකූට පර්වතයම බව පුරාවිද්‍යාත්මකව තහවුරු වෙයි. පසුව රාවණ රජතුමා විසින් එහි බ්ලොග්
1* එකක් ආරම්භ කර ඇත.
මූලික තොරතුරු
===========
මා මේ පෙන්වා දීමට යන ලෝකයේ මුල්ම බ්ලොග් එක තිබී ඇත්තේ සීගිරියේයි. රාවණා වතට අනුව එහි බ්ලොග් පෝස්ට් දැමූ පුද්ගලයා වන්නේ "මායා දන්නාව" නැමැති චිත්‍ර ශිල්පියායි. ඔහු සෘජුවම සීගිරි බ්ලොග් එකේ "වෝල්
2 එකේ" බ්ලොග් පෝස්ට්
3 දැමූ අතර ඒවා රෙශලූෂන්
4 අගය වැඩි පින්තූර වශයෙන් පළ කර ඇත. එසේම ඒවා අතර පෝන්
5 උඩ කයෙන් සමන්විත කාන්තාවන්ගේ චිත්‍ර විය. පහත දැක්වෙන්නේ එවැනි බ්ලොග් පෝස්ට් එකකි.
ලෝකයේ නන් දෙසින් පැමිණි බ්ලොග් පාථකයින් මෙම සීගිරි බ්ලොගය නැරඹූ අතර ඔවුන්ට කොමෙන්ට්
6 දැමීම සඳහා කොමෙන්‍ට් දමන වෝල් එකක්ද වෙනමම පැවතුණි. එය හොස්ට්
7 කර තිබුණේ "කැටපත් පවුර" නම් සර්වර්
8 එකකය. අද සිටින හෙළුවන්ට වඩා ශිෂ්ට වූ එකළ සිටි හෙළයෝ එහි කිසිදු අසභ්‍ය දෙයක් නොලී අතර සීගිරි බ්ලොග් එකේ තිබෙන පෝස්ට් වලට සරිලන ලෙස ඉතාමත් විශිෂ්ට ගණයේ කොමෙන්ට් දක්වා තිබුණි. එසේම සුරූපී කාන්තාවන්ගේ පින්තූර විතරක් සහිත බ්ලොග් එකක් නිසා කොමෙන්ට් ඉතාමත් අධික සංඛ්‍යාවක් ලැබිණි. එය ආසන්න වශයෙන් කොමෙන්ට් 700 ක් පමණ බව ගණන් බලා ඇත. පහත දැක්වෙන්නේ උදාහරණ කීපයක්.
ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හය් රන්වන හුන්.
එළෙනෙ ල කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් කීයී මි
බසක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අස්ද්වස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්වයි සිත් නොමු සී
සීගිරි කොමෙන්ට් වලදී නම සඳහන් වෙතොත් කොමෙන්ට් එකට පෙර තම නම සඳහන් කිරීම සම්ප්‍රදායක් වී ඇත. ඒ සම්ප්‍රදාය දිගටම පැමිණ අදටත් කොමෙන්ට් එකට පෙර කොමෙන්ට් කරුගේ නම සඳහන් කරන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ඇති කොමෙන්ට් දෙස බැලීමෙන්ම පැහැදිළි වේවි. නමුත් ඇනෝනිමස්
9 කොමෙන්ට් දැමූවන් අද මෙන් ඇනෝනිමස් කියා ලියමින් බ්ලොග් එක කැත නොකිරීමට තරම් කාරුණික වූ බවත් කිව යුතුය. ඉහත උපුටා දැක්වූ කොමෙන්‍ටු වල තද පාටින් දක්වා ඇත්තේ කොමෙන්‍ටු කරුගේ නම වන අතර ළා පැහැයෙන් දක්වා ඇත්තේ කොමෙන්‍ටුවයි. ඒ අනුව එහි යටින්ම ඇති කොමෙන්‍ටුව ඇනෝනිමස් එකකි.
 |
"කැටපත් පවුර" ලෙස හැඳින්වෙන කොමෙන්ට් වෝල් එක |
එම කොමෙන්ට් වල තිබෙන ගීතවත් බව නිසාම සීගිරි කුරුටු ගී ලෙස ඒවා හැඳින්වූ අතර එම ගීත වල බාසාව අනුරාධපුර යුගයේ අග භාගයට සම්බන්ධ බව පෙනුනත් එමගින් සීගිරි කුරුටු ගී අනුරාධපුර යුගයට අයත් බව කිසි සේත්ම ඔප්පු නොවේ. සීගිරි කුරුටු ගී අයත් වන්නේත් රාවණ යුගයටයි. තාමත් කැම්පස් වල ඩෙස් බංකු වල පවා කොල්ලන් පහත ආකාරයේ "කුරුටු ගී" ලිවීමෙන් අප හෙළයින්ගෙන් සීගිරි කුරුටු ගීයේ රාවණ ඉතිහාසය මකා දැමීමට කිසිවෙකුට නොහැකි බව පසක් වෙයි.
සයිකො ගසා මම ගිය කල ඈ වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(පේරාදෙනිය විශ්ව විද්‍යාලය, තුන් වන මහල, ප්‍රධාන පොත් ගුල)
සීගිරි බ්ලොග් එක ආරම්භ කළ කාලයේදීම එහි බ්ලොග් පෝස්ට් 502 ක් පමණ දමා තිබූ අතර, එය හොස්ට් කළ ෆ්‍රෙස්කෝ එකේ ඇතිවූ දෝශ මෙන්ම තවත් හේතු නිසා නිසා අද ඉතිරි වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 22 ක් පමණි. මේ වන විට බ්ලොග් එක අප්ඩේට්
10 කිරීම මෙන්ම කොමෙන්ට් කිරීමත් ක්ලෝස්
11 කර ඇතත් මීට දසක කීපයකට පෙර කැටපත් පවුර හැක්
12 කර එහි කොල්ලන් සහ කෙල්ලන් තම තමන්ගේ නම් ගම් ලියා ඇති බවත් දක්නට ලැබෙයි. එනිසා දැන් කැටපත් පවුරට දැල් සහිත ෆයර්වෝල්
13 එකක් දමා ඇත. ඊට අමතරව එහි තිබූ බ්ලොග් පෝස්ට් සහ කොමෙන්ට් සියල්ලම බැකප්
14 කර ඇත.
තාක්ෂණික තොරතුරු
==============
සීගිරි ගල මුදුනේ කුවේර රජතුමාගේ මාලිගාව තිබුණ බව ඔබ දන්නවා ඇති. ඉතින් කුවේර වැනි බලසම්පන්න රජකෙනෙක් අද අපි සීගිරි නගිනව වගේ ගල වටේ බඩගාගෙන සීගිරිය මුදුනට නගීවිද? අනික ණුවණින් විමසා බලන්න සීගිරිය නගිද්දීම සිංහ පාදය පහු වෙනවත් එක්ක තියෙන තේරුමක් නැති ගල් බැම්ම දිහා. සිතන්න, හොඳටම සිතන්න....
සීගිරිය අවට වාසය කරන සහ කාලයක් සීගිරියේ ආරක්ෂක නිලධාරියෙක්ව සිට දැන් විශ්‍රාම සුවයෙන් ගත කරන අනූ හය හැවිරිදි පුදගලයෙක් වන සුගතං අප්පුහාමි මහතා පැවසුවේ මෙවැනි කතාවකි.
"ගොඩ කාලෙකට ඉස්මත්තේදී, බෙල් කියන පර සුද්ද සීගිරිය පරීක්සා කරන්න ආව. ඇවිං ඒක බලලා සීගිරියට නගින දඹ රන් සෝපානය ගලවගෙන ගියා. ඒ සෝපානය ලන්ඩන් කෞතුකාගාරෙ තාමත් තියෙනව, ඕනැනං ගිහිං බලං. ඒ විතරක්ද සීගිරිය ගල ඇතුලට ගිහින් ඒකෙ තිබුණ වස්තුව කරත්ත හතකට පටවගෙන ඊට පස්සෙ ඒ පාර ගඩොල් දාල සිමෙන්ති බදාම ගහල වැහුව. සිංහ පාදය පහු කරපු ගමන් තියෙන තාප්පය තමයි බෙල් පර සුද්ද වහපු උමගේ දොරටුව. ලොකුම විනාශය කලේ සහ කරන්නෙ අපේ පුරාවිද්‍යාඥයින්, ඇත්ත හංගලා. මුන්ට හෙණ ගහනව
යකෝ"
සුගතං අප්පුහාමිගේ හෝඩුවාව අනුව අපි සීගිරි පාදයට ඇතුළතට වෙන්නට ඇති තාප්පය අධෝරක්ත කිරණ උත්ප්‍රේරක යන්ත්‍රයක් යොදා ගනිමින් ස්කෑන් කිරීමක් සිදුකළමු. එහිදී අප දුටු දේ විස්මය ජනකය. එතනින් ඇතුළතට යාමට උමගක් තිබූ අතර එහි කාමර ගණනාවක් තිබුණි. එහි එක් කාමරයක තිබුණේ තවමත් යථා තත්ත්වයෙන් පවත්නා වූ පාලක මැදිරියකි. එහි ඉතාමත් සුමුදුවට මදින ලද ගල් පුවරු තිබුණ අතර අප සමග සිටි පර්යේෂකයෙක් පැවසුවේ ඒවා ප්‍රාග් ඒතිහාසික මොනිටර්
15 බවයි.
"රාවණ වත" නැමති පුස්කොළපොතේ ටීකාවක් වන "කෛලාශකූටවන" නැමැති පුස්කොළපොතේ සඳහන් වන්නේ මෙවැන්නකි.
"කුවේර රජ තෙමේට මහා බලගතු යන්තරයක් කෛලාශකූට පබ්බතය මදේ තිබිණැ, එමගින් දෙනැ විධාන ප්‍රකාරවැ කෛලාශකූට මස්තකයේ සිත්තම් පෙන්වන අතරැ එය නැරඹීමට යනැ එනැ හෙළුවෝ ඒ යන්තර ඉදිරිපිටැ ඇති බොත්තම් පුවරුවේ බොත්තම් ඔබා තෙමේට රිසි රිසි දෑ ලියන්නාහ. අනතුරුව එලෙස ලියූ දෑ යන්තරයේ වෙනමැ නිදන් වන්නාහ..."
මේ දේ නුවනින් විමසා බැලිය යුතුයි. රාවණ රජතුමාට ගුවන් යානා තිබුණ බව අපි හොඳාකාරවම දනිමු. වෙනත් ලෝක ආක්‍රමණය කර යටත් කිරීමට තරම් ශක්තියක් එතුමාට තිබුණි. ඒ සඳහා ගුරුත්වාකර්ශණය මැඩ පැවැත්වීමට මෙන්ම වායුගෝලීය පීඩනය අතික්‍රමණය කිරීමටත්, වායුගෝලයෙන් එහා ඇති රික්තීය අවකාශයේ මනුෂ්‍යයෙකුට ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණයත් රාවණ රජතුමාට තිබී ඇත.
එසේනම් ඊට වඩා බොහෝ ප්‍රාථමික තාක්ෂණයක් වන පරිගණක යන්ත්‍රයක් ඕන්
16 කර එමගින් බ්ලොග් පෝස්ට් එකක් දැමීම සහ අවශ්‍ය විටක කොමෙන්ට් බැකප් කිරීම සැක කිරීමට තරම් දෙයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යාඥයින්ට හමු වූ
ඉපැරණි මෛක්‍රොචිප් ද මෙය සනාථ කිරීමට කදිම සාධකයකි.
ගූගල්
====
1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.
නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.
ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරුටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරුටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.
මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.
විමල් වීරවංශ යනු පැහැදිළිවම රාවණා විරෝධියෙක් වන තර මාස ගණනාවකට පෙර ගූගල් වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ හේතුව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි.
බ්ලොගර්
======
ගූගල් සමාගම සාර්ථකත්වය කරා දිනෙන් දින යද්දී ජනතාව සඳහා නොමිලයේ වෙබ් පිටු ලබා දීමටත් ඔවුන් කටයුතු කර ඇත. තම සමාගමේ සාර්ථකත්වය පසුපස ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඔවුන් එහිදීත් අමතක කළේ නැත. සීගිරිය බ්ලොග් එක තිබුණේ ගලක නිසා එම තාක්ෂණය "බ්ලොග් ගල්" ලෙස පුරාණ කාලයේ සිටම හැඳින්වුණි. "බ්ලොග් ගල්" යන නම බටහිරට සුදුසු ආකාරයට වඩාත් සරළ ලෙස "බ්ලොගර්"
17 ලෙස හඳුන්වන ලදී.
එදා ගූගල් සමාගම විසින් රාවනා නිර්මාණයක් වූ "බ්ලොග් ගල්" වල නම යොදා ගැනීම නිසාම බ්ලොගර් ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ අතර ලෝකයේ අග්‍රගණ්‍ය බ්ලොග් සේවයක් බවට පත් විය. ගණ පිහිටවා නිර්මාණය කරන ලද හෙළ වචන වන "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" වල රාවණ ශක්තිය අදටත් ගැබ්ව තිබේ. කාලාන්තරයක් පැවතීම සඳහා නිවාස ඉදිකිරීමේදීත් බොහෝ අය "බ්ලොග් ගල්" භාවිතා කරන්නේ ඇයි කියා ඔබ සිතුවාද?
 |
හෙළ "බ්ලොග්-ගල්" කරුවන්ගේ සංසදය |
ශ්‍රී ලංකාව තුළ සාර්ථක වී ඇති සෑම බ්ලොග් එකක් පාහේම යොදාගෙන ඇත්තේ හෙළ රාවණ නිර්මාණයකින් පැවත එන බ්ලොගර් ය. උදාහරණ:
මාරයාගේ හෝරාව,
කතන්දර,
ගොසිප්9,
සඳරු,
දුකා,
වෙද ගෙදර (බොහෝ නම් ඇතත් ඉඩ මද නිසා ටිකයි සටහන් කරන්න වෙන්නෙ, ඉදිරියේදී සාර්ථක බ්ලොගර් බ්ලොග් ගැන වෙනම ලිපියකින් විග්‍රහ කරන්නම්)
නමුත් පසුකාලයේදී අසාර්ථක වූ හෝ හැක් වූ බ්ලොග් ගණනාවකට යොදාගෙන තිබෙන්නේ පර සුද්දන්ගේ නමක් ඇති වර්ඩ්ප්‍රෙස් ය. උදහරණ:
ටැබූ,
බියෝන්ඩ්ෆ්‍රේම්,
ඇටමැස්සා,
පෙරමුනේ රාලගේ අටුවාව (කොමෙන්ට් වලින් රාල හැමදාම බැනුම් අහනව, සුදු වෑන් එකක් දැකල ළඟදී වහන්න වුණත් එක්ක)
සිංහල බ්ලොග් කරුවනි, හෙළ රාවණා නිර්මාණයන්ම තෝරා ගැනීමෙන් ජයග්‍රහණය සහතික කර ගන්නා හැටි දැන් වැටහේද? ලෝකයට බ්ලොග් කලාව හඳුන්වා දුන් හෙළයින්ගේ නිර්මාණ වලින් පැවත එන බ්ලොගර් බ්ලොග් කියවන අපි සැබවින්ම වාසනාවන්තයෝ වෙමු, ඒ ගැන ආඩම්බර වෙමු.
* පද නිරුක්ති - අරිසෙන් අහුබුදු සූරීන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සකසා ඇත.
1. "බ්ලොග්" යනු "බලග" නැමැති හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, බ=බලන්න, ල=ලගින්න, ග=ගරු/ගර්හා කරන්න. වර්තමානයේදීත් බ්ලොග් එකකට ගිය විට බලනවා, හොඳනම් දිගටම එහි ලගිනවා, ගරු හෝ ගර්හා කරනවා හැර වෙනත් යමක් අපි නොකිරීමෙන් රාවණ රජතුමාගේ බ්ලොග් තාක්ෂණය මේ දක්වාම පැමිණි ආකාරය මනා කොට පැහැදිළි වෙයි.
2. "වෝල්" යනු "වල" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ව=වර්ගඵලය, ල=ලම්භක. වර්ගඵලය ලම්බක ලෙස හැඳින්වෙන්නේ බිත්තියක් බව වැටහෙයි. එසේම කැම්පස් (කැම්=කෑම්, පස්=පස්, පස් කෑම) තුළ "වල" ලෙස හැඳින්වෙන්නේත් බිත්ති වලින් වටවූ තැනක් වීමෙන් හෙළ වෝල් වල ආගමණය පැහැදිළි වෙයි.
3. "පෝස්ට්" යනු "පසට" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පළකිරීම, සට=සටහන. සටහන පළකිරීම යනු "පෝස්ට්" බව තවත් පැහැදිළි කළ යුතු නෑනෙ?
4. "රෙශලූෂන්" යනු "රසලසන" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, රස=රසයෙන්, ල=ලක්ෂයන්, සන=සනසනවා. ලක්ෂයන් රසයෙන් සනසනවා යන අරුතෙන් The fineness of detail that can be distinguished in an image, as on a video display terminal. නැමැති ඉංග්‍රීසි අරුත ලැබුණි.
5. "පෝන්" යනු "පෝ-ඕං" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, පෝ=පෝලිම, ඕං=ඕන්=ඔන්න. ඒ අනුව "පෝලිම ඔන්න" යනු පෝ-ඕං නැමති හෙළ පදයේ අරුතයි. පසු කාලයේදී එය පෝන් ලෙස විතැන් වූ අතර පසුව මෙම හෙළ පදය වන පෝන් අනුව පෝනෝග්‍රැෆි (Pornography) නැමැති ඉංග්‍රීසි වචනයත් ගොඩ නැගුණි.
6. "කොමෙන්ට්" යනු "කොමනටුව" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, කො=කොටනවා, මන=මනසේ ඇති, නටුව=නාට්‍යය. මනසේ නාට්‍යයක් සේ රඟදැක්වෙන දේ කොටනවා යන අරුත කොමනටුව හෙවත් කොමෙන්ට් නම් වේ.
7. "හොස්ට්" යනු "හොසට" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හො=හොවනවා (තැන්පත් කර තබනවා), සට=සටහන. සාමාන්‍යයෙන් හොස්ට් කිරිමේදී සිදුවන්නේ කේත සටහනක් වෙනත් පරිගණකය තැන්පත් කර තැබීම නිසා "සටහන හොවනවා" යන්නෙන් හොස්ට් යන්නේ අරුත ලැබෙයි. ඒ අනුව හොස්ට් කිරීමත් පළමුව හොයා ගත්තේ හෙළයින්ය.
8. "සර්වර්" යනු "සර්වර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, සර්ව=සියලුමදෑ, ර=රඳවනය. වර්තමානයේ සර්වරයකත් පරිගණක ගණනාවක සියලුම දෑ රඳවා තබන බැවින් අපගේ හෙළයින්ගේ තාක්ෂණය අද ඇති තාක්ෂණය මෙන්ම හෝ ඊටත් වඩා දියුණු බව පැහැදිළි වෙයි. සර්වර නැමැති හෙළ පදය පසුකාලීනව සර්වර් ලෙස ඉංග්‍රීසියට වරනැගුණි.
9. "ඇනෝනිමස්" යනු සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, ඇනෝ=අනේක=බොහෝ, නි=නිදහස්, මස්=මස්වැද්දො. ඇනෝනිමස් කොමෙන්‍ටු දමන අයව "බොහෝ නිදහස් මස්වැද්දො" ලෙස හැඳින්වීමෙන් හෙළයින් පවා ඇනෝනිමස් කොමෙන්ට් කරුවන්ගේ තරම දැනගෙන සිටි බව පැහැදිළි වෙයි. නමුත් සීගිරි බ්ලොග් එකේ කොමෙන්‍ටු දැඩි ලෙස මොඩරේට් කිරීම නිසා ඇනෝලාගේ වදයෙන් එය අතීතයේදී බේරුණි.
10. "අප්ඩේට්" යනු "අපදත" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, අප=අපමණ, ද=දක්වනවා, ත=තත්කාලයේදී. ඒ අනුව "තත්කාලයේදී අපමණ දක්වනවා" යන අරුතෙන් හැදුන අපදත නැමෙති හෙළ වචනය පසුව අප්ඩේට් යන ඉංග්‍රීසි වචනය ගොඩනැගී ඇත.
11. "ක්ලෝස්" යනු "කෙලෙස්" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. කෙලෙස් යනු වසා දැමිය යුතු දෙයක් බව වටහාගත් අතීත හෙළයෝ යමක් වසා දමන ක්‍රියාවත් කෙලෙස් ලෙසම හැඳින්වුවෝය. පසුව කෙලෙස් යන වචනයෙන් "ක්ලෝස්" යන ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.
12. "හැක්" යන පදය "හැ+ඇක්" ලෙස භින්න වෙන බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හැ=හැඳිගාදමනවා, ඇක්=ඇකය=ගර්භාෂය. දරුවෙක්ව ගබ්සා කිරීමේදී ගර්භාෂය හැඳිගාදැමීමක් සිදුකරයි. එනම් ගර්භාෂය හැ+ඇක් කිරීමක් හෙවත් ගර්භාෂය හැක් කිරීමකි. රාවණා සමයේදී එය ඉතාමත් පිළිකුල් මෙන්ම තහනම් ක්‍රියාවක් විය. වර්තමානයේදීත් සමහරුන් වෙබ් අඩවියක් හැක් කළ පසුව එය ගබ්සා කළ ගර්භාෂයක් මෙන් හිස් වෙනවා නොවේද?
13. "ෆයර්වෝල්" යනු "පයරවල්" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පසුබිම, ය=යවට, ර=රත්වු=ගිණියම් වූ, වල්=වළල්ල. රාවන රජතුමාගේ වස්තුව ආරක්ෂා කිරීම සඳහා ඒ වස්තුව "පසුබිම යවට වලින් ගිණියම් වළල්ලක්" තිබුණි. එය "පයරවල්" ලෙස හැඳින්විය. පසුව ඒ වචනයෙන් "ෆයර්වෝල්" නැමැති ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.
14."බැකප්" යනු වර්ගපූර්ණිකාටුවාවට අනුව සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, බැ=බැරකරනවා=ආරක්ෂා කරනවා, කප්=කප්(කප්සිටුවනව). කප් ආරක්ෂා කිරීමේ සිරිතක් අතීත හෙළයේ පැවති අතර එය අදටත් කප් සිටුවීම වැන් අවස්ථා වල දක්නට ලැබෙයි. ඒ අනුව කප් බැර කිරීම "බැකප්" ලෙස හැඳින්විය.
15. "මොනිටර්" යනු "මනටර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ම=මනස, නට=නටනවා, ර=රසවිඳිනවා. වර්තමානයේ ඇති මොනිටරයක් බැලීමේදීත් "මනස නටනවා සහ රසවිඳිනවා" හැර වෙන යමක් සිදුවේද?
16. "ඕන්" යනු "ඕං" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකාටුවාවේ දැක්වෙයි. රාවණ යුගයේ පැවති අධි තාක්ෂනික යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ශබ්ද මුර පද (Voice Password) භාවිතා කළ බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ "තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)" නැමති ලිපියෙන් ඔබට විද්‍යාත්මකව පෙන්වා දුනිමි. එහිදී බොහෝ විට භාවිතා කළ පදයක් වූයේ "ඕං" යන්නයි. නමුත් එක් එක් කෙනාගේ උච්ඡාරණය අනුව යන්ත්‍ර මගින් ඒවා හඳුනාගෙන ඇත. ඉතින් ඒ "ඕං" යන පදය පසුකාලීනව "ඕන්" ලෙස ඉංග්‍රීසියට වරනැගුණි. වර්තමානයේදී පවා සෑම රාවණ මන්ත්‍රයක් මුලදීම "ඕං" කියා කියන්නේ "ඕන්" (Switch On) කිරීමේ ක්‍රියාව සඳහාය.
17. "බ්ලොගර්" යනු විශාරද සුලක්ඛනා මෙනෙවිය පැහැදිළි කරන පරිදි හෙළ වචනයක් සේ සැලකිය හැකියි. එහි හෙළ මූලය වන්නේ "බලෝගරා" යන්නයි. බ=බලය, ලෝ=ලෝභය, ග=ගර්හාව, රා=රාගය. ඒ අනුව බලය ලෝභය ගර්හාව සහ රාගය එකට කැටි වූ තැන බලෝගරා හෙවත් බ්ලොගර් ය.
ඉහත දැක්වූ ඉංග්‍රීසි වචන හැදී ඇත්තේ ග්‍රීක් හෝ ලතින් වචන වලින් බව සමහරුන් පවසාවි. නමුත් සැබෑ හෙළ ඉතිහාසය සුද්දන් විසින් සඟවා ඇති අතර අප හෙළි කරන දේවල් වලට නිවැරදි මූලාශ්‍ර අප සතුව තිබේ. ඒවා යථා කාලයේදී හෙළි කරමි. ශ්‍රී රාවණා රජතුමා ගැන තාමත් පාසල් පෙළපොතට ඇතුළත් කර නැති විටෙක, ඉංග්‍රීසි වචන වල මූලාරම්භය හෙළයින්ගෙන් බව පිළිගැනීමක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු.
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."